බෞද්ධ ජනරජ ප්‍රවාදය – 29 වැනි කොටස- ‍ශ්‍රමයට ප්‍රාග්ධනය
Posted on August 2nd, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

බටහිර ආර්ථික මතවාද තුළ නිෂ්පාදන සාධක හඳුනාගනු ලබන්නේ එකිනෙකින් වෙන්කිරීමෙනි. ශ්‍රමය සහ ප්‍රාග්ධනය යනු ද එ ලෙසින් වෙන් කොට හඳුනාගනු ලැබූ නිෂ්පාදන සාධක දෙකකි. මාක්ස්වාදය තුළ මෙම සාධක දෙක විග්‍රහ කරනුයේ එකිනෙක හා ගැටෙන සමාජ පංති දෙකක් සතු සම්පත් ලෙසිනි. ශ්‍රමයට වැටුප් ද, ප්‍රාග්ධනයට ලාභය ද හිමිවෙන බව පොදුවේ පිළිගැනෙයි.

මෙ ලෙසින් මේවා වෙන්කර හඳුනාගැනීමෙහි වරදක් නැත. සම්මුතිය තුළ අප විසින් භාවිතා කරනු දෑ අපි වෙන්කර හඳුනාගනිමු. කෙසේ වුව ද, ශ්‍රමයේ හිමිකරුවන් සහ ප්‍රාග්ධනයේ හිමිකරුවන් එකිනෙකාගේ පරම හතුරන් ලෙසින් ගැනීම වරදකි. අදාළ ආර්ථික කටයුතු නිසි පරිදි සංවිධානගත කර නැති විට මෙවැනි පාර්ශ්ව දෙකක් ඇති වී ඒවා අතර ගැටුම් ඇතිවිය හැකිය. ‍මේවා අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකට උපකාරී වන නිෂ්පාදන සාධක ලෙසින් හඳුනාගැනීම වඩාත් ප්‍රායෝගික වේ.

සියලු නිෂ්පාදන සාධක අතර මනා සුසංයෝගයක් ඇති කර ඒ ඔස්සේ ආර්ථික ඵල නෙලාගැනීමේ ක්‍රමයක් හඳුන්වාදීම ගැටුම්කාරි ක්‍රමයට වඩා ප්‍රයෝජනවත් ය. මෙය කළ හැක්කේ මෙම දෙපාර්ශ්වය අතර සම්බන්ධතාව තහවුරුකිරීමෙනි. ශ්‍රමය වගුරුවන්නා ද ප්‍රාග්ධනයේ හිමිකරුවකු බවට පත්කිරීමෙන් මෙම අවශ්‍යතාව සපුරාගත හැකි ය.

මේ උදෙසා යොදාගත හැකි පහසු ම උපාය වනුයේ යම් නිෂ්පාදන කාර්යයකට සම්බන්ධ ශ්‍රමිකයන් හට ද එහි කොටස් හිමිකමක් ලබාදීම ය. ඒ අනුව තමන් විසින් වගුරුවන ශ්‍රමයට වැටුප් ද තමන්ට හිමි කොටස් සඳහා ලාභාංශ ද ලබාගැනීමේ අවස්ථාව ප්‍රාග්ධන කොටස් හිමි ශ්‍රමිකයාට” ලැබෙයි.

මෙවැනි වාතාවරණයක් තුළ යම් නිෂ්පාදන කාර්යයක් සඳහා යමකු විසින් ශ්‍රමය වගුරුවන්නේ හුදෙක් ම වැටුප් ලබාගැනීමේ අරමුණකින් නොවේ. තමන්ට හිමි කොටස් සඳහා ලාභයක් ලැබීමේ අරමුණ ද ඔහු තුළ වෙයි. තම ශ්‍රමය යොදවන්නේ තමන්ට හිමි” නිෂ්පාදන කාර්යයක් වෙනුවෙන් ය යන අදහස ශ්‍රමිකයා තුළ වෙයි. එහෙයින් අදාළ නිෂ්පාදන කාර්යය අරභයා උපරිමයෙන් කැපැ වී වැඩකිරීමට ඔහු පෙළැඹෙයි.

යම් නිෂ්පාදන කාර්යයක් ආරම්භයේ දී ම ශ්‍රමිකයන් හට සියලු වැටුප් සහ අනෙකුත් හිමිකම් ලබාදීම ප්‍රායෝගික නොවේ. ගසක් වුව ද හැදී වැඩී ලොකු මහත්වීමට කාලයක් ගතවෙයි. නිෂ්පාදන කාර්යයක් එහි උපරිම මට්ටමට ළඟා වී ප්‍රතිලාභ ලබන මට්ටමට ළඟාවීම සඳහා ද එ බඳු ම කාලයක් ගතවෙයි. එහි ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් සහ අනෙකුත් දෑ ආරම්භයේ දී ම ශ්‍රමිකයන්ට වැටුප් දීමට සහ ආශ්‍රිත වෙනත් කාර්යයන් සඳහා වැයකරන්නේ නම් එම නිෂ්පාදන කාර්යයේ වර්ධනය අඩාල විය හැකි ය.

තමන්ට කොටස් හිමි නිෂ්පාදන කාර්යයක් වෙනුවෙන් ශ්‍රමය යොදවන අය මෙම කාරණය ඉතා හොඳින් වටහාගනියි. ඒ අනුව යහපත් හෙටක් වෙනුවෙන් අද දවස කැපකිරීමට ඔහු නො පැකිළෙයි. මෙයට අදාළ සංස්කෘතික ඇගැයීම් ද වෙයි. දීර්ඝ කාලීන ඉලක්ක වෙනුවෙන් අප අපේ වර්තමානය කැපකරනුයේ එවැනි සංස්කෘතික ඇගැයීම් මත පදනම්වීමෙනි. අපේ දරුවන් ලොකු මහත් කරගැනීමේ දී ද, සංසාරික ගමන වෙනුවෙන් පුණ්‍ය කටයුතුවල නිරතවීමේ දී ද අපි මෙ ලෙසින් ක්‍රියා කරමු.

මෙම කටයුතු නිසා අප විසින් වර්ධනය කරගෙන තිබෙන සංස්කෘතික ඇගැයීම් (දීර්ඝකාලීනව ලබාගත හැකි යහපතක් වෙනුවෙන් අද දවස කැපකිරීමේ ඇගැයීම්) ආර්ථික කාර්යයන් උදෙසා ද ගලපාගත හැකි ය.‍ මෙම ගැලපීම යථාර්ථයක් බවට පත් කරගත හැක්කේ ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ පැහැදිළි සහ නිරවුල් අවබෝධයක් ඇති වූ කල්හි ය. නිෂ්පාදන කාර්යයේ ප්‍රාග්ධන කොටස් හිමිකමක් ශ්‍රමිකයන් සඳහා ද ලබාදීමෙන් උක්ත අවශ්‍යතාව සම්පූර්ණ කළ හැකි ය. එසේ වූ විට ඔවුන් තමන්ගේ ශ්‍රමය වගුරුවන්නේ අනාගතයේ දී තමන් හට නිශ්චිතව ම ලැබෙන ප්‍රතිලාභයක් වෙනුවෙනි. එහෙයින් ඒ සඳහා කැපැවීමට ඔවුහු මැළි නොවෙති.

තමන්ගේ ම කාර්යයක් වෙනුවෙන් කැපවෙන කිසිවෙක් නිශ්චිත සේවා කාලයක්, අතිකාල දීමනා වැනි දෑ ගැන ද වැඩවර්ජන සහ අනෙකුත් බාධාකිරීම් වැනි ගැටුම්කාරී ක්‍රියාමාර්ග ගැන ද නොසිතති. වැඩ කරන තරමට ප්‍රතිලාභ ලැබෙන බව ඔවුහු දනිති.

වැඩි වැඩියෙන් ශ්‍රමිකයන් බඳවාගැනීමේ අවශ්‍යතාව ද මෙවැනි වාතාවරණයක් තුළ ඇති නොවේ. ශ්‍රමිකයන් වැඩි පිරිසක් සේවයෙහි නිරතවන විට ඒ ඒ සේවකයාට වෙන් කෙරෙන කොටස් හිමිකම අඩු වී යා හැකි ය. එහෙයින් වැඩි ප්‍රතිලාභයක් පතා අඩු පිරිස් බලයකින් අදාළ කාර්යයන් ඉටුකිරීමට ශ්‍රමිකයෝ කැපවෙති. ප්‍රාග්ධනයේ හිමිකමක් ශ්‍රමිකයන්ට ද ඇති බැවින් මෙය ශ්‍රමය සූරාකෑමක් ලෙසින් හඳුනාගත නො හැකි ය.

බෞද්ධ ජනරජය තුළ ඇති කළ යුත්තේ මෙ ලෙසින් ප්‍රතිලාභ බෙදා හදාගන්නා ආර්ථික පරිසරයකි. එයට පටහැනිව එකිනෙකා සමඟ ගැටුම් ඇති කරගන්නා, ඒ හේතුවෙන් නිෂ්පාදන කාර්යය අඩපණ කරන ක්‍රමවේද අනුගමනය බෞද්ධ පිළිවෙත්වලට පටහැනි ය.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress