බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටු රැස්වීම
Posted on September 15th, 2021

Media Unit Media Secretary to the Governor of Uva Province

බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව කොවිඩ් – 19 වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම හා ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටු රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙහිදී දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොවිඩ් වෛරසයෙන් ජනතාව ආරක්ෂා කිරීම පිණිස තීරණ රැසක් ගනු ලැබීය.

* දිස්ත්‍රික්කය  තුළ සේවය කරන සියළුම රාජ්‍ය නිලධාරීන්ට කොවිඩ් මර්ධන එන්නතේ මාත්‍රා දෙකම ලබාදීමට මේ වන විට කටයුතු කර ඇති බැවින් ඉදිරියේදී කාර්යාල වෙත සේවයට පැමිණෙන නිලධාරීන් එම එන්නත් ලබාගත් බව තහවුරු කිරීම අනිවාර්ය කිරීම.

* දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30-60 අතර හා 60 ට වැඩි පිරිස් වෙත කොවිඩ් එන්නත ලබාදීම මේ වන විට බොහෝ සෙයින් අවසන් කර ඇති බැවින් ආයතනවල සේවය ලබාගැනීම සඳහා පැමිණෙන එම වයස් කාණ්ඩායම්වල සේවාලාභීන් එන්නත ලබා තිබීම අනිවාර්ය කිරීම.

* බදුල්ල දිස්ත්‍රික්කයේ සංචාරය සඳහා පැමිණෙන පුද්ගලයින් කොවිඩ් එන්නත ලබා තිබීම අනිවාර්ය කිරීම.

* බදුල්ල දිස්ත්‍රික්කය වෙත පැමිණෙන පුද්ගලයින් මාර්ග බාධකවලදී අහඹු ඇන්ටිජන් පරීක්ෂාවන්ට ලක්කිරීම.

* වයස අවුරුදු 20-30 වයස් කාණ්ඩයේ පුද්ගලයින් සඳහා එන්නත් කරණ කටයුතු කඩිනම් කිරීම. යන තීරණ මෙහිදී ගනු ලැබිණි.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30-60 අතර හා 60 ට වැඩි පිරිස් තවමත් කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන නොමැතිනම් එය කඩිනමින් ලබාගැනීමට කටයුතු කරන ලෙසත්, ඒ සඳහා සෞඛ්‍ය  අංශ අවශ්‍ය කටයුතු සලසා ඇති බවත් දන්වන ලදි. විශේෂයෙන්ම එන්නත ලබාගෙන නොමැති වයස අවුරුදු 60 ට වැඩි, එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණිමට අපහසුතා ඇති පුද්ගලයින් සිටීනම් තම කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් එම එන්නත ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් දන්වන ලද අතර එම එන්නත්කරණ කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදාව මඟින් මේ වන විට සිදුකරමින් පවතින බවත් අවධාරණය කරන ලදි.

මීට අමතරව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන හා රෝහල්වල පහසුකම් හා අවශ්‍යතා  සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර විශේෂයෙන්ම ප්‍රමාණවත් ඔක්ෂිජන් තොග දිස්ත්‍රික්කය තුළ පවතින්නේද යන්න විමසා බලන ලදි. එහිදී සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියේ මේ වන විට දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ප්‍රතිකාර සඳහා ප්‍රමාණවත් තරම් ඇඳන්, ඔක්ෂිජන් ඇතුළු පහසුකම් පවතින බවයි.

මෙම කමිටු රැස්වීම සඳහා ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මැතිතුමා, බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  මේජර් සුදර්ශණ දෙනිපිටිය මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා හා අරවින්ද් කුමාර් යන මැතිතුමන්ලා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නායකත්වය, බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය, බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්.එම්.ආර්.රංජිත් මහතා, ඌව පළාත් ආණ්ඩුකාර ලේකම් මංගල විජේනායක මහතා, ප්‍රාදේශීය  ලේකම්වරුන්, සෞඛ්‍ය   අංශ නිලධාරීන්, ආරක්ෂක අංශවල නිලධාරීන් ඇතුළු සීමිත නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූ අතර, රාජ්‍ය අමාත්‍ය  තේනුක විදානගම‍ගේ මැතිතුමා ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් මාර්ග ගතව මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress