ධීවර ගම්මානවල වෙසෙන ජනතාවට සහන සලසන්න අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්
Posted on August 16th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ, එතුමාගේ සංකල්පයක් ලෙස ආරම්භ කළ ධීවර ගම්මාන” වැඩිදියුණු කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමා විසින් අද 2021.08.16 දින නිවාස විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාට උපදෙස් ලබා දී තිබේ.

ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා සමඟ අද පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමා මෙම උපදෙස් ලබා දී ඇත.

අග්‍රාමාත්‍යතුමා ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ දිවයින පුරා ඇති මුහුදුබඩ ප්‍රදේශ හා වැව් ආශ්‍රිතව ධීවර ගම්මාන 60 කට වැඩි ප්‍රමාණයක් ඉදි කර තිබේ.

මෙහිදී අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කර ඇත්තේ මෙම ධීවර ගම්මාන වැඩිදියුණු කිරීම, සංවර්ධනය කිරීම, නඩත්තු කිරීම හා එම ගම්මානවල ජීවත්වන ජනතාවට සහන සැලසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බවයි.

එම ජනතාවට සහන සැලසීම සඳහා 2022 අයවැය සඳහා ඉදිරිපත් කිරීමට යෝජනාවලියක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍යතුමා තමාට උපදෙස් ලබා දුන් බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා  අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයට කියා සිටියේය. එමෙන්ම එම ධීවර ගම්මාන ආශ්‍රිතව නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙස ද අග්‍රාමාත්‍යතුමා රාජ්‍ය අමාත්‍යවරයාට මෙහිදී උපදෙස් ලබා දී ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress