දිවයිනපුරා ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල සැබෑ ප්‍රතිඵල ගුණාත්මක ව හා කඩිනම් ව ජනතාවට ලබාදීම අපේ වගකීමයි.
Posted on September 12th, 2021

– තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා –

පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය අධීක්ෂණය සඳහා එක්වෙමින් ඊයේ (11) දින තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉදිරිපත් කළ ආර්ථික හා සංවර්ධන සැලැස්ම අනුව ජනතාවට ලබාදුන් සංවර්ධනීය බලපොරොත්තු යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් දිවයිනපුරා මහා පරිමාණයේ හා කුඩා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වේ.

එම සංවර්ධන ව්‍යාපෘති නිවැරදිව ක්‍රියාත්මකවීමේ දී ප්‍රායෝගික ගැටලු ඇත්නම් ඒවා හඳුනාගෙන නිවැරදි සම්බන්ධීකරණය මගින් ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදෙමින් එම ව්‍යාපෘති නියමිත ප්‍රමිතියෙන් යුතුව නියමිත කාලවකවානුවලදී අවසන් කිරීම පිළිබඳව අමාත්‍යවරයා මෙම නිරීක්ෂණ චාරිකාවන්වල දී අධීක්ෂණය කරනු ලබයි.

ඒ අනුව, ඊයේ දින පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පහත සඳහන් ස්ථානවල ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය අමාත්‍යවරයාගේ අධීක්ෂණයට ලක්විය.

  සංවර්ධන ව්‍යාපෘතිය
01 කදුරුවෙල සංහිඳියා පාසලේ සංවර්ධන කටයුතු
02 නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිකිරීමේ ව්‍යාපෘතිය  
03 මැදිරිගිරිය ජල සම්පාදන ව්‍යාපෘතියේ 2 වන අදියර ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය
04 වෙඩිකච්චිය – පේරමඩුව මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතිය
05 මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය

.එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

”කොවිඩ් 19 වසංගතය හේතු කොට ගෙන සමහර ප්‍රදේශවල සංවර්ධන කටයුතු අඩපණ වුණා. අද අපි මේ සංවර්ධන සම්බන්ධීකරණ සහ අධීක්ෂණ අමාත්‍යාංශය හරහා බලාපොරොත්තු වෙන්නේ ඒ තියෙන අඩුපාඩු සකසාගෙන ඉතාමත් කඩිනමින් මේ ව්‍යාපෘති අවසන් කර ජනතා අයිතියට පත් කරන්න.

කුමන ආණ්ඩුවකින් මේ සංවර්ධන ව්‍යාපෘති සිදු කළත් මේවා ජනතාවගේ මුදල්. විදේශ ණය හෝ ආධාර ලෙස ලැබුණත් අවසානේ ඒ මුදල් ගෙවන්න ඕනේ මේ රටේ ජනතාව. ඒ නිසා මේ සංවර්ධන ව්‍යාපෘති විධිමත්ව අවසන් කර උපරිම ප්‍රයෝජනය ගැනීම සදහා ජනතාවට පැවරීම අපේ වගකීමක්.

අපි අද පොලොන්නරුවට ආවේ මේ කටයුතු ගැන සොයා බලන්න. ඉදිරි කාල සීමාව තුළ මේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් හා කැබිනට් අමාත්‍යවරුන්ගේ නායකත්වයෙන් මේ කටයුතු කඩිනමින් නිම වෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා.

මෙම සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කර ජනතා අයිතියට පත් කරන්න අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස මෙම සංවර්ධන ව්‍යාපෘති භාර නිලධාරීන්ගෙන් මම ඉල්ලීමක් කරනවා.

අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය පොරොන්දු වූ සෞභාග්‍යයේ දැක්ම යතාර්ථයක් බවට පත් කරන්න අපි කැපවීමෙන් කටයුතු කරනවා කියලා මම මෙහිදී ප්‍රකාශ කරනවා.”

සංවර්ධන සම්බන්ධීකරණ සහ අධීක්ෂණ නව අමාත්‍යධූරය ක්‍රියාත්මක වීම පිළිබදව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කළ පසු එය ක්‍රියාත්මකවීමේ දී ඇතිවන ප්‍රායෝගික ගැටලු සොයා බලා ඒ සදහා අවශ්‍ය කඩිනම් විසඳුම් සඳහා නිවැරදි  සම්බන්ධීකරණය හා එම කටයුතු අධීක්ෂණය නව අමාත්‍යාංශයේ මූලික පියවරක් බවයි.

”සංවර්ධන ව්‍යාපෘතියක් කරගෙන යාමේදී ගැටලු ඇතිවී තිබේ නම් ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමා සමග සම්බන්ධීකරණය කර එම ගැටලු සඳහා විසඳුම් ලබාදීම එම ව්‍යාපෘති කඩිනම් කිරිම ප්‍රමුඛතම වගකීම යි.

සියලු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ ඒ ඒ අදාළ අමාත්‍යාංශවලින්. අපිට තිබෙන්නේ එම අමාත්‍යාංශවලට සහයෝගය ලබා දීමයි. වෙනත් අමාත්‍යාංශයක වැඩ කටයුතු මගේ අමාත්‍යාංශයට පැවරීමක් සිදු වෙලා නැහැ.

පැහැදිලිවම කියන්න අවශ්‍යයි සෑම අමාත්‍යාංශයක් ම ඉතාම ක්‍රියාශීලීව  තම තමන්ගේ විෂයයට අදාළ සංවර්ධන කටයුතු රට තුළ සිදු කරගෙන යනවා.

අද රට තුළ කෘෂිකර්මාන්තයට අවශ්‍ය වාරි මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය වෙනවා. මහා මාර්ග සැකසෙනවා. පාසල්, ක්‍රීඩාපිටි නවීකරණය වෙනවා. මේ ආකාරයට සෑම අමාත්‍යාංශයක ම සංවර්ධනය අද ගමට පැමිණ තිබෙනවා.

අපේ වගකීම වෙන්නේ මෙම සංවර්ධන ක්‍රියාවලියේ සැබෑ ප්‍රතිඵල ජනතාවට ගුණාත්මකව හා කඩිනම් ව ලබාදීමයි.

රට තුළ පවතින උද්ඝෝෂණ රැල්ලට ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්නේ නැති බව පෙන්වා දුන් මාධ්‍යවේදීන්ට අමාත්‍යවරයා පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ,

සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී තිබෙන නිර්දේශ  කඩ කර උද්ඝෝෂණ කරද්දී ඒ සදහා රජයට මැදිහත් වෙන්න බැහැ. එසේ නොමැතිව සාකච්ඡාවක් සදහා පැමිණ ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කළා නම් බොහෝ ප්‍රශ්න සදහා විසදුම් ලබාදීමට පුලුවන්.

සෞඛ්‍ය නිර්දේශයටන්ට පටහැනිව පාරේ උද්ඝොෂණය කර කොවිඩ් වසංගතය ව්‍යාප්තිය සදහා ක්‍රියා කරන්නන්ට ප්‍රතිචාර ලබාදීමට ගියොත් එහි අවසන් ප්‍රතිඵලය වෙන්නේ මෙම වසංගතය පාලනය කරන්න සෞඛ්‍ය බලධාරීන්ට නොහැකි වෙන එක.

එවිට රජයෙන් මෙම වසංගත ව්‍යාප්තිය වළක්වන්න ගෙන යන එන්නත්කරණ වැඩසටහන සහ විවිධ අයුරින් ක්‍රියාත්මක කරන අනෙකුත් වැඩසටහන් වලින් ප්‍රයෝජනයක් නැතිව යනවා.

පැහැදිලිව කියන්න අවශ්‍යයි අපේ ආණ්ඩුව ඉන්නේ ජනතාවගේ පැත්තේ. මේක ජනතාව බිහි කරපු ආණ්ඩුවක්. අද විතරක් නෙවෙයි මේ ආණ්ඩුව ආරම්භයේ සිටම යම් දෙයකට ජනතා විරෝධයක් ආවානම්  ඒ අවස්ථාවල දී අපි අඩියක් පිටිපස්සට ගත්තා.

නැගෙනහිර ජැටිය සම්බන්ධ ගැටලුවේදී අපි අඩියක් පස්සට ගත්තා. 20 වෙනි සංශෝධනය වෙලාවේ අපි අඩියක් පස්සට ගත්තා. අපි ජනතාවාදී ආණ්ඩුවක්. ජනතාවට ඇහුම්කන්දෙන ආණ්ඩුවක්. ජනතාව වෙනුවෙන් සංවේදී ආණ්ඩුවක්.

ඔබ හැමෝම දන්නවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇවිදින මංතීරුව ඉදිකිරීම සම්බන්ධව ගැටලුවක් ආවා. ජනාධිපතිතුමා උපදෙස් දුන්නා මෙම සංවර්ධන කටයුත්ත තාවකාලිකව නවත්වා වැඩිදුරටත් සොයා බලා ඇත්තටම ගැටලුවක් තිබෙනවානම් එය වෙන තැනකට ගෙන යන ලෙසට.

ජනතාව බිහි කරපු ආණ්ඩුවක් ජනතාවට අවශ්‍ය සංවර්ධනය සිදු කරනවා මිස එක් එක් පුද්ගලයින්ගේ අවශ්‍යතාවය මත සංවර්ධන කටයුතු සිදු කරන්න තීන්දු තීරණ ගන්න අපිට බැහැ. අපි එහෙම කරන්නෙත් නැහැ.

අද මේ දරුණු වසංගත තත්ත්වය එක්ක උද්ඝෝෂණ කරන්නත් බැහැ. සෞඛ්‍ය නීති කඩකරමින් එවැනි ස්ථානවලට යන්නත් බැහැ. අපි දැක්කා පසුගිය කාලේ සෞඛ්‍ය අංශවල උපදෙස් නොතකා තිබුණු උද්ඝෝෂණ නිසා සිදුවූ විනාශය.

ජීවිත කීයක් අපිට අහිමි වුණාද. ඒ නැතිවෙන ජීවිතවලට වග කියන්නේ කවුද, බෙහෙත් දුන් නැහැ කියලා වෛද්‍යවරුන්ට බනින්නද? එන්නත ලබා දුන් නැහැ කියලා ආණ්ඩුවට බනින්නද?

අපිම ගිහින් මේ වසංගතය ව්‍යාප්ත කරගෙන, අපිම ඒකරාශී වෙලා මේක හදාගෙන අනුන්ට චෝදනා කරලා වැඩක් නැහැ. මේක සතුන් මගින් බෝ වෙන වසංගතයක් නොවේ. බල්ලෝ, පුසෝ, කුරුල්ලෝ අරන් ගිහින් මේක බෝ කරන්නේ නැහැ. අපිම තමයි තැන තැන අරන් ගිහින් බෝ කරන්නේ. ජනතාවට මේ වෙලාවේ වගකීමක් තිබෙනවා.

අද වී මිල සම්බන්ධව ගැටලුවක් තිබෙන සහෝදර ජනතාව ආවා. ලිපියක් ඉදිරිපත් කළා. මේ පිළිබදව ජනතා නියෝජිතයින් ලෙස අපි ආණ්ඩුව දැනුවත් කර අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා. එහෙමයි ගැටලුවක් විසදා ගන්නේ.  ඔවුන් මෙතන උද්ඝෝෂණය කළා නම් අපිට මැදිහත් වෙන්න පුලුවන්ද?

මම නැවත වරක් පැහැදිලිව ම වගකීමෙන් කියන්නේ මේක ජනතාව විසින් හදපු, ජනතාවට වග කියන, ජනතාව ආරක්ෂා කරන ආණ්ඩුවක්. අපි ජනතාව එක්ක ඉදිරියට යන එක කාටවත් වළක්වන්න බැහැ” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත් යන මහත්වරුන් සහ   පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්තුමන් ඇතුළු නිලධාරි මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වූහ.

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය,

සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය,

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress