බෞද්ධ ජනරජ ප්‍රවාදය – 48 වැනි කොටස- ​‍ශාසනික ඉගැනුම
Posted on December 13th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

ජාතික අභිවෘද්ධිය උදෙසා ඉලක්කගත අධ්‍යාපනයෙහි අත්‍යවශ්‍ය බව මෙයට පෙර ලිපියෙන් අපි විමසා බැලුවෙමු. එනමුදු, එම විමර්ශනයෙන් අවධාරණය කෙරුණේ ජනරජයේ මූලික සමාජ – ආර්ථික කාර්යයන්ගේ අභිවෘද්ධියට අදාළ වන්නා වූ ඉලක්කගත අධ්‍යාපන වැඩපිළිවෙළ ගැන ය. සියලු මට්ටමේ විශේෂඥයන් බිහිකර ගැනීම, පුහුණු ශ්‍රම බලකායක් ඇති කරගැනීම, නවෝත්පාදන දිරිගැන්වීම, යහපත් ආකල්ප වර්ධනය කරවීම, සියලු දෙනා දේශප්‍රේමයෙන් සන්නද්ධ කරවීම යන කරුණු එහි දී අපගේ සාකච්ඡාවට ලක්විය.

එයට අමතරව, මෙම ප්‍රවාදයෙන් අවධාරණය කෙරෙන ජනතාවගේ සාමූහික අයිතිවාසිකම් ප්‍රවර්ධනය වෙනුවෙන් ඉලක්ක කරගත් අධ්‍යාපන වැඩපිළිවෙළක් ද ජනරජය විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය. මෙයින් අවධාරණය කෙරුණු පළමු සාමූහික හිමිකම වනුයේ බුද්ධ ශාසනය යි. බෞද්ධ සම්ප්‍රදාය තුළ ශාසනය” යන යෙදුම භාවිතා කෙරී ඇත්තේ පාලි භාෂාවේ ඇති සාසන” යන වචනයෙන් කියැවෙන අවවාදය”, ඉගැන්වීම”, ධර්මය” යන අර්ථයෙන් පමණක් නොවේ. බුද්ධ  ධර්මය, ඒ ප්‍රමුඛ කොටගත් සංඝයාවහන්සේ, උන්වහන්සේලා  මුල්කොට ගත් සිව්වනක් පිරිස, වෙහෙර විහාර, පිරිවෙන්, සම්ප්‍රදාය, පිළිවෙත්, සිරිත්, උත්සව, කලා ශිල්ප යනාදී වශයෙන් පවත්නා සියල්ලෙහි එකතුව අපි ශාසනය වශයෙන් සළකමු. මෙම සමස්තයෙන් සමන්විත ශාසනය විලක් වශයෙන් සළකන්නේ නම් බුදුදහම යනු එහි පිපුණු නෙළුම වෙයි.

උක්ත කාරණය හොඳින් දන්නා සිංහලයෝ බුද්ධ ශාසනය සුරැකීම තමන්ගේ ජාතික අරමුණ බවට පත් කරගෙන සිටිති. බුද්ධ ශාසනය සුරක‍්‍ෂිත කොට පෝෂණයකිරීම රජයේ වගකීම විය යුත්තේ ය” යනුවෙන් ව්‍යවස්ථාවක් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් වී ඇත්තේ ද මෙම අරමුණ හා බැඳුණු කාර්යයන් සංක්‍ෂිපත් අයුරින් ප්‍රකාශකරමිනි. බුදුදහම පෝෂණයකිරීමට රජයට නො හැකි ය. එ නමුදු, බුදුදහම ප්‍රමුඛ කරගෙන ගොඩ නැගුණු ඉහතින් සඳහන් කළ අනෙකුත් දෑ නගාසිටුවීමට සහ ඒවායේ අභිවෘද්ධිය සැළැසීමට රජයට හැකි ය. ලෝකශාසනයට වැඩ කළ රජවරුන් සහ ශාසනෝපකාරයෙහි යෙදුණු අනෙකුත් පිරිස් ගැන අපගේ වංශ කතාවල සහ අනෙකුත් වාර්තාවල සඳහන් කෙරී ඇත්තේ ද ඒ අර්ථයෙනි.

ඒ රජ මෙ සේ ලෝකශාසනයට මවක සේ ලක්දිව මිථ්‍යාදෘෂ්ටීන් දුරුකොට ශාසනොපකාර කරනුයේ නව අනුවක් පමණ රජමහා විහාර කරවා, එකුන් සියක් මහ පුජා කෙළේ ය.” තව ද තමන් ලෝකශාසන ප්‍රතිෂ්ඨාවෙහි මහත් වු අභිලාෂ ඇත ද, ගිය යොවුන් කාලයෙහි රජය ලත් හෙයින් ද්‍රවිඩ යුද්ධ කොට, ලංකාව තනා, නටබුන් වෙහෙර කරවා ලෝවැඩ කිරීමට කල් මඳ සේ දැන, තමන්ගේ අතිජාත පුත්‍ර වූ පරාක්‍රමබාහු, භුවනෙකබාහු නම් ඈපාවරුන් දෙදෙනාගේ ලක්‍ෂණ බලවා, පරාක්‍රමබාහු නම් මහලු පිත් කුමරහු මතු මුළු ලක්දිව පරසතුරන් මැඩ ලෝකශාසන පිහිටුවා, දඹදිව ද කීර්ති පතුරුව‍ා, …” … ඔවුන් මහා සංඝයාට පාවා දී, මහා සංඝයා හා දළදා – පාත්‍රා ධාතුව හා රාජ්‍යවාසින් ඔවුන්ට පාවා දී, මතු ලෝකශාසන රක්‍ෂාවෙහි අප්‍රමාද වන සේ කියා මෙ සේ ලංකා නමැති කෙත්හි රජ බිජු පිහිටුවා, ලෝකශාසනයට තමන් බලානුරූපයෙන් වැඩ කොට …” යන සටහන් උක්ත කාර්යය තහවුරු කෙරෙන සාක්‍ෂය වේ.

බුද්ධ ශාසනය සුරක‍්‍ෂිත කොට පෝෂණයකිරීම රජයේ වගකීම විය යුත්තේ ය” යනුවෙන් ව්‍යවස්ථාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ පමණින් එයින් අපේක්‍ෂිත කාර්යය ඉටු නොවේ. මෙම කාර්යය අරභයා ද විධිමත් අධ්‍යාපනික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු වේ. අවිවාදයෙන් ම, මෙහි මූලික තැන ලැබිය යුත්තේ ධර්ම – විනය ඉගැන්වීමට ය. අටුවා සහිත ත්‍රිපිටකය විධිමත් අයුරින් ඉගැන්වෙන සහ ආර්ය පර්යේෂණයට අවැසි පුහුණුව ලබාදෙන වැඩපිළිවෙළක් තුළින් එය කළ හැකි ය. මූල ග්‍රන්ථ සේවනය, භාවනාදී අභ්‍යාසයන්ගේ නිරතවීම මේ අරභයා අනිවාර්යය වේ. මෙය කළ හැක්කේ පෙර පැවැති පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය යළි ඇතිකිරීමෙනි.

වෙහෙර විහාර ඉදිකිරීමට අදාළ වාස්තු ශිල්ප පවතියි. ඒ ආශ්‍රිතව නිර්මාණය වුණු කලා ශිල්ප ද වෙයි. මෙම දැනුම විධිමත් අයුරින් අදාළ පාර්ශ්වයන්ට සහ පිරිස් වෙත ලබාදීම කළ යුත්තේ ය. අපට අනන්‍ය වූ එම විෂයයන් පිළිබඳව පුළුල් අධ්‍යයනයක් කර අදාළ පාඨමාලා සැකැසීම, උපදේශන ග්‍රන්ථ පළකිරීම, න්‍යාය සහ භාවිතය අන්තර්ගත පාඨමාලා පැවැත්වීම, එම ශිල්පයන්ගේ පූර්ණත්වයට පත් අය ඇගැයීම සහ අදාළ කාර්යයන්ගේ නිරතවීමේ අවසරය ලබාදෙන සහතික ඒ අයට පිරිනැමීම මේ සඳහා සැකැසුණු අධ්‍යාපන වැඩපිළිවෙළකින් සිදුවිය යුත්තේ ය.

එයට අමතරව අපගේ බෞද්ධ සම්ප්‍රදාය, පිළිවෙත්, සිරිත් සහ උත්සව යනාදිය පිළිබඳ අධ්‍යාපනය ද අදාළ පාර්ශ්වයන් වෙත ලබාදිය යුත්තේ ය. මේ ආශ්‍රිත දැනුම බොහෝ සෙයින් ව්‍යාකූල වී පවතින බැවින් එයට අදාළ සංගායනාවක්” පවත්වා අවශ්‍ය සම්මුති පනවාගැනීම ද වැදගත් වේ. මෙම සියලු කාර්යයන් කළ යුත්තේ ශ්‍රද්ධාව මූලික කරගෙන බව ද මෙහි දී අවධාරණය කළ යුතු වේ.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress