තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ශ්‍රී ලංකා වූෂු ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට පුහුණු මධ්‍යස්ථානයක් සමඟ මූල්‍යමය ප්‍රදානයක් හිමිවෙයි.
Posted on December 6th, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය,

වූෂු ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ හිමිකරගැනීමේ අරමුණ ඇතිව එම ක්‍රීඩාවේ නිරත ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ පුහුණු කටයුතු දිරිගන්වමින් ඔවුන්ගේ දක්ෂතා ඔප්නැංවීම සඳහා ශ්‍රී ලංකා වූෂු සම්මේලනය හා ගිවිසුම්ගතවෙමින් ඔවුන්ට මූල්‍යමය ප්‍රදානයක් ලබාදීම අද (06) දින තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රීඩා සභා ශ්‍රවණාගාරයේ දී සිදුවිය.

මීට සමගාමීව  වූෂු ක්‍රීඩාවේ නිරත  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණු කටයුතු සිදුකිරිම සඳහා නියමිත ස්ථානයක් නොමැතිවීමේ අඩුව පුරවමින් ශ්‍රී ලංකා වූෂු සම්මේලනය වෙත පුහුණු මධ්‍යස්ථානයක් ලබාදීම ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහ ශ්‍රී ලංකා වූෂු සම්මේලනය වෙනුවෙන් එහි සභාපති මානෙල් ධර්මකීර්ති මහතා අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.

මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජාතික ක්‍රීඩා සභාව සහ උසස් දක්ෂතා කමිටුව විසින් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගත හැකි බවට නිර්දේශ කරමින් ප්‍රමුඛත්වය දිය යුතු බවට නිර්දේශ කළ ක්‍රීඩාවන් අතරට මෙම වූෂු ක්‍රීඩාව ද ඇතුළත්ය.

දැනට වූෂු ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කරමින් ඔවුන්ව දිරිගැන්වීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා වූෂු සම්මේලනයට රුපියල් 40,705,000/-ක මුදලක් මෙම ගිවිසුමට සමගාමීව ප්‍රදානය කෙරිණි.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

‘‘ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා ජාතික ක්‍රීඩා සභාව එක්ව ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ ලබාගත හැකි ක්‍රීඩා කිහිපයක් හඳුනාගෙන තිබෙනවා. එහිදී විශේෂයෙන්ම ඔලිම්පික් හා ආසියානු ජයග්‍රහණ ලබාගත හැකි ක්‍රීඩා හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව, වූෂු ක්‍රීඩාව ආසියානු මට්ටමේ හා ලෝක ශූරතා මට්ටමේ ජයග්‍රහණවලට යා හැකි සහ මේ වනවිටත් ඉතාමත් හොද ප්‍රගතියක් ලබා තිබෙන ක්‍රීඩාවක් ලෙස හඳුනාගෙන මීළඟ වසර තුළ අපි ඒ වෙනුවෙන් රු.ලක්ෂ 407ක ආයෝජනයක් සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන් මම ආයෝජනය කියන වචනය පාවිච්චි කළේ ක්‍රීඩාවට ලබාදෙන හැම රුපියලක්ම ආයෝජනයක් වන නිසයි.

ඒ තුළ එක පැත්තකින් ලංකාවට කීර්තියක් ලැබෙනවා. ජාත්‍යන්තර පදක්කම් ලැබෙනවා,  ශ්‍රී ලාංකේය නාමය ලෝකෙට රැගෙන යනවා. අනෙක් පැත්තෙන් මේ රටේ තරුණ පරම්පරාවට විනය ගරුක ජීවිතයක් ගතකරන්නත් ඒ වගේම ක්‍රියාශීලි දිවිපෙවතක් ගතකරන්න පුලුවන් පරිසරයත් මේ තුළ නිර්මාණය වෙනවා.

වූෂු සම්මේලනය වෙනුවෙන් සිදුකරන ආයෝජනයෙන් උපරිම ප්‍රයෝජන ඒ දරුවන්ට ගන්න පුලුවන් වෙයි කියලා මා විස්වාශ කරනවා. ඒ තුළ ඉදිරියේදී අපිට ජාත්‍යන්තර ජයග්‍රහණ ලැබේ යැයි බලාපොරොත්තු වෙනවා.

මේ වනවිට කොවිඩ් 19 වසංගතය නිසා නතර කළ සියලුම ක්‍රීඩාවන්හි පුහුණු කටයුතු ආරම්භ කර තිබෙනවා. කොවිඩ් 19 වසංගතය නිසා හැම ක්‍රීඩාවක්ම අතරමඟ නතර වුණා. අද මේ වන විට පාසල් දරුවන් ඇතුළු ව එන්නත ලබාදීම නිර්දේශ කළ සියලුදෙනාට සාර්ථකව එන්නත්කරණය සිදුකිරීමත්, දැන් තුන්වන එන්නත ලබාදෙන්න කටයුතු කිරීමත් සමඟ ම පාසල් මට්ටමේ හා ග්‍රාම සේවා වසම් මට්ටමේ සිට ක්‍රීඩාව නැවත ආරම්භ කරන්න හැකියාව ලැබෙනවා.

වූෂු, කරාතේ, අංගම්පොර, මල්ලවපොර වැනි සටන් ක්‍රීඩා මීට වඩා ගම් තුළ ප්‍රචලිතවීම අවශ්‍ය යැයි අපි විස්වාශ කරනවා. මෙම ක්‍රීඩා සාමාන්‍ය ලෙස එදිනෙදා දරුවෝ පුහුණුවීම් කරන ක්‍රීඩා බවට පත් කිරීමයි අපේ ඉලක්කය.

එවිට මා කලින් සඳහන් කළ විනය රට තුළ බිහිවෙනවා. ඒ වගේම ක්‍රියාශීලී දරු පිරිසක් රටේ බිහිවෙනවා. හොද හික්මීමකින් කටයුතු කරන්න පුලුවන් පිරිසක් බිහිවෙනවා. ඊළඟ වසර දෙක ඇතුළත සටන් ක්‍රීඩා අපේ රටේ ප්‍රචලිත කරන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා.

කොවිඩ් 19 වසංගතය නිසා පාසල් මට්ටමේ දරුවන්ගේ වයස අවුරුදු 19 න් පහළ තරගාවලි ඔවුන්ට අහිමි වුණා.

ක්‍රීඩා සංගම් හරහා ලබන වසරේ වයස අවුුරුදු 23 න් පහළ තරගාවලියක් පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. සෑම ක්‍රීඩාවකම වයස අවුරුදු 23 න් පහළ කණ්ඩායමක් හඳුන්වාදෙන්න කටයුතු කරනවා. මේ හරහා අවුරුදු දෙක අහිමි වූ ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලැබෙයි තරගවලට ක්‍රීඩා කරන්න.

අපි ඉතාමත් ආකර්ෂණීය ලෙස ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ කළා. ඊයේ දවසේ පැවැත්වුණු තරගය ඔවුන් ඉතාමත් හොදින් ක්‍රීඩා කළා. මේ හරහා අලුත් ක්‍රීඩකයින් බොහෝදෙනෙක්ට අවකාශය ලැබෙනවා. තරුණ ක්‍රීඩකයින් මෙයින් උපරිම ප්‍රයෝජන ගෙන තම දක්ෂතා දක්වන්න කටයුතු කරාවි යැයි මා විස්වාශ කරනවා.

එල්.පී.එල්.පළමු තරගාවලියේ දී නවක ක්‍රීඩකයින්ට ලැබුණු අවකාශය තුළ ඔවුන් ඉතාමත් හොඳ දක්ෂතා දැක්වූවා. එම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් දැන් ජාතික කණ්ඩායම නියෝජනය කරනවා පමණක් නොවේ ලෝක කුසලානයේ ඉතාමත් දක්ෂ ක්‍රීඩයින් බවට පත් වුණ බවත් අපි දුටුවා.

අපේ නවක ක්‍රීඩකයින්ට මෙය ඉතාමත් හොද තෝතැන්නක් බව එයින්ම පැහැදිලි වෙනවා. ක්‍රීඩකයෝ දක්ෂතා අතරට පැමිණේවි’’ යැයි තමන් විස්වාශ කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට ගරු අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් රොනී ඊබ්‍රාහිම් මහතා, උසස් දක්ෂතා කමිටුවේ සාමාජිකයින්, ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ ලේකම් විජිත් එදිරිසිංහ මහතා සහ එම සම්මේලනය නියෝජනය කරමින් වූෂු ක්‍රීඩක ක්‍රීඩිකාවන්, සාමාජිකයින් ඇතුළු තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරි පිරිසක් සහභාගි වූහ.

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය,

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress