කිසිදු අවස්ථාවක ගොවියා තනි ‌නොකරන බව රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක පොරොන්දුවෙයි
Posted on October 13th, 2021

තිසර සමල් – අනුරාධපුර

කිසිදු අවස්ථාවක ගොවියා තනි ‌නොකරන බවත්, ගොවීන්ගේ පැත්තේ තමන් සෑම විටම සිට ගන්නා බවත් මතුව ඇති බරපතලකම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්, අගමැතිතුමන් නැවතත් දැනුම්වත් කරන බවත් රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයන්ට පොරොන්දු විය.

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ප්‍රචලිත කිරීමට වත්මන් ආණ්ඩුව ගත් තීරණයත් සමඟින් ගොවීන් දැඩි අර්බුධයකට පත්ව ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ගොවි ‌සංවිධාන බල මණ්ඩලය ඇතුළු ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාට පෙන්වා දුන්හ.අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි අනුරාධපුර දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලයේ නිලධාරීන් සහ ගොවි සංගම් නියෝජිතයින් පිරිසක් මේ සම්බන්ධයෙන් පෙන්වා දුන්හ.

රජය මගින් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර හදුන්වා දුන්නද, කාබනික පොහොර යොදා සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වේ යැයි යන බියෙන් වී හා අතිරේක භෝග වගා කරන ගොවීන් වගාවෙන් ඈත් වෙමින් සිටින බව එහිදී ගොවි සංවිධාන නියෝජිතයින් පැවසීය.

මේ හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාස් කන්නයේ අක්කර 1000 කට ආසන්නව සිදු කෙරෙන බඩ ඉරඟු වගාව මෙවර සිදු නොවනු ඇතැයිද ගොවීන් අනතුරු ඇඟවීය. වර්ෂාව ආරම්භ වූවද බොහෝ ගොවීන් මෙතෙක් වගා බිම් සකස් කර නොමැති බවද ගොවීන් පැවසීය.

සාමාන්‍යයෙන් බඩ ඉරඟු වගා කරන ඇතැම් ගොවීන් මාස් කන්නයේ අක්කර ගණනක් මහා පරිමාණයෙන් වගා කළද මෙවර මහා පරිමාණයෙන් වගා කරන ගොවීන් රසායනික පොහොර නොමැතිව වගා කිරීමට මැලිකමක් දක්වන්නේ බිම් සැකසීමට, බීජ මිලදී ගැනීමට, සිටුවීමට හා වල් මර්ධනය වැනි කටයුතු සඳහා විශාල මුදලක් වැය කර රසායනික පොහොර නොමැතිව අපේක්ෂත අස්වැන්න නොලැබෙයි යන බියෙන් බවද ඔවුන් පවසති.ගොවියෝ කියන්නේ පෝසත්තු නෙමෙයි,කණ කර, ගේ දොර උකස් කර සිදු කරන වගාව පාඩු වුණොත් උකස බේරා ගන්න නැති වුණොත් ගොවියන්ට පවුල් පිටින් මැරෙන්න තමා වෙන්නේ.ඒ නිසා ඒ අවධානම ගන්න ගොවියෝ භයයි.ඒ නිසා ගොඩක් අය තමන්ගේ පරිභෝජනයට විතරයි වගා කරන්න ලෑස්තිය යැයි ගොවීන් පැවසීය.

තවද දිස්ත්‍රික්කයේ වී වගාව ඇතුළු එළවලු පළතුරු වගාවන්ද සිදු කිරීම පහළ යන බවත්, ඒ හේතුවෙන් ර‌ටේ පරිභෝජනය සඳහා ආහාර නිෂ්පාදනය අවම වීම මෙන්ම ගොවියාගේ ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ල වන බව ගොවීන් එහිදී පෙන්වා දුන්හ.

රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පසුගිය දින වල වගා බිම් නිරීක්ෂණය කර ගොවීන් වගාවෙන් ඈත් වෙන ආකාරය සියැසින් දැක මෙහි සත්‍යය මනාව අවබෝධ කර ගෙන ඇති නිසා මෙම ගැටලුවට කඩිනම් විසදුමක් ලබා දෙන ලෙස ගොවී නියෝජිතයන් එහිදී අමාත්‍යයවරයාගෙන් ඉල්ලා සිටියහ.

ගොවීන් එහිදී වැඩිදුරටත් කියා සිටියේ, අපිට විශ්වාසයක් තියෙන්නේ ඔබතුමා ගැන විතරයි, අනෙක් හැම කෙනෙක්ම අද වන විට ගොවියාගේ පැත්තේ නෑ, ඔබතුමා විතරයි ගොවියා ගැන බලන්න ඉන්න එකම කෙනා, අනිත් හැමෝම තමන්ගේ තනතුර රැක ගන්න ආණ්ඩුවේ තීරණයේ ඉන්නේ, අපි ඉල්ලන්නේ එකම එක දෙයයි, අපිට විශ්වාසයෙන් වගා කරන්න අඩුම තරමේ අක්කරයකට එක යූරියා පොහොර මිටියක් හරි දෙන්න අවශ්‍යය කටයුතු කරලා දෙන්න.නැත්නම් අපිට පොහොර දෙනෙකල් උද්ඝෝෂණ කරන්න වෙනවා ආණ්ඩුවට විරුද්ධව යැයි පැවසීය..

එහිදී අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ,

උද්ඝෝෂණ කරන්න මේක වෙලාවක් නෙමෙයි, මේ ආණ්ඩු හැදුවේ අපි ඔබතුමන්ලා දහසක් බලාපොරොත්තු ඇතිවනේ, ඒ නිසා අපි ආණ්ඩුවත් එක්ක සාකච්ජා කරමු, ඇත්තම කථාව දේශපාලනය පැත්තකින් තියමුකෝ, මේක අපේ දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි මේ රටටම බලපාන ප්‍රශ්නයක්, එක පැත්තකින් ගොවියෝ වගාවෙන් ඈත් වුණොත් ගොවියන්ගේ ආර්ථිකය කඩා වැටෙනවා වගේම, අනෙක් පැත්තෙන් රටේ ආහාර අර්බුධයක් ඇති වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ආහාර ද්‍රව්‍යය වල මිළ අසීමිතව ඉහළ යන්න පුලුවන්මේ නිසා ඒ නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් විදිහටත්, මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගෙන් පත් වුණ කෙනෙක් විදිහටත් ජනාධිපතිතුමන්, අගමැතිතුමන්, කෘෂිකර්ම අමාත්‍යයතුමන් ඇතුලු ඇමතිවරුන් මෙන්ම නිළධාරීන් බළධාරීන්ගෙන් ඉල්ලීම් කරලා තියෙනවා මේ පොහොර ගැටලුවට විසදුම් දෙන්න කියලා.එක්වරම රසායනික පොහොර නවතා දැමීමත් එක්ක ගොවීන් කාබනික වගාවට හුරු නොමැතිකමක් තියෙනවා, කාබනික වගාවට ගොවීන් හුරු කරනවා නම් ඒක අදියරෙන් අදියර යා යුතුව තිබුණා, ඒ වගේම කාබනික වගාව සම්බන්ධයෙන් ගොවීන්ගේ දැනුම්වත් බවක් නැති බවත් මම ගොවි බිම් වල කරපු සංචාර වලදී දැක්කා, ඒ නිසාත් ගොවියෝ වගා කිරීමට බියක් දක්වනවා. මම කිසිම අවස්ථාවක ගොවියා තනි කරන්නේ නෑ, ගොවීන්ගේ පැත්තේ මම හිට ගන්නවා.මම නැවත වරක් මේ තියෙන බරපතලකම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්, අගමැතිතුමන් හා කෘෂිකර්ම ඇමතිතුමන් ඇතුළු බළධාරීන් දැනුම්වත් කරන්නම් යැයි පැවසීය.

එහිදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මුහුණ දෙන වාරි,ඉඩම් මෙන්ම ගොවි ගැටලු රැසක් සම්බන්ධයෙන්ද එහිදී සාකච්ජා කෙරිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික ගොවිජන සංවිධාන මණ්ඩලයේ සභාපති එස්.එම්.ජී සමරකෝන් මහතා ඇතුළු ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress