නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගැන විශේෂඥ මතය
Posted on October 20th, 2021

උපුටාගැණීම අදදෙරණ

නැනෝ නයිට්‍රජන් දියර පොහොර භාවිත කිරීම සම්බන්ධයෙන් තවමත් ඉන්දියාවේ ගොවීන්ට පවා අත්දැකීම් අඩු බව ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා පිළිබඳ මහාචාර්ය එස්. ඩී. එම්. චින්තක මහතා පවසයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ, මෙම පොහොර මෙරට භාවිත කිරීමට පෙර ක්ෂේත්‍ර පර්යේෂණ සිදුකළ යුතු බවය. 

“නයිට්‍රජන්වලට අපි මුලින් පාවිච්චි කළේ යූරියා. යූරියා දැන් ලංකාවට ගෙනඒම තහනම් නිසා නැනෝ යූරියා පොහොරක් ආනයනය කරලා තියෙනවා. මේ පොහොර සම්පූර්ණයෙන්ම රසායනික පොහොරක්. මේක ඉන්දියාවේ පර්යේෂණ මට්ටමින් සිදුකරලා, ක්ෂේත පරීක්ෂණත් සිදුකරලා ගොවියන් සඳහා නිකුත් කරලා තියෙන්නේ දැනට මාස 2කට ඉස්සෙල්ලා. තාම මේක ඉන්දියාවෙවත් ගොවීන් අතර භාවිත කරලා ගොවීන්ගේ අත්දැකීම් කිසිවක් නැති පොහොරක්. මේක ලංකාවේ එකපාරටම දානවාට වඩා ලංකාවේ ක්ෂේත්‍ර පර්යේෂණ කරලා ඒ හරහා ලැබෙන ප්‍රතිඵල විශ්ලේෂණය කරලා තමයි ලංකාවට හඳුන්වාදිය යුත්තේ කියලා මම නම් විශ්වාස කරන්නේ.”

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පිඨයේ පාංශු සරුබව සහ පෝෂක කළමනාකරණය පිළිබඳ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතා සඳහන් කළේ,

“මේ පොහොර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පර්යේෂණ මා දැනුවත්ව නෑ. නමුත් ඉන්දියාවේ පවා කරලා තියෙන පර්යේෂණවලින් පෙන්වන්නේ සාමාන්‍ය නයිට්‍රජන් පොහොර යූරියා විදිහට යොදලා වර්ධන අවස්ථාවල මේ නැනෝ පොහොර වාර දෙකක් යෙදීම තමයි. මේ නැනෝ යූරියා දියර පොහොර 4%යි නයිට්‍රජන් තියෙන්නේ. බීජ හදන්න කිලෝග්‍රෑම් 50ක් ශාකයට අවශ්‍ය කරනවා. ඒ සඳහා අපි ලබා දෙන්නේ ග්‍රෑම් 100ක් වැනි කුඩා ප්‍රමාණයක් මේ දියර පොහොර හරහා. මේ දියර පොහොර පැය කිහිපයකට වරක්වත් ගැහුවොත් තමයි ශාකයට අවශ්‍යකරන නයිට්‍රජන් ප්‍රමාණය ලබාදෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේක කිසිසේත්ම ප්‍රායෝගික ක්‍රියාවලියක් නොවන බව තමයි මගේ විශ්වාසය.”

කෙසේවෙතත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා සඳහන් කළේ, 

“මේ ප්‍රභවය ශාකයේ පත්‍රවලට දියරයක් ලෙස ලබාදුන් පසු ඒක ශාකය අභ්‍යන්තරයට ගමන් කරනවා. ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කාලයන් හදලා තියෙනවා, මේ පොහොර කොහොමද භාවිත කරන්නේ කියලා. ගොවීන්ට කිසිම බයක් නැතුව මේ පොහොර පාවිච්චි කරන්න පුළුවන්.”

මහ කන්නය සඳහා අවශ්‍ය දියර පොහොර ගෙන්වීමේ පළමු අදියර ලෙස ඇණවුම් කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක තොගයක් ඊයේ (19) ඉන්දියාවේ සිට මෙරටට ගුවන් මගින් ගෙන එනු ලැබීය.

නයිට්‍රො රජා ලෙසින් නම් කර ඇති එම දියර පොහොර තොගය මේ වනවිටත් ගොවි ජනතාව වෙත බෙදාහැරීම ආරම්භ කර තිබේ.
 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress