බෞද්ධ ජනරජ ප්‍රවාදය – 57 වැනි කොටස-‍බෞද්ධ විනිශ්චය
Posted on February 12th, 2022

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

යම් ආරවුලක්, ව්‍යාකූල තත්ත්වයක්, වරදක් සම්බන්ධයෙන් විනිශ්චය ලබාදීමට අධිකරණවල පිහිට පැතීම අතීතයේ සිට ම සිදුවිය. ත්‍රිපිටකය තුළින් ද අධිකරණ ක්‍රම පිළිබඳ කරුණු දැනගත හැකි ය. විනය පිටකයේ චුල්ලවග්ග පාළියෙන් අධිකරණ වර්ග සතරක් පිළිබඳව විස්තර දක්වා තිබේ. විවාදාධිකරණය, අනුවාදාධිකරණය, ආපත්‍යධිකරණය, කාත්‍යාධිකරණ යනු එම අධිකරණ වර්ග සතරයි. එම අධිකරණ මූලික වශයෙන් අදාළවන්නේ භික්‍ෂූන්වහන්සේලාගේ විනයට ය. කෙසේ වුව ද, එම ක්‍රම තුළින් ඉගෙනගත හැකි දෑ ද බොහෝ වෙති.

ඛුද්දක නිකායේ මහානිද්දේසපාළිය තුළ මොසවජ්ජ” (මුසාවාදය) යන වචනය විග්‍රහ කරනු ලැබ ඇත්තේ අධිකරණයක සාක්‍ෂි විමැසීමේ අවස්ථාවක් නිදර්ශන වශයෙන් දක්වමිනි. මෙලොවැ කිසිවෙක් සභායෙහි සිටියේ හෝ ගම් සභායෙහි සිටියේ හෝ නෑයන් මැද සිටියේ හෝ සේනා මැද සිටියේ හෝ රදොල් මැද සිටියේ හෝ ශාක්‍ෂියට කැඳවනු ලදුයේ ‘එව එම්බා පුරුෂය, දන්නා දැය කිය’යි ශාක්‍ෂි අසන ලදුයේ හෙතෙම නො දනිමින් හෝ ‘දනිමී’ කියයි, දනිමින් හෝ ‘නො දනිමී’ කියයි, නො දක්මින් හෝ ‘දක්මී’ කියයි, දක්මින් හෝ ‘නො දක්මී’ කියයි; මෙසේ තමා නිසා හෝ මෙරමා නිසා හෝ ධනය නිසා හෝ මඳ වූ අල්ලසක් නිසා හෝ දැනැ දැනැ බොරු කියයි. මේ ‘මොසවජ්ජ’ යී කියනු ලැබෙයි” කියා එහි දැක්වෙයි.

ආරවුලක්, ව්‍යාකූල තත්ත්වයක්, වරදක් පිළිබඳව විනිශ්චයක් ලබාදීමේ දී මැනැවින් කරුණු විමැසිය යුතු බැව් ත්‍රිපිටකයෙහි අන්තර්ගත මෙවැනි කරුණු තුළින් පැහැදිළි වෙයි. එහෙයින්, ත්‍රිපිටකය සහ අටුවා ග්‍රන්ථ හොඳින් විමර්ශනය කර ජනරජයේ අධිකරණ ක්‍රමය ස්ථාපනයකිරීම අපහසු කාර්යයක් නොවේ.

සුළු ප්‍රමාණයේ ආරවුල් ගම් සභා මට්ටමේ දී ම විසඳාගත හැකි ය. එවැනි කාර්යයක් සඳහා අවශ්‍ය විනිශ්චය සභා මෙම ප්‍රවාදයෙන් යෝජිත ගම් සභා සහ නාගරික සභා ආශ්‍රිතව පිහිටුවිය හැක්කේ ය. ආරවුල් සහ වැරැදි වර්ධනයවීමට ඉඩ නො දී මුල් අවස්ථාවේ ම ඒවා විසැඳීම එම ආයතන විසින් කළ යුතු වෙයි. ඒ සඳහා වන වගකීම් ගම් සභා සහ නාගරික සභා වෙතට ම පැවැරිය හැක්කේ ය.

ජාතික මට්ටම දක්වා වර්ධනය නොවුණු සෑම වියවුලක් ම කෝරළ මට්ටමේ දී විසඳා අවසන්කිරීමේ හැකියාව ජනරජයේ අධිකරණ පද්ධතිය විසින් වර්ධනය කරගත යුත්තේ ය. මෙම ප්‍රවාදයෙන් යෝජිත කෝරළ බුද්ධි මණ්ඩලය” සහ එයට අනුබද්ධ නීති අංශය වෙත ඒ පිළිබඳ වගකීම් පැවැරෙයි.

ආරවුල්, ව්‍යාකූල තත්ත්වයන් සහ වැරැදි පිටුදැකිය හැක්කේ ඒ ඒ කාරණය තනි තනිව විමර්ශනයට ලක්කිරීමෙන් පමණක් නොවේ. දැනට පවතින අධිකරණ ක්‍රමය තුළ කෙරෙනුයේ විනිශ්චයට භාජනය වන කාරණය සමඟ සෘජුව බැඳුණු මතුපිට සාධක පමණක් විමසීම ය. යම් විත්තිකරුවකු විසින් වරද කර තිබේ ද, ඔහුගේ හෝ ඇයගේ මානසික තත්ත්වය කෙබඳු ද වැනි කරුණු වරදක් පිළිබඳ විනිශ්චයක දී සළකා බැලෙයි. එයින් ඔබ්බට ගොස් අදාළ වරදට පසුබිම් විය හැකි සමාජ – ආර්ථික කරුණු විමසීමක් වර්තමාන අධිකරණ ක්‍රියාදාමය තුළ සිදු නොවෙයි.

විනිශ්චයට අදාළ කාරණයට පසුබිම් වූ හේතු” විමර්ශනය සඳහා ප්‍රමුඛත්වයක් බෞද්ධ විනිශ්චය තුළින් ලබාදිය යුතු ය. මෙම කාර්යය නො කර එක ම වරද නැවත නැවතත් සිදුකිරීම වැළැක්විය නො හැකි ය. බටහිර ඕස්ට්‍රේලියානු ජනපදයේ සිදුවන මනුෂ්‍ය ඝාතන අතරින් සියයට 48 ක් ගෘහස්ථ ආරවුල් මුල් කරගෙන ඇතිවන බවක් පසුගිය දා වාර්තාවිය. මෙවැනි කරුණු හඳුනාගත හැක්කේ ඒ පිළිබඳ නිශ්චිත විමර්ශනයක් සිදුකෙරෙන්නේ නම් පමණකි. අදාළ විමර්ශන සහ ඒ අනුව කරනු ලබන නිරීක්‍ෂණ නොමැතිව විනිශ්චයට ලක් කරනු ලබන කාරණයට පසුබිම් වූ හේතු හඳුනාගත නො හැකි ය. හේතු හඳුනා නොගෙන අදාළ වැරැදි නැවත නැවත සිදුකිරීම නො වැළැක්විය හැක්කේ ය.

බෞද්ධ විනිශ්චයේ අරමුණ වනුයේ සමාජය සුවපත්කිරීම ය. මේ සඳහා වන විසඳුම් නිර්මාණය කරගැනීමට නම් සෑම ආරවුලකට, ව්‍යාකූල තත්ත්වයකට, වරදකට අදාළ පසුබිම් හේතු සෙවීම සිදුකළ යුත්තේ ය. මෙම කාර්යයේ වගකීම ගම් සභා සහ නාගරික සභාවලට ද, කෝරළ බුද්ධි මණ්ඩලයේ නීති අංශයට ද පැවැරෙයි. එම නිරීක්‍ෂණ ද සැළැකිල්ලට ගෙන විනිශ්චය ලබාදීම අධිකරණවල වගකීම වන අතර, මෙවැනි ආරවුල්, ව්‍යාකූල තත්ත්වයන් සහ වැරැදි නැවත නැවතත් ඇතිවීම වැළැක්වීම සඳහා විසඳුම් යෝජනාකිරීම කෝරළ බුද්ධි මණ්ඩලයේ සහ අදාළ අනෙකුත් ආයතනවල වගකීම වෙයි.

මේ ආකාරයෙන් හඳුනාගන්නා විසඳුම් ක්‍රියාවට නැංවීම ජනරජයේ සෑම මට්ටමක ම පවත්නා ආයතනවල වගතීම වන අතර එයට අදාළ දැනුම විධිමත් සහ අවිධිමත් ආකාරවලින් සමාජගතකිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කළ යුත්තේ ය. මෙම කටයුතුවල සාර්ථකත්වය මැන බැලිය යුත්තේ ආරවුල්, ව්‍යාකූල තත්ත්වයන් සහ වැරැදි නැවත නැවතත් සිදු නොවන බව තහවුරුකිරීමෙන් පමණකි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress