වැලිගම දෙනිපිටිය ශ්‍රී ගංගාතිලක මහා විහාරාධිපති ගරු මැද්දවත්තේ සෝරත මහාස්ථිවිරපාදයන් වහන්සේට දකුණු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදිවිය පිරිනැමීම
Posted on February 19th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාව මඟින් වැලිගම දෙනිපිටිය ශ්‍රී ගංගාතිලක මහා විහාරාධිපති ගරු මැද්දවත්තේ සෝරත මහාස්ථිවිරපාදයන් වහන්සේ වෙත විමලකීර්ති ශ්‍රී විජිත” ගෞරව නාමය සහිතව දකුණු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදිවිය පිරිනැමීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) පස්වරුවේ සහභාගී විය.

කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ පිහිටි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභා උපෝසථාගාරයේ දී මෙම සන්නස් පත්‍ර ප්‍රදානය පැවැත්විණි.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක ස්වාමීන් වහන්සේ විසින් දකුණු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමට අදාළ සන්නස් පත්‍රය වැලිගම දෙනිපිටිය ශ්‍රී ගංගාතිලක මහා විහාරාධිපති ගරු මැද්දවත්තේ සෝරත මහාස්ථිවිරපාදයන් වහන්සේ වෙත මෙහිදී පිළිගන්වනු ලැබූහ.

අනතුරුව ඊට අදාළ විජිනිපත කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පිළිගන්වන ලදි.

දකුණු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදිවියෙන් පිදුම් ලැබූ වැලිගම දෙනිපිටිය ශ්‍රී ගංගාතිලක මහා විහාරාධිපති මැද්දවත්තේ සෝරත මහාස්ථිවිරපාදයන් වහන්සේ වෙත අෂ්ට පරිෂ්කාර පූජා කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, නායක ස්වාමීන් වහන්සේට විශේෂ තිලිණයක් ද ප්‍රදානය කළේය.

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද මැද්දවත්තේ සෝරත මහාස්ථිවිරපාදයන් වහන්සේට අෂ්ට පරිෂ්කාර පූජා කළේය.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක ස්වාමීන් වහන්සේ,කෝට්ටේ රාජමහා විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උප නාම ලේඛකාධිකාරී ගරු අළුත්නුවර අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ,නියෝජ්‍ය ලේඛකාධිකාරී මහාචාර්ය නෙලුවේ සුමනවංශ නායක ස්වාමීන් වහන්සේ, වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරාධිපති, මහාචාර්ය මිදිගම සෝරත නායක ස්වාමීන් වහන්සේ, සහකාර ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත තන්තිරිමුල්ලේ සරණ ස්ථිවිරයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්න මෙහි වැඩම කර සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress