අමෙරිකා ගිවිසුම ගැහුවේ‌ ටෙන්ඩර්වලින් තොරව බව විදුලි බල සභාපති පිළිගනී
Posted on November 3rd, 2021

තාරක සම්මාන් මව්බිම දැන්

යුගදනවි බලාගාරයේ කොටස් හා මෙරට LNG සැපයුම අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට ලබා දීමට එරෙහිව වැඩ වර්ජනයක් දියත් කිරීම සම්බන්ධයෙන් හෙටින් පසුව දින නියම කර තීන්දුවක් ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා අද (නොවැ: 3) කොළඹ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී පැවති විරෝධතාව අතරතුර මේ බව සඳහන් කළේ ය.

“මේ අමෙරිකානු ගිවිසුම අවලංගු කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරන්නේ ජනතාව පීඩාවට පත්කරන්නේ නැතිව. මේ ක්‍රියාමාර්ගගය ජනග්‍රහණයකින් තමයි අවසන් වෙන්නේ. ගත්ත වැඩවර්ජන තීන්දුවට හෙට දවස තුළ අපි දින නියම කරලා ප්‍රකාශයට පත්කරනවා.”

යුගදනවි බලාගාරයේ කොටස් හා මෙරට LNG සැපයුම අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් සමාගමට ලබා දීමට විරෝධය පළ කරමින් ඛනිජ තෙල්, වරාය සහ විදුලිබල මණ්ඩල සේවකයින් සංවිධානය කළ උද්ඝෝෂණ අද කොළඹ ස්ථාන 4 කදී පැවැත්විණි. 

මේ අතර, යුගදනවි ගිවිසුම අත්සන් කරනු ලැබුවේ එහි මූලික කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පවසයි.    

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ යුගදනවි ඇත්ත කතාව යන තේමාව යටතේ අද (නොවැ: 3) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේ ය.

ඔහු එහිදී සඳහන් කළේ, ආණ්ඩුව “දැවෙන ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටින බැවින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය මග අමෙරිකාව සමග ගිවිසුමට එළැඹි බව ය.

“ඒ ගිවිසුම සකස් කළේ සියලු ම පාර්ශවයන්ගේ එකඟතාව ඇති කරගෙන අවසානයේ හැම වචනයක් වචනයක් පාසා ම නීතිපති විසින් බලලා නිෂ්කාෂණය වීමෙන් අනතුරුවයි. හැබැයි මේක තවමත් ඉදිරිපත් කරන්න බැරි වුණා, විදුලිබල මණ්ඩලයටවත් ආවේ නැහැ. මොක ද මේකේ තියෙනවා කොන්දේසියක් disclose කරන්න පාර්ශවයන්ගේ කැමැත්ත තියෙන්න ඕනේ. ඒක සම්බන්ධයෙන් දැනට භාණ්ඩාගාරයේ මා දන්නා තරමට භාණ්ඩාගාරයෙන් නීතිපතිගේ අදහස් විමසලා තියෙනවා මේක ඉදිරිපත් කිරීම තුළින් රජයට යම් අවහිරතාවක් වේවි ද කියන එක. මේවා වාණිජ ගනුදෙනු. මේ වාණිජ ගනුදෙනු අනවශ්‍ය පුද්ගලයින් අතට ගියා ම, ඒ වාණිජ ක්‍රියාවලියේ තියෙන මූල්‍ය විචල්‍යතාව පිළිබඳ ලොකු ලොකු අර්බුද ඇවිල්ලා ඒවා arbitration බේරුම් කරන එක විශාල වන්දි ගෙවීම්වලට තුඩු දෙන හේතු වෙනවා. අමාත්‍ය මණ්ඩලය මේකට අනුමැතිය දුන්නේ රාමුව අනුමත කරලා, සිද්ධාන්ත අනුමත කරලා විස්තරාත්මකව ඒක අත්සන් කරාට පස්සේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න කියලා ඒ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය අරගෙන, මම හිතන්නේ අපේ ඇමැතිතුමාත් ප්‍රකාශ කළා පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරනවා කියලා. මේවා හංගන්න තියෙන කරුණු නෙමෙයි. 

මේ වෙනකොට විදුලිබල මණ්ඩලයට ගල් අඟුරු ටෙන්ඩර් දෙකක් අසාර්ථක වුණා. අත්පිට මුදලට ගෙවන්න සල්ලි නෑ. ණයවර ලිපි විවෘත කරන්න ඩොලර් නෑ. ඒ අර්බුදය තියෙනවා. තෙල් මිලදී ගැනීම සඳහාත් විදුලිබල මණ්ඩලය හින්දා ඛණිජ තෙල් සංස්ථාවත් දැන් බිම වැටෙන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ තියෙන්නේ, අසාමාන්‍ය තත්ත්වයක්. ඉතින් ඒ හින්දා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මග ඇරලා හරි මේ ගියේ මොක ද දැවෙන ප්‍රශ්නයකට ආණ්ඩුව මුහුණ දෙනවා. මොක ද විදුලිබල මණ්ඩලය කඩාගෙන වැටුණොත් එහෙම විදුලිය නිකම් කවුරුවත් කපන්න ඕනේ නෑ, නිකම්ම කැපෙනවා.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress