ශෝක පණිවුඩය
Posted on February 14th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් දයා අල්විස් මහතා  අභාවප්‍රාප්ත වූ පුවත ඇසීමෙන් මම බලවත් සංවේගයට පත්වීමි.

පැරණි ලංකාදීප පුවත්පතෙන් 70 දශකයේ දී  මාධ්‍ය වෘත්තියට පිවිසි  සුනිල් දයා අල්විස් මහතා පුවත්පත් කලාව වෙනුවෙන් දශක පහකට අධික කාලයක් කැපී පෙනෙන මෙහෙවරක නිරත වූවෙකි.

1994 වර්ෂයේ දී ලේක් හවුස් ආයතනයට විශේෂාංග ලේඛකයෙකු ලෙස එක්වන සුනිල් දයා අල්විස් මහතා කලක් සිළුමිණ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙසත් සම කර්තෘවරයෙකු ලෙසත් ගුණාත්මක මාධ්‍ය කලාවක් වෙනුවෙන් සිය පන්හිඳ මෙහෙයවීය.

ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන සුනිල් දයා අල්විස් මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුවත් වාර්තාකරණයට දැක්වූයේ විශේෂ දක්ෂතාවයකි.  මාධ්‍ය වෘත්තිකයන් අතර නොමද ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ සුනිල් දයා අල්විස් මහතා නවක මාධ්‍යවේදීන් රැසකගේ ගුරුවරයෙකි.

දිවයින ආරම්භක සාමාජිකයකු ලෙසත් අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරයකු ලෙසත් සිය වෘත්තිය අත්දැකීම් සපුරා ගත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් දයා අල්විස් මහතා සිය වෘත්තිය අත්දැකීම් තුළින් මෙරට ජන සමාජය වෙනුවෙන් ඉටු කළ පුවත්පත් කලා මෙහෙවර සදා මතකයේ රැඳෙනු ඇත.

අවුරුදු 75 ක් ආයුවළඳා හදිසියේ අප අතරින් වෙන්ව ගිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී   සුනිල් දයා අල්විස්  මහතාට නිවන් සුව ලැබේවා! යැයි  ප්‍රාර්ථනා කරන අතර, එතුමාගේ අභාවයෙන් ශෝකයට පත් ගීතක රවිඳු අල්විස් පුතු , සුචිනි අල්විස් දියණිය ඇතුළු එම පවුලේ සියලු දෙනාටත්, ඥාති හිතමිත්‍රාදීන්ටත් මාගේ බලවත් සංවේගය මෙයින් ප්‍රකාශ කරමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress