වරද කොතැනද?
Posted on August 13th, 2021

වාගිස ප්‍රනාන්දු විසිනි.

ඊයේ (12 වනදා) ලංකාවේ ආසාධිතයින් ගණන 3039කි. (රජය විසින් නිකුත් කරන දත්තවල නිරවද්‍යතාවය පිළිබදවද ප්‍රශ්ණයක්ද මේ වනවිට මතුව තිබේ) ඒ කෙසේවෙතත්, එම දත්ත නිවරැදියැයි උපකල්පනය කිරීම හැර වෙනත් විකල්පයක්ද අපට මේ මොහොතේ නැත. මන්ද? පසුගියදා ඇතැම් රජයේ රෝහල්වල කොරෝනා ආසාධිතයින්ගේ ධාරිතාවය ඉක්මවාගොස් ඇතැම් ආසාධිතයින් රෝහල් භූමියේ පවා වැතිර සිටින ඡායාරූප මාධ්‍යයේ පලවූ විට ඊට පිළිතුරු වශයෙන් රජයේ එක්තරා උසස් සෞඛ්‍ය නිලධාරියෙකු පැවසූයේ ආසාධිතයින්ට අවශ්‍යවිටෙක එළිමහනට පැමිණ හොදින් වාතාශ්‍රය ලබා ගැනීම සදහා බාදාවක් නොමැති බවකි. නමුත් ඊට දින දෙකකට පමණ පසුව රාජ්‍ය ඇමතිවරයෙකු එම රෝහලේ සංචාරයක නිරතවූ අතර ඒ මොහොතේනම් වාතාශ්‍රය ලබාගැනීමට පැමිණි කිසිදු ආසාධිතයෙක් එළිමහනේ දක්නට නොලැබිනි.ඒ, එම අවස්ථාව වනවිට ඒ සියළු ආසාධිතයින්ව ඔක්සිජන් ටැංකිවලට සම්බන්ධ කර තිබුනු නිසාද විය හැක.

ඒ කෙසේවෙතත්, ඊයේ දවසේ මරණ සංඛාව 156කි. එය ඊයේ දිනයේ හමුවූ ආසාධිතයින් ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් ලෙස ගත්කල 5% කට වඩා තරමක් වැඩිය. එම මරණ වලින් 121ක්ම වයස අවුරුදු  60 ට වඩා වැඩි පුද්ගලයින්ගේ බවටද වාර්තාවිය. එම තත්වය ඊයේ දිනයට පමණක් නොව සමස්තයක් ලෙස ගත්විට මේ දක්වා වාර්තාවූ කොරෝනා මරණ වලින් බහුතරය වයස අවුරුදු 60 ඉක්මවූවන්ගේ බව දැනගන්නට ඇත.  ඒවාගේම මේ දක්වා වාර්තාවුනු මරණවලින් අතිබහුතරය එන්නත් එකක් හෝ ලබා නොගත් අයගේ බවට සෞඛ්‍ය අංශ පුනා පුනා කියමින් එන්නත්කරණය සදහා පුද්ගලයින් පොළඹවන ආකාරයද අප විසින් පසුගිය කාලය පුරාවටම දැක ඇත.

ලෝකයේ බොහො රටවල් කොරෝනා වෛරසයෙන් බේරීම සදහා ආරම්භකරන ලද එන්නත්කරණ වැඩසටහන්වලදී සෞඛ්‍ය අංශවලට, ආරක්ෂක හමුදාවන්ට මූළික ප්‍රමුඛතාවය දුන් අතර ඉන්පසුව ප්‍රමුඛතාවය ලබාදුන්නේ ඒ ඒ රටවල විවිධ රෝගාබාධ සහිත හෝ රහිත වයෝවෘද්ධ රටවැසියන්ට බව රහසක් නොවේ.

නමුත් ලංකාවේඇතැම් ප්‍රභූන් සහ වරප්‍රසාදලත් පැළැන්තිය හැර සාමාන්‍ය ජනතාව සම්බන්ධයෙන් එම ප්‍රමුඛතාවය එළෙසින්ම දුන්නේදැයි සැක සහිතය. එසේවූවානම්, මේවනවිට ලංකාවේ වයස අවුරුදු  60ට වැඩි ජේෂ්ඨ පුරවැසියන් සැළකිය යුතු පිරිසක් සදහා එන්නත් ලබාදීමට හැකිවනු ඇත. එන්නත්කරණය එළෙසින් සිදුවූවානම්, රටේ වර්තමානයේ සිදුවන කොරෝනා මරණ අතුරෙන් අතිබහුතරයක්වන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගේ මරණ සැළකිය යුතු මට්ටමකින් අඩු කරගත හැකිව තිබිනි. නමුත් රටේ අවාසනාවකට මේ දක්වා සිදුනොවූ ඇතැම් දේ මෙන්ම එයද එසේ සිදු නොවිනි. 

One Response to “වරද කොතැනද?”

  1. NeelaMahaYoda Says:

    වරද කෝවිඩ් ඩෙල්ටා අතේ පමනයි තියෙන්නේ.එංගලංතයේ දිනපතා 25,000 – 30,000 අලුත් ආසාධිතයින් වාර්තා කරන අවස්ථාවේ ලංකාවේ 3000 දිනපතා ආසාධිතයින් වාර්තා කිරීම පුදුමයකට කාරනයක් නොවේ. හැම සමාජයකම එන්නත් විරෝදීන් සෑහෙන ප්‍රමානයක් සිටින නිසා අපි මේ වැඩිවීම ගැන අපේ කාලය මිඩන්ගු නොකොට මුලු රටටම එන්නත් ලබාදීමට කටයුතුකලයුතුයි. එංගලංතයේ දිනපතා 25,000 – 30,000 අලුත් ආසාධිතයින් වාර්තා කර තිබුනත් රට සම්පූර්නයෙන්ම විවුර්ත කර තිබීම විශේෂත්වයක්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress