බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහයට අග්‍රාමාත්‍යතුමා අවසන් ගෞරව දක්වයි
Posted on December 30th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අපවත් වී වදාළ පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30) පෙරවරුවේ අවසන් ගෞරවය දැක්විය.

කොළඹ 07, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ තැන්පත්කර තිබුණු  ආනන්ද හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමා උන්වහන්සේගේ සහෝදරයෙකුවන අමාත්‍ය සරත් වීරසේකර මහතා ඇතුළු පවුලේ ඥාතීන්ට සිය සාතීශය සංවේගය පළ කළේය.

අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ වැඩසිටි ආනන්ද හිමියෝ අපවත්වන විට 78 වන වියේ පසුවූහ.

ප්‍රසිද්ධ ධර්ම දේශකයෙකු වූ ආනන්ද හිමියෝ පැවිදි දිවියට එළඹීමට පෙර කීර්තිමත් යුද සෙන්පතියෙකි. ආනන්ද වීරසේකර නම් වූ හෙතෙම විශ්‍රාමලත් මේජර් ජෙනරාල්වරයෙකි.

වසර 34 ක හමුදා සේවයට 1998 වසරේ සමුදීමෙන් අනතුරුව  ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ  උප සභාපතිවරයෙක් ලෙසද කටයුතු  කළ හෙතම පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා ලෙස නොමග ගිය තරුණයන් යහමගට ගැනීම සඳහා අනගිභවනීය සේවයක් ඉටු කළේය. 

බුද්ධංගල අරණ්‍ය සේනාසනයේදී බුද්ධංගල ආනන්ද නමින් 2007 මැයි 01 වන දා පැවිදි දිවියට ඇතුළත්ව 2008 වසරේදී උපසම්පදා ලබා ගත් බුද්ධංගල ආනන්ද හිමියෝ  තමන්වහන්සේගේ  පැවිදි දිවිය අර්ථවත් කරමින්  බණ, භාවනා, ධර්ම සාකච්ඡාවල නියැලෙමින් මහත් වූ ශාසනික සේවාවක් ඉටු කළ ධර්මධර විනයධර හිමි නමකි.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ද බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වූවාය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress