තරුණයින් දස දහස් ගණනකගේ ඡන්ද හිමිකම අහිමි කරලා. ග්‍රාම නිලධාරි හරහා ඡන්ද ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් අවශ්‍යයි
Posted on February 23rd, 2022

රජිත් කීර්ති තෙන්නකෝන් දකුණු පලාත් හිටපු ආණ්ඩුකාර සහ කැෆේ සංවිධානයේ හිටපු විධායක අධ්‍යක්ෂක

2021 ඡන්ද හිමි නාමලේඛනය සැකසීමේ දී සිදු වු අඩුපාඩු සහ වරද හේතුවෙන් අලුත් ඡන්දදායකයින් විශාල පිරිසකට ඉදිරි ඡන්ද විමසීමක දී ඡන්ද බලය අහිමි කර ඇත.  වසර 55 කට වැඩි කලක් අඛණ්ඩව හා සාර්ථකව ගෙන් ගෙට ගොස් සිදු කළ ඡන්දහිමියන් ලියාපදිංචි කිරිම වෙනුවට නාමික ඔන්ලයින් ක්‍රමයට ඡන්ද නාම ලේඛන සැකසීම මෙයට හේතුවයි.

2021 ඡන්ද ලේඛනය සකස් කර ඇත්තේ මාර්ගගත (ඔන් ලයින්) ක්‍රමයට ය.  මේ වසරේ ද (2022) නිවසින් නිවසට ගොස් ඡන්දය ගණන් ගැනීමක් මේ දක්වා සිදුවන්නේ නැත.  එබැවින් මෙවර ද දස දහස් ගණනකට ඡන්ද අයිතිය අහිමිවීමේ අවදානමක් පවතී.  

නිවසින් නිවසට ගොස් ඡන්ද නාම ලේඛන සැකසීම වෙනුවෙන් ග්‍රාම නිලධාරිවරුන්ට ගෙවන දීමනා සම්බන්ධයෙන් මේ වන විට මැතිවරණ කොමිසම හා ග්‍රාම නිලධාරී සමිති අතර ගැටුමක් මතුවී ඇත.  එම හේතුවෙන් 2022 වසරේ ඡන්ද හිමි  නාම ලේඛන සැකසීමේ දී ද, මාර්ග ගත (ඔන් ලයින්) ක්‍රමයට ඡන්ද නාම ලේඛන සැකසීම සිදු වේ.

2021 ඡන්ද නාම ලේඛනයේ ඡන්දදායකයින් ගේ වැඩිවීම ඇදහිය නොහැකි පහත අගයක් දරයි.  ඒ අනුව, 2021 ඡන්ද නාම ලේඛනය ලංකා ඉතිහාසයේ අසාර්ථකම සහ වැඩිම දෝෂ සහිත ලැයිස්තුවක් බවට පත්ව ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ සාමාන්‍යයෙන් වසරට නව ඡන්දදායකයින් 8000 ක් පමණ ලියාපදිංචි කෙරේ.  නමුත් 2021 දී ඡන්ද හිමි නාමලේඛනයේ වැඩිවීම ඡන්ද 4,968 ක් පමණී. 

පුත්තලම වසරකට ඡන්ද 14,500 ක් පමණ වැඩිවේ.  2021 දී වැඩි වී ඇත්තේ ඡන්ද 8,369 කි. 

පෙර වසර වල ඡන්ද 6000 ක් පමණ වැඩි වූ හම්බන්තොට මෙවර වැඩිවීම ඡන්ද 3,598 කි.

පෙර වසරවල ඡන්ද 10,000 ක් පමණ  වැඩි වූ ගාල්ලේ මෙවර වැඩිවීම ඡන්ද 3601 කි.

පෙර වසරවල ඡන්ද 5,500 බැගින් වැඩිවූ මාතලේ මෙවර වැඩිවීම ඡන්ද 3,153 කි.

පෙර වසරවල ඡන්ද 5,500  බැගින් වැඩි වූ මොණරාගල මෙවර වැඩිවීම ඡන්ද 3,564 කි.

ලංකා ඉතිහාසයේ අසාර්ථකම ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලියට හේතු වූ මාර්ගගත ක්‍රමය මගින් පමණක් කිසිදු ලෙසකින් සාර්ථක ඡන්ද හිමි නාම ලේඛනයක් සකස් කර ගත නොහැකි බව පැහැදිලිය. 

‘‘සුදුසුකම් සහිත කිසිවෙකුත් අත් නොහැරෙන ඡන්දහිමි නාමලේඛයක්‘‘ සැකසීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව, මැතිවරණ කොමිසම ඉතිහාසය පුරාම ප්‍රමුඛත්වය දී තිබුණි. ලෝකයේ ඉහළම ප්‍රමිතියකින් යුතු ඡන්ද හිමි නාමලේඛන පවත්වා ගෙන යාමට ඒ නිසා අපට හැකියාව ලැබී තිබුණි.  2022 ඡන්ද හිමි නාමලේඛන සැකසීම නැවත වරක් විධිමත් කළ යුතුව ඇත.

ඡන්ද හිමි නාම ලේඛන සැකසීම, ග්‍රාම නිලධාරිවරුන්ගේ රාජකාරි ලැයිස්තුවේ කොටසකි.  ඒ සඳහා පහසුකම් හා දීමනා සැපයීම මැතිවරණ කොමිසමේ, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වගකීමකි.  ග්‍රාම නිලධාරි දීමනා ගෙවීමට නොහැකි බව පවසමින් ඡන්ද ලියාපදිංචිය අඩාල කිරීම තුලින් තරුණයින්ගේ ඡන්ද අයිතිය උදුරා ගනු ලබන්නේය. ග්‍රාම නිලධාරිවරුන් හා මැතිවරණ කොමිසම අතර මතුව ඇති ආරවුල නිරාකරණය කර ‘සුදුසුකම් සහිත සෑම ඡන්ද හිමියෙකුම ලියාපදිංචි කිරීමට‘‘ රජය වහා පියවර ගත යුතුව ඇත.

2021 ඡන්ද ලේඛනයේ නම ඇති දැයි පහත දිගුවෙන් පරීක්ෂා කළ බැලිය හැකිය.    

https://eservices.elections.gov.lk/pages/es_ct_MakeQuery.aspx

ඡන්ද පොතේ නම නැත්තම්, ඔබට ඡන්ද පත්‍රිකාවක් ලැබෙන්නේ නැත.

රජිත් කීර්ති තෙන්නකෝන්

දකුණු පලාත් හිටපු ආණ්ඩුකාර සහ කැෆේ සංවිධානයේ හිටපු විධායක අධ්‍යක්ෂ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress