බෞද්ධ ජනරජ ප්‍රවාදය – 23 වැනි කොටස – ස්ව-ශක්තියේ ප්‍රාග්ධනය
Posted on June 22nd, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

මුදල් ඒ ස්වරූපයෙන් ම නිෂ්පාදන කාර්යයට දායක නොවන බැවිත් අර්ථ ශාස්ත්‍රය තුළ මූල්‍යමය ප්‍රාග්ධනය” හැඳින්වෙනුයේ උදාසීන නිෂ්පාදන සාධකයක් වශයෙනි. මෙම උදාසීන බව නැතිවන්නේ නිෂ්පාදන කාර්යය සඳහා අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට එය යෙද වූ විට ය. ගොවිතැන් කටයුතු වෙනුවෙන් මිල දී ගත් ට්‍රැක්ටරයක් එම නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන ප්‍රාග්ධනයකි. කෙසේ වුව ද, මෙම මිල දී ගැනීම් බලගන්වන්නේ මුදල්වලිනි. එහෙයින් නිෂ්පාදන කාර්යයට අවශ්‍ය ප්‍රාග්ධන සම්පත් සපයාගැනීම උදෙසා මුදලෙහි නියෝජනය බැහැර කළ නො හැකි ය.

කෙසේ වුව ද, වේතන වශයෙන් විකල්ප සම්පත් භාවිතා කරන අවස්ථාවල දී මුදල් වැයකිරීමකින් තොරව නිෂ්පාදන කාර්යයට අවශ්‍ය යම් යම් ප්‍රාග්ධන භාණ්ඩ නිර්මාණය කරගත හැකි ය. එහෙයින් මුදල් යනු නිෂ්පාදන කාර්යය සඳහා නැතිවම බැරි අවශ්‍යතාවක් ලෙසින් සැළැකිය යුතු නොවේ. ඒ, මුදල් වැයකිරීමෙන් හෝ වෙනත් ක්‍රම මාර්ගවලින් හෝ ප්‍රාග්ධනය රැස් කරගැනීම කළ හැකි බැවිනි.

වර්තමානයේ බලවත් වී තිබෙන වෙළෙඳපොළ ක්‍රමය තුළ මුදලට මූලික තැනක් හිමි වී තිබේ. එහෙයින් නිෂ්පාදන කාර්යය සඳහා ද එහි අවශ්‍යතාව තව තවත් වැඩි වී තිබේ. මෙම වාතාවරණය තුළ අවශ්‍ය මූලික මූල්‍ය අවශ්‍යතා සපුරා නොගෙන නිෂ්පාදන කාර්යයෙහි නිරතවීම ඉතාමත් අසීරු ය.

මූල්‍යමය ප්‍රාග්ධනයට අමතරව ස්වභාවික, සමාජ, දැනුම හා බුද්ධිය, මානව, පොදු සහ පාරිසරික යන ස්වරූපවලින් ද නිෂ්පාදනයට දායකවන ප්‍රාග්ධන සම්පත් පවතින බැව් මෙහි දී අපි මතක තබාගත යුතු වෙමු. කෙසේ වුව ද, ප්‍රාග්ධනය ගැන සාකච්ඡා කෙරෙන මෙම ආරම්භ ලිපියෙන් මූල්‍යමය ප්‍රාග්ධනය කෙරෙහි පමණක් අපි අපගේ අවධානය යොමු කරමු.

යම් නිෂ්පාදන කාර්යයකට අවශ්‍ය මූලික මූල්‍යමය සම්පත් සපයාගැනීමට බැංකු ක්‍රමය (ණය) සහ කොටස් වෙළෙඳපොළ (කොටස් ආයෝජන) යොදා ගැනෙයි. ණය වෙනුවෙන් පොලිය ද කොටස් වෙනුවෙන් ලාභාංශ ද ගෙවීමට නිෂ්පාදකයා හට සිදුවෙයි. කෙසේ වුව ද, තමන්ගේ නිෂ්පාදන කාර්යයට අවශ්‍ය මූල්‍ය සම්පත් මෙම ක්‍රමවලින් සපයාගැනීම සෑම නිෂ්පාදකයකු හට ම පහසු කටයුත්තක් නොවේ. විශේෂයෙන් ම, බිම් මට්ටමේ සිටින නිෂ්පාදකයෝ නිරන්තරයෙන් ම මෙවැනි ගැටලුවලට මුහුණදෙති.

බැංකුවකින් ණයක් ලබාගැනීම උදෙසා සම්පූර්ණ කළ යුතු මූලික අවශ්‍යතා විශාල ප්‍රමාණයක් තිබේ. නිෂ්පාදන කාර්යයේ වැඩි පරිචයක් නැති බිම් මට්ටමේ සිටින නිෂ්පාදකයෝ මෙම සංකීර්ණ ක්‍රියාදාමය තුළින් ම හෙම්බත් වෙති. තව ද, එම ණය වෙනුවෙන් තැබිය යුතු ඇප සම්පත් එවැනි නිෂ්පාදකයන් සතු නොවේ. එහෙයින් නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් ණය මුදලක් ලබාගැනීම එවැනි නිෂ්පාදකයන් හට ඉතාමත් අසීරු කටයුත්තකි. තව ද, කොටස් වෙළෙඳපොළ ක්‍රියාත්මක වන්නේ බිම් මට්ටමට ඉතාමත් ඈතින් පිහිටි තලයක ය. එහෙයින් එහි සේවය ලබාගැනීම බිම් මට්ටමේ නිෂ්පාදකයාට අදාළ නැති දෙයක් බවට පත් වී තිබේ.

මෙම ගැටලු විසඳාගත හැක්කේ කෙ ලෙසින් ද?

බිම් මට්ටමේ අවශ්‍යතා ඒ තලයේ දී ම විසඳාගැනීමට හැකි ක්‍රමවේද සකසාදීම මේ සඳහා ඇති හොඳ ම විසඳුම වේ.  බිම් මට්ටමේ කටයුතු සඳහා මෙම ප්‍රවාදයෙන් ගම් සභා සහ නාගරික සභා ක්‍රමයක් යෝජනා කර ඇති බැවින් එහි සහාය ලබාගෙන මෙම අවශ්‍යතාව සම්පූර්ණ කළ හැකි ය.

මූල්‍යමය ප්‍රාග්ධනය සැපයෙන්නේ අතිරික්ත සම්පත් ඇති තැනකින් හිඟ තැනකට සම්පත් ලබාදීමක ආකාරයෙනි. බිම් මට්ටමේ ඇති අතිරික්ත මූල්‍ය සම්පත් ඒ මට්ටමේ ම නිෂ්පාදන කාර්යයක් වෙනුවෙන් ලබාදිය හැකි ය. මෙම කාර්යය සිදුකළ හැකි මූලික ආකාර දෙකක් තිබේ. මූල්‍ය සම්පත් ඇති පාර්ශ්වය සහ හිඟ පාර්ශ්වය සෘජුවම සම්බන්ධ කරදීම ඒ සඳහා වන පළමු ක්‍රමයයි. බිම් මට්ටමේ ආයෝජන අරමුදලක් ඇතිකර ඒ හරහා ප්‍රාග්ධනය සැපැයීම දෙවැනි ක්‍රමයයි.

බිම් මට්ටමේ සිටින මූල්‍ය සම්පත් හිමියන් ඔවුන් ඇසුරෙහි සිදුවන නිෂ්පාදන කාර්යයන්ගේ කොටස් හිමියන් බවට පත්කිරීම සෘජු ආයෝජන සඳහා යොදාගත හැකි පහසුම මාර්ගයයි. ප්‍රාග්ධන සම්පාදකයින් සහ නිෂ්පාදකයා හොඳින් හඳුනන අය වීම නිසා එම සම්පත් භාවිතය සහ අදාළ ප්‍රතිලාභ ගෙවීම පිළිබඳ වගකීම ඉතා ඉහළ මට්ටමක පවතිනු ඇත. මෙම වගකීම හුදු ලේඛන මට්ටම ඉක්මවා ගිය එකකි. එයට අමතරව, අදාළ ආයෝජන සෘජුවම ලැබෙන හෙයින් එයට අදාළ පිරිවැය ද ඉතා පහළ මට්ටමක පවතියි. ග්‍රාමීය (නාගරික) මට්ටමේ ආයෝජන අරමුදලක් හරහා අදාළ පාර්ශ්ව දෙක සම්බන්ධ කරවීම අනෙක් වැඩපිළිවෙළයි. මේ සඳහා සුළු පිරිවැයක් දැරීමට සිදු වුව ද එහි විනිවිදභාවය ඉතා ඉහළ මට්ටමක පවතිනු ඇත්තේ ය. අනුගමනය කරනු ලබන ක්‍රමය කුමක් වුව ද එයට අදාළ සම්බන්ධීකරණ කටයුතු ගම් (නාගරික) සභාව විසින් සිදුකළ හැකි ය.

මෙම ක්‍රමය හරහා ගොඩ නැගෙන්නේ ස්ව-ශක්තියේ ආරම්භක ප්‍රාග්ධනයකි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress