ශෝක පණිවුඩය.
Posted on August 29th, 2021

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය

දශක හයක්පුරා මෙරට පුවත්පත් කලාවට විශිෂ්ට සේවයක් ඉටුකළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතාගේ  හදිසි අභාවය අසා මම බලවත් ශෝකයට පත්වූයෙමි.

මාධ්‍ය ක්ෂේත්‍රයේ බහුශ්‍රැතයෙකු වන එල්මෝ ගුණරත්න මහතා සම්මානනීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. එල්මෝ ගුණරත්න මහතා නීති ශිෂ්‍යයෙක්ව සිටිය දී එය පසෙකලා 1954 දී ජනමාධ්‍යවේදියෙකු ලෙස  සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ ස්වදේශිය සමාගමෙන් ප්‍රකාශයට පත්කළ “සිංහල ජාතිය” සහ “ගාඩියන්” පුවත්පත්වල  අධිකරණ වාර්තාකරුවෙකු ලෙසය.

එල්මෝ ගුණරත්න මහතාගේ මාධ්‍ය දිවියේ හැරවුම් ලක්ෂය ලෙස සැළකෙන්නේ 1955 දී ලේක්හවුස් ආයතන‍යට  සම්බන්ධ වීමය.  සිළුමිණ, ජනතා, ඩේලි නිවුස් සහ සන්ඩේ ඔබ්සවර් පුවත්පත්වල පොලිස් හා දේශපාලන වාර්තාකරුවෙකු ලෙස එදා ඔහු දිගු ගමනකට මුල පිරුවේ ය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ජනමාධ්‍ය සංගමයේ ශිෂ්‍යත්වයක් ලැබ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් පුවත්පත් කලාව හැදෑරීමට යන එල්මෝ ගුණරත්න මහතා එහි අධ්‍යාපනය ලබන අතරතුර “රොයිටර්”,”නිවුස් ඔෆ් ද වර්ල්ඩ්” හා “මැන්චෙස්ටර් ගාඩියන්” පුවත්පත්වල වාර්තාකරුවෙකු ලෙස සේවය කිරීමට අවස්ථාව උදාකර ගත්තේය.

ලේක් හවුස් ආයතනයේ ප්‍රකාශිත පුවත්පත් රැසක ඉහළ  තනතුරු දරමින් සිටිය දී 1973 වසරේ එම ආයතනය රජයට පවරා ගැනීමත් සමඟ ඊට විරෝධය දක්වමින් එල්මෝ ගුණරත්න මහතා එහි සේවයෙන් ඉවත් විය.

තායිලන්තයේ බැංකොක් හී පළවන “මෝනින් එක්ස්ප්‍රස්” පුවත්පතේ කලක් සේවය කළ  එල්මෝ ගුණරත්න මහතා මෙරට මාධ්‍ය කටයුතුවලට නැවත සිය සක්‍රීය දායකත්වය ලබා දෙමින් 1978 දී “ටයිම්ස්” ආයතනයේ “ඩේලි මිරර්”  පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ලෙස වැඩ භාරගත්තේය.

පසුකාලීනව ඔහු ටයිම්ස් ආයතනයේ සියලුම සිංහල ප්‍රකාශනවල විධායක කර්තෘවරයා ලෙසත්  සිංහල සහ ඉංග්‍රීසි ප්‍රකාශනවල කළමනාකාර කර්තෘ ලෙසත් කටයුතු කිරීම පුවත්පත් කලා ඉතිහාසයේ නොමැකෙන වාර්තාවකි.  

මාධ්‍ය ක්ෂේත්‍රයේ නම් දැරූවන් රැසකගේම මුල් ගුරුවරයා වූයේ ද එල්මෝ ගුණරත්න මහතාය.

තමාටම ආවේනික වූ භාෂා ශෛලයකින් සිංහල හා ඉංග්‍රීසි ද්වි භාෂාවෙන්ම සිය මාධ්‍ය කටයුතු මෙහෙයවූ එල්මෝ ගුණරත්න මහතා මාධ්‍ය කලාව අලුත් මාවතකට ගෙන යාමට උත්සහ දැරූ විශිෂ්ටයෙකි.

අවුරුදු 89 ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූ එල්මෝ ගුණරත්න මහතාට උතුම් නිවන් සුව අත්වේවා! යැයි ප්‍රාර්ථනා කරන අතර ඒ මහතාගේ වියෝවෙන් ශෝකයට පත් හර්ෂ ගුණරත්න, තුෂාර ගුණරත්න සහ රජිව් ගුණරත්න යන දරුවන් ඇතුළු පවුලේ සැමට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.

මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ

අග්‍රාමාත්‍ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress