ලංකාවේ ඇත්ත මුදල් ඇමති බැසිල් නොව පී.බී.ජයසුන්දරයි! පී.බී.ජයසුන්දර අහුරාගෙන සිටි කෘෂි රසායන ආනයන ගැසට් නියෝගයට බැසිල් රට යන්නට පෙර අත්සන් කරලා
Posted on December 1st, 2021

රජිත් කීර්ති තෙන්නකෝන් දකුණු පලාත් හිටපු ආණ්ඩුකාර 

 කැබිනට් මණ්ඩලය, අමාත්‍යාංශ, පාර්ලිමේන්තුව වැනි වැදගත් ආයතනයන් ගන්නා තීරණ ක්‍රියාත්මක නොවන්නේ ලංකා ආර්ථික මෙහෙයවීමේ සර්ව බලධාරියා බවට ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර පත්ව ඇති නිසා බව නිවේදනයක් නිකුත් කරමින් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ කතාකල ඇමති මහින්දානන්ද කීවේ එදින සවස ගැසට් එක නිකුත් කළ හැකි බවයි. ඊට පෙර දින පුවත්පත් සාකච්ඡාවේදී එතුමා කීවේ ජනතා සංවේදී රජයක් ලෙස ගොවි ජනතාවට සවන් දී මැයි මාසයේ නිකුත් කරන ලද ගැසට්පත්‍රය ඉවත් කර ගන්නා බවයි. මේ ගැසට් එක ට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අත්සන් කළේ ඊයේ ය.  දැන් සතියක් මේ ගැසට් එක අත පසු කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ මුදල් අමාත්‍යාංශය නොව රටේ මුදල් තීරණ ගන්නා සර්ව බලධාරියා ලෙස කටයුතු කරන පී.බී.ජයසුන්දර යි.

ඒ අතර තුර, ආණ්ඩුව හාල් ආනයනය කළේය.  මහ කන්නයට අවශ්‍ය වල් නාශක ආනයනය නවතා පසේ සාරය වල්ගස් ටික උරා ගන්නා තෙක් සිටියේය.  මෙහි අනිවාර්ය ප්‍රතිඑලය දැන් ඇට්ටකුනා වෙමින් ඇති වී ගස් ටික අස්වැන්නක් නැති, පිදුරු බවට පත්වීමය. 

මේ වනවිට චීනය පොහොර අපනයනය තාවකාලිකව අත්හිටුවා ඇත. කෘෂි රසායන මිළ සීග්‍ර ලෙස ඉහළට යමින් පවතී. යුරෝපීය වෙළදපලේ පොහොර මිළද තුන් ගුණයකට වඩා ඉහළ ගොස් ඇත. ආරංචි මාර්ග සඳහන් කරන්නේ දැන් ලබාදෙන ඇනවුම් ලබන පෙබරවාරියේදී පමණ නිෂ්පාදනය කිරීමට යම් ඉඩක් ඇති බවයි. මේ සියල්ල මැද රජය කල් මරමින් සිටියි. මෙයින් සිදුවන්නේ රටේ ජීවනාලිය බඳු ගොවියා හිඟමනට පත්කිරීමයි. ලෝකයේ විශාලතම නයිට්‍රජන් පොහොර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පසුගිය සතියේ ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියේ ඇතිවන දැඩි නයිට්‍රජන් පොහොර හිඟය නිසා දැඩි ආහාර හිඟයක් පාර කැපෙන බවයි. ලෝකයේ බොහෝ රටවල් සිය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට සැලසුම් යොදන මේ මොහොතේ ශ්‍රී ලංකාව දිගින් දිගටම කෘෂිකර්මයට අවශ්‍ය පහසුකම් සැලසීම අතපසු කර සිටී.

ලංකා ආර්ථිකයේ සෑම අංශයක්ම හසුරුවනු ලබන්නේ මුදල් අමාත්‍යාංශය නොව ජනාධිපති ලේකම් විසිනි.  මහ කන්නයේ වගාව මේ වන විටත් විනාශ වී අවසන්.  ඉදිරි වගා කටයුතු සඳහා විශේෂයෙන්ම ජනවාරි සහ පෙබරවාරි මාසවල ලංකාවේ අතුරු භෝග වගාවට, උඩරට එළවළු වගාවට, තේ වගාවට අවශ්‍ය පොහොර සහ රසායන වර්ග ඉක්මනින් ගෙන්වීමට පියවර ගත යුතුයි.  එසේ නොමැතිව තවදුරටත් පොහොර – බෙහෙත් ආනයන ක්‍රියාවලියට බාධා පමුණුවන්නේ නම් මෙරට කෘෂිකර්මාන්තයේ දැවැන්ත බිඳවැටීමක් සිදුවී ආහාර අහේනියකට මාවත සැකසෙනු ඇත. 

රජිත් කීර්ති තෙන්නකෝන් දකුණු පලාත් හිටපු ආණ්ඩුකාර 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress