2022 නව ඡන්දදායකයින්ගේ ඡන්ද අයිතිය අහිමිවීම වලක්වා ගැනීම සම්බන්ධයෙනි.
Posted on February 21st, 2022

රජිත් කීර්ති තෙන්නකෝන්

නිමල් පුංචිහේවා මහතා,

සභාපති, මැතිවරණ කොමිෂන් සභාව

සරණ පාර, රාජගිරිය.

ප්‍රිය සභාපතිතුමනි,

2022 නව ඡන්දදායකයින්ගේ ඡන්ද අයිතිය අහිමිවීම වලක්වා ගැනීම සම්බන්ධයෙනි.

2021 ඡන්දහිමි නාම ලේඛනයට අනුව අලුතෙන් ලියාපදිංචි වූ ඡන්ද සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවී ඇත.  දිස්ත්‍රික්ක මට්ටමින් ශුද්ධ ඡන්ද සංඛ්‍යාවේ වැඩිවීම පැහැදිලි අපගමනයක් පෙන්වයි. 

‘ඔන්ලයින් ක්‍රමයට ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිසංශෝධනය කිරීම‘ කාබනික වගාව, ඔන්ලයින් අධ්‍යාපනය ලෙසම අසාර්ථක ය.     

1960 දශකයේ සිට වාර්ෂිකව ග්‍රාම නිලධාරීවරුන් මගින් ‘ඡන්ද කොළ පුරවා‘ නාම ලේඛන ප්‍රතිශෝධනය සිදු කිරීම තුලින් මැතිවරණ ලෝකයේ ඉහළම නිරවද්‍යතාව සහිත ඡන්ද හිමි නාමලේඛනයක් සකස් කිරීමට අප සමත්වීමු.   2021 අංක 22 දරණ පනත මගින්, 1980 අංක 44 දරණ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කරනු ලැබූවේ වයස අවුරුදු 18 සම්පූර්ණ කරන නව ඡන්දදායකයින්ට වහා ඡන්ද හිමිකම ලබාදීමේ අපේක්ෂා සහිතවය. ඒ සඳහා පසුගිය වසර 10 පුරා මම පුද්ගලිකවම මැදිහත්වීමි.  ඔන් ලයින් ක්‍රමයට සකස් කරනු ලැබූ 2021 ඡන්ද හිමි නාම ලේඛනය මගින් එහි අපේක්ෂිත අරමුණ සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇත.  එසේ තිබිය දී, 2022 නාම ලේඛනය ද එලෙසම සැකසීම පුදුමයකි.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සර්වජන ඡන්ද බලය අහිමි කිරීමකි.   

යුධ තත්වයක් පැවති සමයේ දී උතුරු නැගෙනහිර හැර, සුදුසුකම් සහිත පුරවැසියන්ට ඡන්ද ලියාපදිංචිය අහිමි කර නැත.  ඉතිහාසයේ කිසිම දවසක මැතිවරණ අරමුදල් සපයා ගත නොහැකිව, ඡන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධනය හෝ ඡන්ද පැවැත්වීම හෝ අතපසු කර නැත. 

මැතිවරණ කොමිසම, ස්වදේශ කටයුතු ලේකම්, ආයතන අධ්‍යක්ෂ ජෙනරාල්, ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති එක්ව වත්මන් අර්බුදය කළමනාකරණය කළ යුතුව ඇත. නැතිනම් විකල්ප සොයා ගත යුතුව ඇත.  ග්‍රාම නිලධාරිවරුන්ට සිදු කරන ගෙවීම හා ගෙවීම් අනුමත කිරීමේ යාන්ත්‍රණයක් සකස් කර ගැනීම ආයතනික වගකීමකි.

ඡන්දහිමි නාම ලේඛන සංශෝධනය ග්‍රාමනිලධාරිවරුන්ගේ රාජකාරි ලැයිස්තුවේ අංගයකි. ඔවුන්ට මේ දක්වා ගෙවූ මුදල හෝ වෙනත් සුදුසු දීමනාවක් ගෙවීම කලමනාකරණ වගකීමකි.  ග්‍රාම නිලධාරිවරුන්ගෙන් මෙම කටයුත්ත ඉටු කර ගැනීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, මැතිවරණ කොමිසම අසමත් වන්නේ නම් ඒ සඳහා වෙනත් යාන්ත්‍රණයක් සකසා ගැනීම ද ආණ්ඩුවේ වගකීමකි.  

ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධනය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වෙත වගකීමක් ඇත. දේශපාලන පක්ෂ නියෝජිතයින්ට ග්‍රාම නිලධාරිවරුන් කැටුව ගොස් ඡන්ද ලියාපදිංචියට සහභාගි විය හැකිය.  එය මම ද ඡන්දදායකයෙකු වන බදුල්ල දිස්ත්‍රික්කයේ, මහියංගන මහජන නියෝජිත කපිතාන් සී.පී.ජේ.සෙනෙවිරත්න මහතා ගේ යෝජනාවක ප්‍රතිඑලයකි.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් පසුගිය වසරේ ඡන්ද ලියාපදිංචියට සක්‍රීය දායකත්වයක් සපයා නැති බව පෙනේ.  

නිශ්චිත ලෙස වෙන් කොට හදුණාගන්නා සමාජ කණ්ඩායමක් (වසය 18 ට වැඩි පලමු ලියාපදිංචි ඡන්දදායකයින්) ට ඡන්ද වරම් අහිමි කිරිම ජාතික මැතිවරණයක ප්‍රතිඑලය වෙනස් කිරීමට සමත්වන තත්වයකි.  මහා මැතිවරණයේ දී දිස්ත්‍රික්කයකට හිමිවන මන්ත්‍රී ධූර සංඛ්‍යාව වෙනස් කරන (උදා. ගම්පහ) සාධකයකි.

ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට 2021 දී ගෙන ආ සංශෝධනය  සිවිල් සංවිධාන විසින් දිගු කාලීන පරිශ්‍රමයකින් දිනාගත් ප්‍රගතිශීලි ජයග්‍රහණයකි.  අවසනාවකට එය  ඡන්දදායකයින් දස දහස් ගණනකට ඡන්ද බලය අහිමි කිරිමට එය මෙවලමක් බවට පත්ව ඇත. 2022 වසර සඳහා ද එම අසමත් යාන්ත්‍රණයම දැන් එලෙසම ක්‍රියාත්මක ය. 

1.      මැතිවරණ කොමිසම මගින් ක්‍රියාත්මක ඔන්ලයින් ක්‍රමය අසම්පූර්ණය.

2.      මෙයට පෙර ඡන්දය භාවිත කළ අයෙකුගේ නම, 2020 ඡන්දහිමි නාමලේඛනයෙන් හැලී ඇති නම්, ඔහු/ඇය තමාගේ ඡන්දය අහිමිවී ඇති බව දැනගන්නේ ඊලඟ ඡන්දයට ඡන්ද කාඩ් බෙදීමේ දී හෝ ඡන්ද දිනයේ දී ය. 

එබැවින් මේ ගැටළුව විසඳා ගැනීමට පහත යෝජනා ඉදිරිපත් කරමි.

1.      ග්‍රාම නිලධාරීන්ගේ සමිති සහ මැතිවරණ කොමිසම අතර ‘සම වේදිකාවක‘ දී මෙම ප්‍රශ්නය සාකච්ඡා කිරීම.  එකිනෙකාගේ බලය පෙන්වීම වෙනුවට ජනතාවගේ ඡන්ද අයිතිය රැකගැනීම සඳහා නම්‍යශීලිවීම

2.      ග්‍රාම නිලධාරීන් වෙනුවට විකල්පයක් ලෙස, සමෘද්ධි නිලධාරීන්, සංවර්ධන සහායකවරුන් මගින් පෝරම බෙදාදීම/රැස්කිරීම

3.      තරුණ ප්‍රජාව ඉලක්ක කර සමාජ මාධ්‍ය මගින් මහා පරිමාණ දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කිරීම  

3.      ශබ්දවාහිනී යොදා ගනිමින් ගමින් ගමට තමන්ගේ නම ඡන්දහිමි නාමලේඛනයේ ඇතුලත්වන්නේ ද යන්න පරීක්ෂා කරන ලෙස දැනුවත් කිරිම හා එසේ නොමැති පුද්ගලයින්ට පෝරම බෙදාදීම   

4.      විනිවිදභාවයක් සහිත යාන්ත්‍රණයක් ඇතිකර, පළාත් පාලන නියෝජිතයින් (ගමේ මන්ත්‍රීවරුන්) සහ පරාජිත අපේක්ෂකයින් මගින් පෝරම බෙදාදීම (ඡන්දහිමි නාමලේඛනයේ පිටපත් පලාත් පාලන නියෝජිතයින්ට ලබාදීම)  

5.      පාසල් දරුවන් මගින් නිවෙස්වලට ඡන්දහිමි නාමලේඛනය පරීක්ෂා කිරීම පිළිබඳ දැනුවත් භාවයක් ලබාදීම/පෝරම බෙදාදීම

6.      කෝවිඩ් මර්ධනය, කාබනික කෘෂිකර්මයට යොදාගත් අයුරින්ම ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක බලකා යොදා ගැනීම

7.      සිවිල් සංවිධාන, මරණාධාර සමිති, තරුණ හා ක්‍රීඩා සංගම් යොදා ගැනීම

පාසල්වලට දරුවන් ඇතුලත් කිරීම සහ දේශපාලන පක්ෂ හා දැඩිව බැඳී ඇති සීමිත පිරිසක් හැර බහුතරයක් පුරවැසියන්ට ඡන්දය සඳහා ලියාපදිංචිවීමට විශේෂ උනන්දුවක් නොමැති බව අප වටහා ගත යුතුව ඇත.  ඔවුන්ට ඡන්දය වැදගත්වන්නේ ඡන්ද දිනයේ දී ය.  ඒ සඳහා කාලය, මුදල්, ශ්‍රමය වැය කරන්නට බහුතරයක් පුරවැසියන් පෙළඹෙන්නේ නැත.  ඡන්දහිමියන් ලියාපදිංචියට පහසුකම් සැලසීම මැතිවරණ කොමිසමේ වගකීමක් වන්නේ ඒ නිසාම ය.

ප්‍රජාතන්ත්‍රවාදයට මිලක් තිබේ.  ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ යාන්ත්‍රණයක් සඳහා එම මුදල් සැපයීම රජයේ වගකීමකි. මුදල් සපයා ගැනීම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමකි.  එය සිදු නොවන්නේ නම්, ප්‍රෝඩාකාරී ඡන්දයකට මාවත එමගින් සකස්වන්නේය.

ඡන්දහිමියන් ලියාපදිංචි කිරීම සඳහා ග්‍රාම නිලධාරිවරුන් ගේ සහාය නැවන ලබා ගැනීමටත්, ඔවුන්ට සුදුසු දීමනා ලබාදීම අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට කටයුතු කරන ලෙසත් කාරුණිකව ඉල්ලමි.

මෙයට හිතවත්,  

රජිත් කීර්ති තෙන්නකෝන්

දකුණු පලාත් හිටපු ආණ්ඩුකාර සහ කැෆේ සංවිධානයේ හිටපු විධායක අධ්‍යක්ෂක

පිටපත්

1.      මැතිවරණ කොමිසමේ ලේකම් – කරුණාකර මැතිවරණ කොමිසමේ සියළු සාමාජිකයින් වෙත මෙම ලිපිය යොමු කරන මෙන් ද, කොමිෂන් සභාවේ සාකච්ඡාවට බදුන් කරන ලෙස ද ඉල්ලමි.

2.      ලේකම් – ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

3.      කොමසාරිස් ජෙනරාල් – මැතිවරණ කොමිසම

4.      නියෝජ්‍ය/සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්

5.      ග්‍රාම නිලධාරීවරුන්ගේ සමිති සහ සමාගම් ප්‍රධානීන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress