බෞද්ධ ජනරජ ප්‍රවාදය – 50 වැනි කොටස – ‍ස්ව-ඥානයට මුල් තැනක්
Posted on December 27th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

මෙම ප්‍රවාදයෙන් යෝජනා කෙරෙනුයේ ස්ව-ශක්තිය මත ගොඩනැගෙන සහ ඒ අනුව ශක්තිමත් වන රාජ්‍යයකට අදාළ පාලන ක්‍රමයකි. තම ශක්තිය පිළිබඳ අවබෝධයක් සහ ඇගැයීමක් නොමැතිව බෞද්ධයන්ට අත්පත් කරගත හැකි විමුක්තියක් නැත. තමන්ට ඇත්තේ තමන්ගේ ම පිහිට බැව් බෞද්ධයෝ හොඳින් ම දනිති. දුකින් මිදීමේ පළමු පියවරවනුයේ මෙම අවබෝධය සහ ඒ අනුව ලබාගන්නා ඥානයයි. ලෞකික කරුණු අරභයා ද මෙම කාරණය අදාල කරගත හැකි ය.

මිනිසුන් හට තමන්ගේ ලෞකික අවශ්‍යතා සපුරාගත හැක්කේ සහ ඇතිවන ගැටලු විසඳාගත හැක්කේ තමන් සතු භෞතික සහ සංස්කෘතික සම්පත් පිළිබඳව ඇති අවබෝධය තුළින් ගොඩනගා ගනු ලබන දැනුම ඇසුරිනි. ඇතැම් කාර්යයන්ට අදාළ දැනුම බාහිර පාර්ශ්වයන්ගෙන් ලබාගත්ත ද ජාතියකට එය ප්‍රමාණවත් නොවේ. තව ද, නිසි අවබෝධයකින් සහ ගැලැපීමකින් තොරව එවැනි බාහිර දැනුම භාවිතය නිසා තවත් ගැටලු උද්ගත විය හැකි ය.

තමන් සතු භෞතික සම්පත් සහ සංස්කෘතික පරිසරයට ගැලැපෙන දැනුම තමන් විසින් ම ගොඩනගා ගැනීම ඉතා වැදගත් කාර්යයක් වනුයේ එබැවිනි. ආගන්තුක, නොගැලපෙන දැනුමෙන් පමණක් තම පැවැත්ම තහවුරු කරගත් ජාතීහු නොමැත. අදාළ මූලික අවබෝධය සහ භාවිතය තුළින් වර්ධනය කරගත් ස්වකීය දැනුමක් සෑම ජාතියක් සතුව ම පවතියි. දේශීය දැනුම” ලෙසින් වර්තමානයේ හැඳින්වනුයේ එකී ඥාන සම්භාරයයි.

මෙම දේශීය දැනුම” එක් අතකින් ජාතියක් සතු උරුමයක් වෙයි. ඒ හේතුවෙන් ම, එය ජාතියේ අනන්‍යතාව තහවුරු කරන සාමූහික හිමිකමක් ද වෙයි. ජාතියක් වශයෙන් අප විසින් වර්ධනය කරගත් මෙවන් දැනුම ආරක්‍ෂා කොට, පෝෂණය කළ යුතු බැව් මෙම ප්‍රවාදයෙන් අවධාරණය කළේ ද එබැවිනි.

ඕනෑ ම ජාතියකට තමන් සතු ස්වකීය ඥානය ආරක්‍ෂා කරගත හැක්කේ සහ එය තවදුරටත් පෝෂණය කළ හැක්කේ එයින් වැඩගන්නේ නම් පමණකි. හුදෙක් කෞතුක වටිනාකමක් ඇති දෙයක් බවට පත්කිරීමෙන් හෝ ඒ පිළිබඳ නිතර වර්ණනාකිරීමෙන් හෝ කිසිදු දැනුමක් ආරක්‍ෂාවෙන්නේ හෝ පෝෂණයවෙන්නේ හෝ නැත. මෙය කළ හැක්කේ අදාළ දැනුම නිරන්තර භාවිතයට එක් කරගැනීමෙන් පමණකි. ඒ වෙනුවෙන් කළ යුතු මූලික ම දේ වනුයේ එකී දැනුමට ප්‍රමුඛතාවක් ලබාදීම ය.

වාරිමාර්ග තාක්‍ෂණය, වෙදකම, ගොවිතැන් ක්‍රම, ඉදිකිරීම් තාක්‍ෂණය, ආහාර සැකැසීමේ හා කල් තබාගැනීමේ ක්‍රම, සංගීතය – චිත්‍ර – නැටුම්, සාහිත්‍යය වැනි ශිල්ප ශාස්ත්‍ර පමණක් නොව ඒවා බිහිකරගැනීමට සහ වර්ධනය කරගැනීමට අදාළ ලෝක දැක්ම සහ දැනුම ලබාගැනීමේ ක්‍රම ද දේශීය ඥානය තුළට අයත්වෙයි. මෙකී සෑම දැනුමකට ම අදාළ ප්‍රමුඛතාව ලබාදිය යුත්තේ ය.

දේශීය ඥානයට ප්‍රමුඛතාවක් ලබාදිය හැක්කේ එම දැනුම භාවිතයට ඇති ඉඩකඩ පුළුල්කිරීම, අදාළ දැනමුත්තන්ට සහ ශිල්පීන්ට විශේෂ පිළිගැනීමක් ලබාදීම, එම දැනුම ආරක්‍ෂා කොට පෝෂණයකිරීමේ වගකීම් පැවැරුණු විශේෂිත පාලන මණ්ඩල ස්ථාපනයකිරීම, ඒවාට අදාළ නීති පැනැවීම සහ එම නීති ඇසුරින් අදාළ පුද්ගලයන් හා ආයතන බලවත්කිරීම යන ක්‍රියාමාර්ග අනුගමනයකිරීමෙනි. එ ලෙසින් ම, අදාළ පුද්ගලයන්ගේ සහ ආයතනවල ස්වාධීනත්වයට බලපෑමක් සිදුනොවන ආකාරයෙන් අනෙකුත් ආයතන පවත්වාගෙන යෑම ද මේ අරභයා කළ යුත්තේ ය.

දේශීය ශාස්ත්‍රඥයන්, ශිල්පීන් සහ අදාළ ආයතන කිසිවක් මොන ම අයුරකින් හෝ බාහිර දැනුම අනුව මෙහෙයවන ආයතනවල සහ පුද්ගලයන්ගේ ආධිපත්‍යය යටතට පත්කිරීම සිදු නොකළ යුත්තේ ය. අදාළ සෑම තැනක දී ම, දේශීය දැනුම භාවිතයට අවසරයක් සහ බලයක් නීතියෙන් ම තහවුරු කළ යුත්තේ ය. එම භාවිතය තනිව සිදුකරන්නක් වනවාට අමතරව වෙනත් දැනුමක් සමඟ හවුලේ සිදුකරන්නක් ද විය හැක්කේ ය. බටහිර වෛද්‍ය ප්‍රතිකාර කෙරෙන රෝහලක රෝගීන්ට අවශ්‍යතාව පරිදි දේශීය වෙදකම් ලබාදීමේ ඉඩකඩ තහවුරුකිරීම මේ සඳහා නිදසුනක් වශයෙන් දැක්විය හැකි ය.

කුඩා කාලයේ සිට වෙනත් දැනුමකට අදාළ පුහුණුවක් ලැබූ අයට දේශීය දැනුමෙහි මූලධර්ම හඳුනාගත නොහැකි වනු ඇත්තේ ය. එහෙයින්, ස්වකීය ඥානයට අදාළ දැනුම කුඩා කල සිට ම ලබාදීමේ පාසල් සහ පුහුණු මධ්‍යස්ථාන ආරම්භකිරීම ද ජනරජයේ සෑම මට්ටමක ම වගකීමකි. ඕනෑ ම දැනුමකට අදාළ විශේෂඥයන් බිහිවිය යුත්තේ එයට අදාළ ක්‍රම තුළින් විනා බාහිර, ආගන්තුක ක්‍රම තුළින් නොවේ. අත්දැකීමෙන් සහ ප්‍රත්‍යක්‍ෂයෙන් ලබාගත හැකි දැනුමක් න්‍යායික ආකාරවලින් ලබාගත නොහැකි බව මෙම ප්‍රවාදයෙන් අවධාරණය කෙරිණි.

ආහාර, සෞඛ්‍යය, රෙදිපිළි, නිවාස වැනි ප්‍රමුඛ අවශ්‍යතා මූලික මට්ටමින් හෝ සපුරාගැනීමේ හැකියාව රාජ්‍යය තුළ තහවුරුකිරීම ජනරජයේ සියලු මට්ටම්වල වගකීමක් වෙයි. ඒ අරභයා දේශීය ඥානයෙන් ලැබෙන පිටුවහලෙහි වැදගත්කම අවබෝධ කරගැනීම ඉතාමත් පහසු කාර්යයකි. එහෙයින් උක්ත වැඩපිළිවෙළ ක්‍රියාත්මකකිරීම උදෙසා අවැසි නෛතික විධිවිධාන ද ඒ අනුව සැකැසුණු විධිමත් යාන්ත්‍රණයක් ද ඇති කළ යුත්තේ ය.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress