‍බෞද්ධ ජනරජ ප්‍රවාදය – 41 වැනි කොටස – ආහාරයෙන් පරම ලාභය
Posted on October 25th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

ධම්මපදයේ සුඛ වග්ගයේ එන ආරෝග්‍යා පරමා ලාභා” යනාදි වශයෙන් වන ගාථාව අපි සැවොම දනිමු. මෙය පසේනදී කොසොල් රජතුමා අරභයා අප මහ බුදුරජාණන්වහන්සේ විසින් කළ දේශනාවකි. මිනිසුන්ට වැළැඳිය හැකි රෝග වර්ග දෙකක් ගැන අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඇති රෝග සූත්‍රයෙහි සඳහන් වෙයි. ඒ, කායික රෝග සහ චෛතසික රෝග යනුවෙනි.

අප විසින් අනුභවකරනු ලබන ආහාර ද කායික සහ මානසික නිරෝගීභාවය උදෙසා තීරණාත්මක කාර්යයක් ඉටුකරයි. බටහිර වෛද්‍ය ශාස්ත්‍රයෙහි පියා වශයෙන් සළකනු ලබන හිපොක්‍රටීස් ද මෙම කරුණ අවධාරණය තිබේ. ආහාරය ම ඖෂධ වේ” යන්න ඔහුගේ අදහස විය. පමණ දැන, සිහිකල්පනාවෙන් යුතුව ආහාර අනුභව කළ යුතු බැව් ද බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කර තිබේ.

ආහාර පිළියෙළකිරීමේ දී අවධානය යොමුකළ යුත්තේ රසය සහ වර්ණය කෙරෙහි පමණක් නොවේ. විෂ සහ විෂබීජවලින් තොර ගුණවත් බවින් ඉහළ ආහාර පිළියෙල කරගැනීමට ද අපි සැළකිළිමත් විය යුතු වෙමු. ආහාර පිළියෙළකිරීමට සහ අනුභවකිරීමට ගන්නා භාජන ආදිය ද පිරිසිදුව තබාගත යුතු වෙයි. ඉතා සරල කරුණු ලෙසින් පෙනුන ද ජීවිත පුරුදුවලට ඇතුළත් කර නොගතහොත් එදිනෙදා භාවිතයේ දී මේවා මගහැරී යා හැකි ය.

ආහාරයේ ස්වභාවය සහ ප්‍රමාණය තීරණයකිරීමේ දී වයස, වෘත්තිය වැනි කරුණු ද සළකා බැලිය යුත්තේ ය. ඇඟ වෙහෙසා වැඩ කරන කෙනකු සහ එසේ නො කරන කෙනකු අනුභව කළ යුතු ආහාරයේ ස්වභාවය සහ ප්‍රමාණය සමාන නොවේ. මෙහි දී වේල් ගණන ගැන පවා සළකා බැලිය යුත්තේ ය. මජ්ඣිම නිකායේ භික්ඛු වර්ගයේ එන කීටාගිරි සූත්‍රයේ බුදුරජාණන්වහන්සේ මෙ සේ දේශනා කර ඇත්තේ ය.

මහණෙනි, මම් වූ කලි රාත්‍රි භෝජනය හැරපියා මැ වළඳමි. මහණෙනි, රාත්‍රි භෝජනය හැරපියා වළඳන මම නීරෝග බව ද ශරීරයාගේ සැහැල්ලු පැවැත්ම ද කාය බලය ද සුඛ විහරණය ද දනිමි. එව, තෙපිදු මහණෙනි, රාත්‍රි භෝජනය හැරපියා මැ වළදවු. මහණෙනි, තෙපිදු රාත්‍රි භෝජනය හැරපියා වළඳන්නහු නීරෝග බව ද නිදුක් බව ද සැහැල්ලු පැවැත්ම ද කාය බලය ද සුඛ විහරණය ද දැනගන්නවු යැ.”

ආහාරයෙන් ශරීර සෞඛ්‍යය සලසාගත හැකි බව මේ සියලු කරුණුවලින් පැහැදිළි වෙයි. මෙම කරුණු සියල්ල ම අපි සැවොම දනිමු. එනමුදු ඒවා භාවිතයට ගැනීම අප අතින් සිදුවන්නේ ඉතා කලාතුරකිනි. අදාළ දැනුම හුදු දේශන ආකාරයෙන් සන්නිවේදනයකිරීම මෙම ගැටලුවට හේතුවයි. පාසල් අධ්‍යාපනය තුළ ඉගැන්වෙන ආහාර පිළිබඳ පාඩම් පොත්වලට සීමා වී තිබේ. ආහාර පිළිබඳ මෙම පාඩම්වලට අදාළ පරීක්‍ෂාව විය යුත්තේ නිරෝගීකම රැකගැනීමට කරනු ලබන කටයුතු ඇගැයීම විනා ලිඛිත විභාගයක දී ඉහළ ලකුණු ලබාගැනීම නොවේ.

දරුවන්ට අවශ්‍ය පෝෂණීය ආහාර ලබාදීම ද හැකියාව තිබිය දී දරුවන් විසින් එවැනි ආහාර අනුභවකරන්නේ ද යන්න විමර්ශනය ද අධ්‍යාපන කාර්යය භාර සැමගේ වගකීමකි. දිළිඳු දරුවන්ට පෝෂණීය ආහාර ලබාදීම ජනරජයේ වගකීමකි. ඒ අරභයා අදාළ සම්පත් යෙදවීමේ වගකීම බිම් මට්ටම (ගම් සභා සහ නාගරික සභා), ප්‍රාදේශීය මට්ටම (කෝරළ සභා) සහ ජාතික මට්ටම යන සෑම අංශයකට ම පැවැරිය යුතුවෙයි.

ආහාර සහ සෞඛ්‍ය පුරුදු අනුව දරුවන් ඇගැයීමේ ක්‍රමයක් ද හඳුන්වාදිය හැකි ය. හැකියාව තිබිය දී පෝෂණීය ආහාර නිසි පමණ අනුභව නො කර ඒ වෙනුවට කෙටිකෑම” වැනි දෑ අනුභවයට යම් දරුවකු යොමුවන්නේ නම් ඔහුට හෝ ඇයට ලබාදිය යුත්තේ අඩු ලකුණු ප්‍රමාණයකි. දිළිඳු දරුවන් හට නිසි පෝෂණය සැපැයීමේ වගකීම අදාළ ආයතන විසින් ඉටුකරන බැව් සහතිකකිරීම සඳහා ඒවාට අදාළ ඇගැයීම් ක්‍රමයක් ද හඳුන්වාදිය හැක්කේ ය.

වැරැදි ආහාර පුරුදු වැළැක්වීමේ වැඩපිළිවෙළක් ද ජනරජය විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය. ඒ සඳහා අවශ්‍ය විධිමත් සහ අවිධිමත් අධ්‍යාපනික වැඩපිළිවෙළ, දැනුම්වත්කිරීමේ වැඩපිළිවෙළ සම්පාදනයේ සහ ක්‍රියාත්මකකිරීමේ වගකීම අදාළ ආයතන වෙත පැවැරිය යුත්තේ ය. මෙම කාර්යයට බාධාකරන ආහාර පාන වර්ග වෙළෙඳපොළෙන් ඉවත්කිරීම ද කළ හැක්කේ ය. ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය ජනරජයේ වගකීමකි.

මෙයට පෙර ලිපියෙන් අවධාරණය කළ පරිදි දියුණු රස ශාස්ත්‍රයක් වර්ධනය කරගැනීම ද මෙම කාර්යයට අදාළ වෙයි. අදාළ සම්පත් නාස්තිවන්නේ සහ වැරැදි ආහාර අනුභවයට මිනිසුන් පෙළැඹෙනුයේ ප්‍රමාණවත් අයුරින් වර්ධනය කළ රස ශාස්ත්‍රයක් නොමැති විට ය. ජනරජයේ සමාජ සංවර්ධනයට අදාළ සෞඛ්‍යය දර්ශක විසින් ප්‍රකාශකළ යුත්තේ ළමා මරණ අනුපාත, මාතෘ මරණ, ආයු අපේක්‍ෂාව වැනි කරුණු පමණක් නොවේ. දියවැඩියාව වැනි බෝ නොවන රෝග පාලනයට අදාළ කරුණු ද, මත්ද්‍රව්‍ය භාවිතයට අදාළ කරුණු ද ඒ තුළින් ප්‍රකටව ප්‍රකාශවිය යුත්තේ ය.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress