ඉන්දීය විදේශ ලේකම්තුමා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවෙයි
Posted on October 4th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (04) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

අරලියගහ මන්දිරයේ දී පැවති මෙම හමුව ආරම්භයේ දී ම ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පෞද්ගලික සුබ පැතුම් සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතාගේ සුබ පැතුම් අග්‍රාමාත්‍යතුමා හමුවේ තැබීය.

දෙරට අතර ද්වි පාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම උදෙසා  දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති හා සංචාරක ව්‍යාපාරය, බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය ඇතුළු අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය වන අංශ ගණනාවක් පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡාවට ලක්විය.

බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම උදෙසා මෝදි අගමැතිතුමා ගත් පියවර මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක් වූයේය. එය අගැමති මෝදිගේ ප්‍රමුඛතම කාර්යක් වූ බව ෂ්‍රිංග්ලා මහතා විශ්වාසය පළ කළේය.

ඉන්දු- ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් අතර  පසුගිය වසරේ පැවති මාර්ගගත ද්විපාර්ශ්වික සමුළුව අවසානයේ දී රටවල් දෙකෙහි ජනතාව අතර පවතින ගැඹුරු සබඳතාව ශක්තිමත් කිරීම උදෙසා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් ප්‍රකාශයට පත් කරන ලදි.

මෙහි දී අදහස් පළ කළ ඉන්දීය විදේශ අමාත්‍යාංශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ඉන්දියාවේ කුෂිනගර් ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වශයෙන් ප්‍රකාශයට පත් කළ වහාම ඒ දක්වා පියාසර කරන පළමු වන්දනාකරුවන්ගේ ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තුවන බව සඳහන් කළේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය ද්විපාර්ශවික සමුළුවේ දී මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබිණි.

සංචාරක ව්‍යාපාරය නැවත නගා සිටුවීම පිළිබඳව ද මෙම හමුවේ දී අවධානය යොමු වූ අතර රටවල් දෙකෙහිම එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා හොඳින් ක්‍රියාත්මක වන නිසා නැවත සබඳතා ආරම්භ කිරීමේ වැදගත්කම පිළිබඳව ෂ්‍රිංග්ලා මහතා අවධාරණය කළේය.

කොවිඩ් වසංගතයට පෙර ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව සමස්ත සංචාරකයින්ගෙන් සියයට 18ක ප්‍රතිශතයක් ඉක්ව වූ අතර ඉන්දියාව ශ්‍රී ලංකාවේ ඉහළ සංචාරක ප්‍රභවයකි.

ඉන්දීය විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ  සිව්දින නිල සංචාරයකට එක්ව සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress