බෞද්ධ ජනරජ ප්‍රවාදය – 49 වැනි කොටස – ‍ජාතියේ බස වැඩීම
Posted on December 20th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සිංහල භාෂාව යනු අවුරුදු දහස් ගණනක් තිස්සේ මෙ රට ජනයා විසින් වර්ධනය කොට පෝෂණය කළ සාමූහික උරුමයකි. එහෙයින් ජනරජයේ අනන්‍යතාව තහවුරු කරනු ලබන ජනතාවගේ සාමූහික අයිතිවාසිකම්” අතරට සිංහල භාෂාව ද අයත්විය යුතුවෙයි. මෙම ප්‍රවාදයෙන් අර්ථදැක්වුණු සාමූහික අයිතිවාසිකම්” යටතේ එම කරුණ දක්වා තිබේ. මෙම සාමූහික හිමිකම ආරක්‍ෂා කොට පෝෂණයකිරීම ජනරජයේ වගකීමක් බව ද එහි දී ප්‍රකාශකෙරිණි.

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කෙරී තිබෙන පාලි භාෂාව හා බැඳුණු ඉතා ළඟ සම්බන්ධයක් සිංහල භාෂාවට වෙයි. එහෙයින් බුදුදහම අර්ථාන්විතව ප්‍රකාශකිරීමේ විශේෂ හැකියාවක් ද සිංහල භාෂාව විසින් අත්පත් කරගෙන තිබේ. සාරත්‍ථප්පකාසිනීයේ (සංයුක්ත නිකාය අට්ඨකථාවේ) එන සුභාසිත සූත්‍ර වර්ණනාවෙන් ද මෙම කරුණු ප්‍රකාශ කෙරෙයි. මග අසළ අස්වනු රකින, සිංහල භාෂාවෙන් ජාති ජරාමරණ සහිත ගීතිකාවක් ගයන සිංහල මෙහෙකාර තැනැත්තියකගේ හඬ අසමින් වැඩම කළ සැටක් පමණ වූ විදර්ශනා වඩන භික්ෂූහු අර්හත්වයට පැමිණි බවක් එහි සඳහන් වෙයි.

ශාසනික උරුමය ජනරජයේ ප්‍රමුඛ ම සාමූහික හිමිකම ලෙසින් සැළකෙන බැවින් එහි චිරස්ථිතිය උදෙසා ද සිංහල භාෂාවේ පැවැත්ම උපකාරී වෙයි. එහෙයින් ඒ අර්ථයෙන් සැළැකුව ද සිංහල භාෂාව පෝෂණය කොට ආරක්‍ෂාකිරීමේ වගකීමක් ජනරජයට වෙයි. රජය ද, විවිධ මට්ටමේ පාලන ආයතන ද, ජනතාව ද මෙම වගකීම ඉටුකිරීමට කැපැවිය යුත්තේ ය.

උක්ත අරමුණ සපුරාලීම වෙනුවෙන් කළ හැකි මූලික ම කාර්යයක් වනුයේ ජනරජය තුළ පරිපූර්ණ භාෂා අධ්‍යයන වැඩපිළිවෙළක් හඳුන්වාදීම ය. දැනට සිංහල භාෂාව පුළුල් වශයෙන් ඉගැන්වෙන්නේ සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් හට පමණකි. එයින් පසු තෝරාගත් අයට පමණක් සිංහල භාෂාව ඉගැන්වෙයි. අනෙකුත් ශිෂ්‍යයන් හට සිංහල භාෂාව ඉගෙනගැනීමේ අවස්ථාවක් නො ලැබෙයි. එහෙයින් වෛද්‍ය, ඉංජිනේරු රැකියා කරන අය පමණක් නොව වෙනත් විෂයයන් උගන්වන පාසල් ගුරුවරු ද සාමාන්‍ය පෙළ මට්ටම දක්වා පමණක් සිංහල භාෂාව ඉගෙනගත්තෝ බවට පත් වී සිටිති.

පාසල් අධ්‍යාපනයෙන් බැහැරව සිංහල භාෂාව ඉගෙනගැනීමේ සහ ඒ සඳහා වන ඇගැයීම් ලබාගැනීමේ අවස්ථා විවරකිරීමෙන් උක්ත ගැටලුව විසඳිය හැකි ය. විවිධ නිපුණතා මට්ටම් ඉලක්ක කරගෙන ජාතික සිංහල භාෂා විභාග පැවැත්වීමෙන් සහ ඒවායින් සමත්වන්නන් හට රජයේ ඇගැයීම් සහතික ලබාදීමෙන් මෙය සිදුකළ හැක්කේ ය. මෙම භාෂා විභාග සඳහා සහභාගීවීමේ වයස් සීමා හෝ අවස්ථා සීමා හෝ නො පැනැවිය යුත්තේ ය. කැමැති කෙනකුට, කැමැති අවස්ථා ගණනක දී අදාළ විභාගවලට පෙනී සිට තම සිංහල භාෂා නිපුණතාව සහතික කරගැනීමට ඒ අනුව හැකිවනු ඇත්තේ ය.

මෙම විභාග පැවැත්වීම සඳහා දැරීමට සිදුවන පිරිවැය සපයාගැනීමේ ක්‍රමයක් ද හඳුන්වාදිය හැක්කේ ය. පළමු වතාවට විභාගයට මුහුණදෙන අපේක්‍ෂකයන් හට එම අවස්ථාව නොමිලේ ලබාදීමෙන් ද එයින් පසු සහභාගී වන අවස්ථා ගණන අනුව ක්‍රමයෙන් වැඩිවන විභාග ගාස්තුවක් අයකිරීමෙන් ද මෙය කළ හැකි ය. ඒ අනුව, ඉතා උනන්දුවෙන් සිංහල භාෂාව ඉගෙනගෙන එක් වතාවකින් හෝ අඩු වාර ගණනකින් හෝ අදාළ නිපුණතා ඇගැයීම් ලබාගැනීමට විභාග අපේක්‍ෂකයෝ පෙළැඹෙනු ඇත්තාහ.

ස්වයං අධ්‍යාපන ක්‍රමවලින් හෝ උපකාර පංතිවලට සහභාගී වීමෙන් හෝ අවශ්‍ය දැනුම සහ හුරුව ලබාගැනීමට සියළු දෙනා පෙළැඹෙනු ඇත. රජය විසින් සහ අනෙකුත් පාලන ආයතන විසින් කළයුත්තේ අදාළ විෂයය නිර්දේශ ප්‍රකාශයට පත්කොට අවශ්‍ය පුස්තකාල, පොත් පත් සහ අනෙකුත් පහසුකම් ප්‍රචලිතකිරීම ය. සිංහල භාෂා ප්‍රවීනතාව වැඩි කරගැනීමට උපකාරීවන අයුරින් අවශ්‍ය අයට පාලි සහ සංස්කෘත භාෂා ඉගෙනගැනීමේ අවස්ථා ද එ ලෙසින් ම (එනම්, විභාග ක්‍රමයකින්) සුලභ කළ හැක්කේ ය.

සිංහල භාෂාව දූෂණයවීම වැළැක්වීමේ වැඩපිළිවෙළක් ද රජය විසින් සහ අනෙකුත් පාලන ආයතන විසින් හඳුන්වාදිය යුතුවෙයි. මාධ්‍ය ආයතනවල කටයුතු සඳහා බඳවාගන්නා ජනමාධ්‍යවේදීන් සහ නිවේදක නිවේදිකාවන් අදාළ සිංහල භාෂා විභාගවලින් සමත් වී නිපුණතා සහතික ලබාගත් අය විය යුතු බව අනිවාර්යය කිරීම මේ සඳහා ප්‍රවේශයක් වනු ඇත්තේ ය. තව ද, භාෂා ප්‍රවීනයන්ගෙන් සමන්විත මණ්ඩල ක්‍රමයක් මාර්ගයෙන් අදාළ පිරිස් ඇගැයීමේ සහ ශ්‍රේණිගතකිරීමේ ක්‍රමයක් ද හඳුන්වාදිය හැකි ය. එකී රැකියාවල නියුතු අයට වැටුප් සහ අනෙකුත් දීමනා ලබාදිය යුත්තේ එම ශ්‍රේණිවලට අනුව ය.

සිංහල භාෂාවෙන් ලියැවෙන පෙළපොත් සහ අනෙකුත් පොත් (පරිවර්තන ද ඇතුළත් වන පරිදි) සුලභකිරීම, පරිගණක සහ ජංගම දුරකථනවල සිංහල භාවිතය පහසුකරවීම, අදාළ විෂයයන් හා බැඳී කටයුතු කරන සහ භාෂාවේ ප්‍රවීනත්වය ඇති විශේෂඥයන්ගේ මූලිකත්වයෙන් පාරිභාෂික වචන හඳුන්වා දී ප්‍රචලිතකිරීම, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල කටයුතු සඳහා සිංහල භාෂාව යොදාගැනීම වැනි කාර්යයන් විශාල ප්‍රමාණයක් ද මේ සම්බන්ධයෙන් සිදුකළ යුත්තේ ය.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress