“අමාදම් සිසිලස” 216 වැන්නට අග්‍රාමාත්‍යතුමා එක්වෙයි
Posted on November 18th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සෑම පුන් පොහෝ දිනකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 216  වැන්න ඉල්  පුන් පොහොය යෙදෙන අද (18) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී  පැවැත්විණි.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය  මල් ,පහන්, සුවඳ දුම් පූජාකිරීමෙන් අනතුරුව ධර්ම දේශනාව සඳහා වැඩම කළ වාද්දූව තල්පිටිය බෝධිරාජ මහා විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක හා ප්‍රධාන ලේඛකාධිකාරි අග්ගමහාපණ්ඩිත මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමියන්ට දැහැත් වට්ටියක් පූජා කරමින් ධර්ම දේශනාවට ආරාධනා කළාය.

ප්‍රඥාවන්ත දැහැමි ජන සමාජයක් උදෙසා බුදු දහමේ සිසිලස බෙදාදීමේ අරමුණ පෙරදැරිව සෑම පුන් පොහෝ දිනකම  අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාව පැවැත්වේ.

අංගුත්තර නිකායේ චතුක්ක  නිපාතයේ  දුතීය සත්පුරුෂ සූත්‍රය මාතෘකා පාඨය කර ගනිමින් දේශකයාණන් වහන්සේ අද දින දහම් දේශනය පැවැත්වූහ.

සමහරු හිතනවා මේ ලෝකේ තියෙන සියලුම දේවල් ඉගෙනගත්තමයි බහුශ්‍රැත කියල. එහෙම වෙන්නේ නැහැ. බහුශ්‍රැත  කියන්නේ තමන්ට අදාල, තමන් ගතකරන ජීවිතයට අදාළ, තමන්ගේ ක්ෂේත්‍රය  පිළිබඳ බහුශ්‍රැත වීම තමයි බහුශ්‍රැත කියන්නේ. භික්ෂූන් වහන්සේ නමකගේ බහුශ්‍රැත භාවය තමයි ත්‍රිපිටකය පිළිබඳව,  ධර්ම විනය පිළිබඳව තමන් තුළ පැවතිය යුතු දැනුම. එතකොටයි ඒ භික්ෂුව බහුශ්‍රැත භික්ෂුවක් කියල කියන්නේ. දේශපාලනයේත් දේශපාලනය කරන අය හොඳ බහුශ්‍රැතභාවයක් ඇතිකරගන්න ඕනේ.  මේ බහුශ්‍රැතභාවය එකවර ඇතිවෙන්නේ නැහැ. බහුශ්‍රැතභාවය ඇතිවෙන්නේ ක්‍රමයෙන්. 

දේශපාලනඥයෝ සමීපයේ ඉඳල, මේ දේශපාලන ලෝකයට අවතීර්ණවෙලා ,දේශපාලනයට අදාළ පොතපත කියවල, දේශපාලනඥයන්ගේ හැසිරීම් රටාව කියවල, ඒ අය ගැන අවබෝධකරගෙන, තමා ඉදිරිපත්වෙලා දේශපාලනය කරලා, පියවරෙන් පියවර ඉදිරියට ගිහිල්ල , දේශපාලනය කරන්නේ මෙහෙමයි කියල බය නැතිව ඔලුවෙ තියාගෙන වැඩ කරන්න පුළුවන්නම් ඒක තමයි දේශපාලන බහුශ්‍රැතභාවය කියල කියන්නේ.

අගමැතිතුමනි, මේ ඔබතුමාට ලකුණු දාන්න කියනව නෙමෙයි. මා විශ්වාස කරනවා දැන් ඔබතුමා දේශපාලනයේ පරිනත බවක් බහුශ්‍රැත  බවක් ලබාගෙන ඇති කියල.  ඔබතුමාට තේරෙනව ඇති දේශපාලනඥයෝ හැරෙනකොට, එක වචනයක් හරි කවුරුහරි දේශපාලනඥයෙක් කතාකරනකොට , මෙයා එන්නේ මේකටයි කියල. අමුතුවෙන් කියන්න ඕනේ  නැහැ. ඒක ලැබෙන්නේ දේශපාලනයෙන් දිගුකලක් ගිහිල්ල දේශපාලනය කියන පාඩම හොදට ඉගෙනගත්තොත් තමයි. යැයි ධර්ම දේශනය අතරතුර දහම් කරුණු පෙන්වා දෙමින් කොටපිටියේ රාහුල අනුනාහිමියෝ සඳහන් කළහ.

මේ පාලනය කියන එක නිවන් දකින වැඩක් මහා පින්කමක්. ශ්‍රීමත් අගමැතිතුමනි, අද ඔබතුමාගේ ජන්ම දිනය. මම හිතනවා ඔබතුමන්ගේ ජන්ම දිනය ඔබතුමන්ටත් ,ඔබතුමන් මෙලොවට බිහිකළ දෙමාපියන්ටත්, ඔබතුමන්ට ශිල්ප ශාස්ත්‍ර කියල දීපු ගුරුවරුන්ටත්, ඥාතින්ටත්,  හිතවතුන්ට, මේ  රටේ වැසියන්ටත් ,යහපත පිණිසම හේතු වෙනවා කියල. එහෙම හේතු වුණා කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමා මේ රටේ හිටපු නායකයන් අතර ශ්‍රේෂ්ඨ නායකයෙක්. එක මම කියන්නේ මේ දේශපාලනයේ ඔබතුමන්ගේ  රාමුවට ඇවිල්ල නෙමෙයි. ඔබතුමා වාසනාවන්තයි කියන එ්ක කවුරුත් දන්නා, කවුරුත් පිළිගන්න කාරණාවක්. දේශපාලනයේදී විවිධ විධියට ඒක අර්ථකථනය කලාට කමක් නෑ. භික්ෂුන්වහන්සේලා හැටියට එක අපිට අවංකව කියන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබතුමන්ගේ වටිනා ජන්ම දිනය ඔබතුමන්ටත් රටටත් ‌ලෝකයටත් ප්‍රයෝජනවත් වුණා. ඒ නිසා ඒ ජන්මය, වටිනා ජන්මයක්. ඉදිරියටත් එය බොහෝ කල් තව තවත් මේ රටට  සමාජයට සේවය කරන්න ලෝකයට සේවය කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා. ඔබතුමන්ට වාසනාවන්ත සුභ අනාගත කාල පරිච්ඡේදයක් උදා වේවා” යැයි ද දේශකයාණන් වහන්සේ ආශිර්වාද කළහ.

ධර්මදේශනාව අවසානයේ දී දේශකයාණන් වහන්සේට  අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියත් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල  ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාත්  අෂ්ඨපරිෂ්කාර සහ පිරිකර පූජා කරනු ලැබූහ.

මොරටුව සත්කරඩු නදිනි හේවාරත්න මහත්මිය මුතු පබලු වලින් අලංකාර කළ අඩි හයක් උසැති කරඬුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිරිනැමීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එම කරඬුව යාපනය නාගදීප විහාරස්ථානය වෙත පූජා කිරීම ද මෙහිදී සිදු විය.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව පැවති අමාදම් සිසිලස” ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ,අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සීමිත පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress