කාගේ බොක්ක පිරුණාද?
Posted on August 11th, 2021

ලංකාවේ වෙනදේ

ලෝක වෙළඳපොලේ කිරිපිටි කිලෝ එකක මිල අද ඩොලර් 3.6කි. එනම් රු. 720කි. මේ වන විට හිතාමතාම ෆොන්ටෙරා සමාගම විසින් වරායේ ගුදම් තුළ රඳවාගෙන සිටින ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4200කි. එනම් කිලෝ මිලියන 4.2කි. මේවා මෙට්‍රික් ටොන් 28 බැගින් වූ කන්ටේනර් 150ක ඇත.

මේ සඳහා දැනට අයකරන කිලෝවකට රුපියල් 15ක් වන බද්ද ඉවත් කළහොත් රජයට අහිමිවන මුදල රුපියල් මිලියන 63කි. වැට් බද්ද ඉවත් කළහොත් අහිමිවන මුදල මිලියන 242ක. පැල් ඉවත් කලහොත් මිලියන 302ක් අහිමිවේ.

[8/10, 10:59 PM]  කිරිපිටි සමාගමට කිරි උතුරුවමින් කැබිනට් මණ්ඩලය, ජනතාවගෙන් මුදල් එකතුකර නවසීලන්තයට පටවයි. ගුදම් ගාස්තු චීනයට! අහිමිවන බදු මුදලේ අලාභය පමණක් ලංකාවට!!

ෆොන්ටෙරා සමාගම පසුගිය සති දෙකක් පුරාවට තමන් ⁣ආනයනය කළ කිරිපිටි වරායෙන් නිදහස් කර ගත්තේ නැත. හිතාමතාම චීන ජැටියේ ගොඩ ගසාගෙන සිටියේ ගුදම් අධිභාරයක් ලෙසද රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් චීනයට ගෙවමිනි. ඒ අතර තම බෙදාහැරීම් නතර කරමින් වෙළඳපොලේ කිරිපිටි හිගයක් ද ඇති කළේය. මේ කුරුමානම් ඇල්ලූවේ මිල වැඩිකිරීමක් හෝ බදු සහනයක් ලබාගැනීමේ කූට අරමුණ ඇතිවය.

අවසානයේ හැටනමලක්ෂයක් සහ පනස් හතර ලක්ෂයත් ඔවුනගේ ඡන්දය අහිමි තවත් මිලියන ගණනකුත් පරදා ෆොන්ටෙරා ජයගත්තේය. කිරිපිටිවල ආනයන බදු සම්පූර්ණයෙන්ම ඉවත් කළ බව  කැබිනට් ප්‍රකාශක විසින් නිල වශයෙන් ප්‍රකාශ කළ බව කියැවිනි.  කාගේ බොක්ක පිරුණාද කියා තවමත් හෙළිදරව් වී නැති නමුත් කවුරුන් හෝ ඒ පාවාදීම කළ බව නම් තවදුරටත් රහසක් නොවේ. මහදවල් මංකොල්ලකෑම් හෙවත් day light robbery යනු මේවාය. සීනි, පොල්තෙල් පෝලිමට මෙලෙස අලුතින්ම එකතු වූ කිරිපිටි ගනුදෙනුවේ සම්පූර්ණ ලාභය ගලායන්නේ නවසීලන්තයට ය. අධිබර ගුදම් ගාස්තුව පවා ගලා යන්නේ ජැටියේ අයිතිය හිමි චීනයටය. සසිරිබර මෙසිරිලකට උරුම වන්නේ බදු අහිමි වීමේ පාඩුව පමණකි. මේ සහගහන අපරාධය වෙනුවෙන් ලබාදුන් දොළ පිදේනියද පැනමා පත්‍රිකාවල හෝ ස්විස් ගිණුම්වල හෝ තැන්පත් වනු ඇත.

රටේ ඩොලර්ං නැති බවත් ඩොලර් ඉතිරි කරගතයුතු බවත් ජනතාවට කියන මේ ආණ්ඩුව ජනතාවගේ මුදල් වැඩි වැඩියෙන් එකතුකර පිටරට පටවන්නේ කිසිදු හිරිකිතයකින් තොරව මහ දවාලේ ය. මේ කැබිනට් පත්‍රිකාව ඇමතිවරුන්ට කලින් ලබාදෙන කැබිනට් පත්‍රිකා අතර නොතිබුනු විශේෂ වර්ගයේ එකකි. රෝහලේ තුන්ඩු දෙනවිට කාර්ය මණ්ඩලයේ අය වෙනුවෙන් මුල් තුන්ඩු කිහිපය පැත්තකට කරන්නා සේ 1සිට5 දක්වා හදිසි පත්‍රිකා වෙනුවෙන් වෙන්කර තිබූ අංකයක් මීට අදාල කැබිනට් පත්‍රිකාවට හිමිවූ  බවටද අරාංචි වේ. මේ බළධාරියා කවුද? මේ අල්ලස තමා නොගත් බවට ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ට වෙන වෙනම ජනතාවට සහතික කළ හැකිද? මේ ගබඩා කරගෙන සිටි කිරිපිටි තොගයට, මේ ලබා දී ඇති බදු සහනය හිමි නොවන බවට නියෝගයක් කරන්නැයි ඉල්ලා උසාවියට යන්නේ කවුරුන්ද? මේ මංකොල්ලය ගැන ගුදම් සඳහාම පත්කළ රාජ්‍ය ඇමතිවරයා ජනතාවට සත්‍යය හෙළි කරන්නේ කවදාද?  ජනතාවගේ මුදලින්ම කමින් බොමින් යමින් එමින් සැප විඳිමින් ගත කරන ජීවිතවලට හෘදය සාක්ෂියක් උනන්නේ කවදාද? මේ කාලකන්නි හිඟාකෑම් නොකරන පාලක පංතියක් ලක්මව බිහි කරගන්නේ කවදාද?

One Response to “කාගේ බොක්ක පිරුණාද?”

  1. dhane Says:

    Customs duty & other taxes are calculated on the day carrying ship entered into Sri Lanka water. Not on the day clearing from Customs. If Fonterra delayed clearing from Customs they have to pay demurrage and current rate of all taxes on the day arrival of the ship.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress