බෞද්ධ ජනරජ ප්‍රවාදය – 59 වැනි කොටස-‍දමනයේ මාවත
Posted on February 21st, 2022

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සියලු ආකාරයේ අපරාධකරුවන් මෛත්‍රියෙන් සහ කරුණාවෙන් දමනය කර යහපත් මිනිසුන් ලෙසින් සමාජගතකරවීම බෞද්ධ නීතියේ පරමාර්ථය බැව් අපි දනිමු. මෙය කළ හැක්කේ කෙ ලෙසින් ද? වැරැද්දට යොමුවීම සඳහා හේතු වූ කරුණු විමසා ඒ අනුව හඳුන්වාදෙනු ලබන විසඳුම් මාර්ගයෙන් මෙය කළ හැක්කේ ය. වරද විනිශ්චයේ දී අදාළ හේතු විමසිය යුතු බව මෙම ප්‍රවාදයෙන් අවධාරණය කළේ ද එබැවිනි.

මිනිසුන් වරදට යොමුවන හේතු ගණනාවත් ත්‍රිපිටකය තුළ දක්වා තිබේ. අංගුත්තර නිකායේ එන ඉට්ඨධම්ම සූත්‍රය තුළින් ද එවැනි කරුණු දැකගත හැකි ය. අලස බව, උත්සාහයෙන් නැගී නො සිටීම, සෞඛ්‍යයට හිතකර ක්‍රියාවලින් බැහැරවීම, පාපමිත්‍ර සේවනය, ඉන්ද්‍රීය අසංවරය, නිතර වාද විවාදයෙහි නියැළීම, බහුශ්‍රැත නොවීම, මැනැවින් සවන් නො දීම, අසන දකින දේ නො විමසීම, නුවණ මෙනෙහි නො කිරීම, මිථ්‍යා ප්‍රතිපදාව යන කරුණු ඒ තුළ වෙයි. එහෙයින් වරදට පෙළැඹුණු අය නැවත හරිමගට ගත හැක්කේ උක්ත දුර්වලකම් හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමෙනි. එහෙයින් අදාළ හේතු සාධක වෙන වෙනම හඳුනාගෙන නිශ්චිත දඬුවම් නියමකිරීම විනිසුරන්ගේ වගකීම වෙයි.

පාපමිත්‍ර සේවනය නිසා වරදට පෙළැඹුණු කෙනකු ඔහුටත් වඩා වැරැදි කළ අපරාධකරුවන්ගෙන් පිරුණු බන්ධනාගාරයක සිරකිරීමෙන් යහමගට යොමුකළ නො හැකි ය. සුළු වැරැදි කළවුන් සහ දරුණු අපරාධකරුවන් සියලු දෙනා එකට බන්ධනාගාර ගතකිරීම කිසි ලෙසකින්වත් සිදු නො කළ යුත්තකි. සැබැවින්ම, සුළු වැරැදි කළ අයවළුන් බන්ධනාගාරගත කළයුත්තේ ද නොවේ. වරදකරුවන් දමනය සඳහා ජනරජය විසින් වැය කළයුත්තේ වරද නිසා සිදු වූ අලාභයට වඩා අඩු මුදලකි.

මෙම අවශ්‍යතාව තහවුරු කළ හැක්කේ ආර්ථික වශයෙන් ප්‍රතිලාභ ලබාගත හැකි කටයුතු සඳහා වැරැදිකරුවන් යොමු කරවීමෙනි. සුළු වැරැදි කළවුන් ග්‍රාමීය සහ කෝරළ මට්ටමේ ප්‍රජා සේවයට, වැඩ බිම්වලට යොමු කළ හැකි ය. ප්‍රවේශපත්‍රයක් නොගෙන බසයක හෝ දුම්රියක හෝ ගමන්ගත් කෙනෙකු වරද පිළිගන්නේ නම් ඒ වෙනුවෙන් වෙනත් විනිශ්චයක් අවශ්‍ය නොවේ. වරදේ තරම අනුව නියම කෙරුණු වරුවක හෝ දවසක හෝ කාලයක් තුළ යම් නිශ්චිත කටයුත්තක නිරතවීමට එවැන්නකු යොමු කරවීම ප්‍රමාණවත් ය.

දඬුවම් ලබා දී වැඩට යොමු කරවන්නන්ගේ කාර්යසාධනය එම කටයුතුවල ආර්ථික සහ සමාජ ප්‍රතිලාභ අනුව ඇගැයිය යුත්තේ ය. විධිමත් අයුරින් සංවිධානගත කෙරුණු කර්මාන්තශාලාවල හෝ වැඩ බිම්වල හෝ වැඩට යොමු කරවීමෙන් මෙය පහසුවෙන් කළ හැකි ය. අලස බව නිසා හෝ උත්සාහයෙන් නැගී නො සිටීම නිසා හෝ වරදට පෙළැඹුණු අය පුනරුත්ථාපනයට මෙම ක්‍රමවේදය ඉතා ප්‍රයෝජනවත් ය.

ඉන්ද්‍රීය අසංවරය නිසා හෝ නිතර වාද විවාදයෙහි නියැළීම නිසා හෝ වරදට පෙළැඹුණු අය තුළ කායික – මානසික සංවරයක් ඇති කරවීම සඳහා සැකැසුණු නිශ්චිත වැඩපිළිවෙළ තිබිය යුතු ය. විධිමත් ලෙසින් සංවිධානය කෙරුණු දෛනික කාලසටහනක් අනුව ක්‍රියාකිරීමට හුරුකරවීම, නිශ්චිත ආර්ථික කාර්යයන්ට යොමුකර එම කටයුතුවල ඵලදායිතාව නිරීක්‍ෂණය කිරීම, බෞද්ධ ශීල සමාදාන සහ භාවනා වැඩසටහන්වලට යොමුකරවීම වැනි ක්‍රම මේ සඳහා යොදාගත හැකි ය.

බහුශ්‍රැත නොවීම නිසා හෝ මැනැවින් සවන් නො දීම නිසා හෝ අසන දකින දේ නො විමසීම නිසා හෝ නුවණ මෙනෙහි නො කිරීම නිසා හෝ මිථ්‍යා ප්‍රතිපදාව නිසා හෝ වරදට පෙළැඹෙන අය පුනරුත්ථාපනය කළ හැක්කේ ඔවුනගේ එම ඌනතා නැතිකිරීමේ වැඩපිළිවෙළ තුළිනි. ඒ වෙනුවෙන් සැකැසුණු විධිමත් සහ අවිධිමත් අධ්‍යාපනික වැඩසටහන් ඔස්සේ මෙම ගැටලුවලට පිළියම් යෙදිය හැකි ය.

ඒ ඒ පුද්ගලයින් වරදට යොමුවුණු හේතු වෙන වෙන ම නො විමසා, අදාළ සමාජ සහ ආර්ථික පසුබිම් හඳුනා නො ගෙන නියම කරනු ලබන දඬුව්මවලින් ඔවුන්ව යහමගට ගත නො හැකි ය. එ මෙන් ම, වරදකරුවන් වැඩිකරන සහ සුළු වැරැදි කළ අය දරුණු අපරාධකරුවන් බවට පත්කරන දඬුවම් ක්‍රම මුළුමනින්ම පිටුදැකීමට ජනරජය ක්‍රියා කළ යුත්තේ ය. තව ද මෙම දණ්ඩන කටයුතු වෙනුවෙන් කරනු ලබන වියදම ජනතාවට ආර්ථික බරක් නොවන බවට ද ජනරජය වග බලාගත යුත්තේ ය. සැබැවින් ම, වරදකරුවන් පුනරුත්ථාපනය වෙනුවෙන් අනුගමනය කරනු ලබන ක්‍රමවල ඵලදායි බව ඇගැයිය යුත්තේ ඒවායින් ලැබෙන සමාජ – ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව විමසා බැලීමෙනි.

ද්විතීයික මට්ටමේ අනෙකුත් ආයතන මෙන් ම පොලිස් බල ප්‍රදේශ ද කෝරළ භූමියට සමපාත විය යුතු බව මෙම ප්‍රවාදයෙන් යෝජනා කෙරිණි. අපරාධ පිළිබඳ ගම් සහ කෝරළ මට්ටමේ දත්ත ලබාගැනීමට ද ඒ අනුව අදාළ පිළියම් සැලසුම් කිරීමට ද, එම කටයුතුවල ඵලදායිතාව ඇගැයීමට ද මෙය අවශ්‍ය වෙයි. තව ද, පුනරුත්ථාපන වගකීම් පැවැරුණු අයගේ කාර්යයසාධනය ද ප්‍රතිඵල අනුව තීරණය කළ යුත්තේ ය.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress