බෞද්ධ ජනරජ ප්‍රවාදය – 24 වැනි කොටස – සංස්කෘතියෙන් ප්‍රාග්ධනය
Posted on June 28th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

මූල්‍යමය ප්‍රාග්ධනයට අමතරව ස්වභාවික, සමාජ, දැනුම හා බුද්ධිය, මානව, පොදු සහ පාරිසරික යන ස්වරූපවලින් ද නිෂ්පාදනයට දායකවන ප්‍රාග්ධන සම්පත් පවතින බැව් අපි දනිමු. ස්වභාවික ප්‍රාග්ධනය යනුවෙන් හැඳින්වෙනුයේ කිසියම් භූමියක පවතින ජීව – අජීව සියලු ස්වභාවික සම්පත්වල එකතුවයි. අදාළ භූමියෙහි වසන මිනිසුන්, අනෙකුත් සත්ත්වයින්, එහි පවතින ගහ කොළ, එයට අයත් භූගෝලීය, ජලජ සහ වායූ ගෝලීය සම්පත් සියල්ල මේ තුළට ගැනෙයි. ඒවා අතුරින් ආර්ථික කාර්යය සාධනයේ දී මිනිස් සම්පතට මූලිකත්වය ලැබෙයි.

මිනිස් සම්පත යනු තවත් එක් සත්ත්ව කොට්ඨාශයක් පමණක් නොවේ. මිනිසා යනු සංස්කෘතික සත්ත්වයෙකි. මිනිසාගේ මූලික සමාජ හැසිරීම්වලින් පවා ප්‍රාග්ධනයක් බිහිවෙයි. ඒ, සමාජ ප්‍රාග්ධනය ය. කාර්යක්‍ෂම අයුරින් තම ගැටලු හඳුනාගැනීම සහ අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන් යම් නිශ්චිත සමාජයක් ක්‍රියාකරනුයේ එහි වසන සහ ඒ තුළ එක් ව වැඩ කරන මිනිසුන් එකිනෙකා සමඟ පවත්වනු ලබන සබඳතා උපකාර කර ගනිමිනි. මෙම සබඳතා ඇසුරෙහි එම සමාජය විසින් සමාජ ප්‍රාග්ධනයක් නිර්මාණය කරනු ලබයි.

මෙම සබඳතා ජාලය අනිවාර්යයෙන් ම සංස්කෘතික නිමැවුමකි. අන්තර් – පුද්ගල සබඳතා, පොදු අනන්‍යතාවක් පිළිබඳව පවතින අදහස, විවිධ වූ දෑ සම්බන්ධයෙන් පවතින පොදු අවබෝධය, පොදුවේ පිළිගනු ලබන සමාජ – පුද්ගල හැසිරීම්, සමාජ – සංස්කෘතික ඇගැයීම්, අන්‍යොන්‍ය විශ්වාසය, සහයෝගිතාව සහ විරෝධතා පිළිබඳ හැඟීම යනාදී කරුණු ඔස්සේ මෙම සමාජ සබඳතා ජාලය ගෙතී තිබෙයි. මෙම එකඟතා පිළිබඳ පොදු පිළිගැනීම් පුළුල් වන තරමට අදාළ සමාජයේ කාර්යය සාධනය ද ඉහළ මට්ටමක පවතින්නේ ය.

විධිමත් සහ අවිධිමත් අයුරින් යම් සමාජයක් විසින් අත්පත් කරගනු ලැබූ සහ ලබන දැනුම සහ බුද්ධිය ද ආර්ථික කාර්යය සඳහා අත්‍යවශ්‍ය වේ. එය ද ප්‍රාග්ධනයකි. ඉහතින් විස්තර කළ ස්වභාවික, සමාජ සහ සංස්කෘතික සාධක නොසළකා රැස් කරනු ලබන දැනුම බොහෝ විට ආගන්තුක ස්වරූපයකින් පවතිනු ඇත්තේ ය. උක්ත මූලික සාධක පිළිබඳ මනා අවබෝධයකින් ඒවා සමඟ මෙම ආගන්තුක දැනුම සහ බුද්ධිය සීහුම් නොකරන තාක් කල් ඒවායින් අපේක්‍ෂිත අරමුණු සාක්‍ෂාත් කරගත නොහැකි වනු ඇත.

නව අදහස් ඉදිරිපත් කිරීමට සහ නව නිර්මාණ හඳුන්වාදීමට යම් සමාජයක් සතු හැකියාව ද ආර්ථික සාධනය උදෙසා අත්‍යවශ්‍ය වෙයි. එහෙයින්, එහි වසන මිනිසුන් තුළ ඒ අරභයා පවතින හැකියාව ද ප්‍රාග්ධනයක් ලෙසින් සැළකෙයි. නව අදහස් සහ නව නිර්මාණ බිහිවනුයේ තමන් ආශ්‍රිත පරිසරයෙහි සහ සමාජයෙහි ස්වභාවය සහ ගැටලු පිළිබඳව මිනිසුන් තුළ පවතින අවබෝධය ඇසුරිනි. එ මෙන් ම, එ ලෙසින් බිහිකරනු ලබන අදහස් සහ නිර්මාණවලට පුළුල් පිළිගැනීමක් ලැබෙනුයේ එවා අදාළ සමාජයට පිටස්තර ආකාරයෙන් (ආගන්තුක වශයෙන්) නො පවතින විට ය.

සමාජයක් සතු පොදු වත්කම්වල එකතුව ද එක්තරා ආකාරයක ප්‍රාග්ධනයකි. මහා මාර්ග, වරාය, ගුවන් තොටුපොළ, දුම්රිය මාර්ග, බස් රථ, දුම්රිය, ගුවන් යානා, නැව් යනාදිය ද; පාසල්, රෝහල්, පොලිසි, උසාවි, ආරක්‍ෂක හමුදා යනාදිය ද; පන්සල්, පල්ලි සහ සන්නිවේදන පහසුකම් යනාදිය ද මේ යටතට ගැනෙයි. සැබැවින් ම, මෙම ප්‍රාග්ධනය නිර්මාණය වනුයේ ඉහතින් කී ප්‍රාග්ධනයන්ගේ විවිධ වූ දායකත්වයෙනි.

මූල්‍යමය ප්‍රාග්ධනයට අමතරව තවත් විවිධ වූ ප්‍රාග්ධන සම්පත් පැවැතින බව ද ඒ සියල්ල එකිනෙක මත නිර්මාණය වූ සහ නිර්මාණය වන ඒවා බව ද අප හට දැන් පැහැදිළි ය. මේ සියල්ල පසුබිමෙහි පවතින සංස්කෘතික සාධක කෙරෙහි අපගේ අවධානය යොමු විය යුත්තේ එබැවිනි. මෙකී සෑම ප්‍රාග්ධනයක් ම සංස්කෘතික සාධක ඇසුරු කරගෙන උපදින ඒවා වෙයි.

කවර ආකාරයකින් වුව ද ප්‍රාග්ධනය යනු එක්රැස් කළ, එක්රැස් කෙරෙන දෙයකි. ඉහතින් විස්තර කළ ආකාරයට ඒ සඳහා තීරක දායකත්වයක් සංස්කෘතියෙන් සැපයෙයි. එහෙයින් මූල්‍යමය ප්‍රාග්ධනය වෙනුවෙන් පවා මෙම සංස්කෘතික සාධක ඇසුරු කරගත හැකිය.

බැංකු සහ කොටස් වෙළෙඳපොළ මාර්ගවලට අමතරව මූල්‍යමය ප්‍රාග්ධනය රැස් කරගැනීම උදෙසා සංස්කෘතික කරුණු ද සළකා බැලිය හැකි බව මේ අනුව අපට වැටහෙයි. ඇතැම් පොදු ප්‍රාග්ධන සම්පත් නිර්මාණය වී ඇත්තේ ම ඒවාට අදාළ සංස්කෘතික සාධක සක්‍රීයවීමෙනි. නිදසුනක් ලෙස අපට පන්සල් ගැන සිතා බැලිය හැකිය. බහුතරයක් විහාරස්ථාන ජනතාවගේ සාමූහික දායකත්වය මතින් ගොඩ නැගුණු ඒවා වෙයි. ඒවා ගොඩනැගීම වෙනුවෙන් මිනිසුන් එකතු කරනු ලැබ ඇත්තේ අදාළ සංස්කෘතික සාධක ගැන මනා අවබෝධයකිනි.

යම් යම් ආර්ථික අරමුණු සාධනය කරගැනීම උදෙසා අවශ්‍ය මූල්‍යමය ප්‍රාග්ධනය සම්පාදනය කරගැනීම ද මෙ ලෙසින් ම සිදු කළ හැකිය. ඒ, ආර්ථික කටයුතු සමඟ සංස්කෘතික සාධක සීහුම්කිරීමෙනි. මෙම කාර්යය සිදු කළ හැකි ආකාර පිළිබඳව අපි මී ළඟ ලිපියෙන් විමසමු.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress