ICCROM සම්මානලාභී ආචාර්ය ගාමිණී විජේසූරිය උපහාර උළෙල
Posted on February 23rd, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

රෝමයේ පිහිටි සංස්කෘතික දේපල සංරක්ෂණය හා ප්‍රතිසංස්කරණය සඳහා වූ අන්තර්ජාතික මධ්‍යස්ථානය (ICCROM) පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය ගාමිණී විජේසූරිය මහතාට උපහාර පිදීමේ උත්සවයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

කීර්තිමත් වාස්තු විද්‍යාඥයෙක් හා පුරා විද්‍යාඥයෙක් වන ආචාර්ය ගාමිණී විජේසූරිය මහතා 20වන සහ 21වන සියවස්වල ලොව බිහිවූ උරුම කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයින් කිහිපදෙනා අතර සිටින විද්වතෙකි.

ආචාර්ය ගාමිණී විජේසූරිය මහතා විසින් මෑතක දී රචිත අන්තර්ජාතික වශයෙන් ප්‍රකාශයට පත් වැදගත් ලේඛන ඇතුළත් ග්‍රන්ථ 05ක සිංහල භාෂා පරිවර්තන කෘතීන් ඒ මහතා විසින් මෙහිදී අග්‍රාමාත්‍යතුමා වෙත  පිළිගන්වනු ලැබීය.

ලොව පුරා විවිධ අධ්‍යන ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් 1969 වසරේ සිට මේ දක්වා පිරිනමා ඇති  ICCROM සම්මාන ගණන 50ක් පමණ වේ. ඉන් දකුණු ආසියාවටම ලැබී ඇත්තේ සම්මාන තුනකි. ඒ අනුව ශ්‍රී ලාංකිකයෙකු මෙම සම්මානයෙන් පිදුම් ලැබූවේ පළමුවතාවටය.

කුරුණෑගල ඇස්සැද්දුම ග්‍රාමයේ උපන් ආචාර්ය ගාමිණි විජේසූරිය මහතා නාගොල්ලාගොඩ මහා විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විද්‍යාලයෙන්  පාසල් අධ්‍යාපනය හදාරා මොරටුව විශ්ව විද්‍යාලයෙන් ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ විද්‍යාවේදී සහ විද්‍යාපති උපාධිය ලබමින්  වරලත් වාස්තු විද්‍යාඥයෙක් ලෙස සිය වෘත්තීය ජීවිතයට මුල පුරා ඇත. එක්සත් රාජධානියේ යෝක් විශ්ව විද්‍යාලයෙන් පුරාවිද්‍යාව/උරුම කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද, අමෙරිකා එක්සත් ජනපදයේ කානගී මෙලන් විශ්ව විද්‍යාලයෙන් ඉතිහාසය/සංරක්ෂණය පිළිබඳ තවත් ශාස්ත්‍රපති උපාධියක්ද හිමිකරගන්නා ආචාර්ය විජේසූරිය මහතා පුරාණ ශ්‍රී ලංකාවේ භාවනාරාම පිළිබඳ පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කරමින් ආචාර්ය උපාධිය හිමිකරගෙන ඇත්තේ නෙදර්ලන්තයේ ලයිඩන් විශ්ව විද්‍යාලයෙනි.

ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණයේ  ආරම්භක ව්‍යාපෘති කළමනාකරුවෙක් ලෙස  පුරාවිද්‍යා ක්ෂේත්‍රයට ඇතුළත් වන විජේසූරිය මහතා නියෝජ්‍ය කොමසාරිස් (වාස්තුවිද්‍යා)  හා අධ්‍යක්ෂ (වාස්තුවිද්‍යා සංරක්ෂණ) ලෙස වසර 18ක කාලයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සිය සේවය ලබාදී ICCROM කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස එක්ව ඇත්තේ එහි සේවයට එක්වන පළමු ආසියාතික වෘත්තිකයා ලෙසිනි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණී රණසිංහ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ වාස්තු විද්‍යාඥ රසල් දන්දෙනිය, ශ්‍රී ලංකා ICOMOS ආයතනයේ නියෝජ්‍ය සභාපති ආචාර්ය බී.ඩී නන්දදේව මහත්වරුන්වෙත ද මෙහිදී  අග්‍රාමාත්‍යතුමා අතින් තිළිණ ප්‍රධානය කෙරිනි.

මෙම උපහාර පිදීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, ලොහාන් රත්වත්තේ, ඉතාලි තානාපතිනි රීටා ජුලියානා මැනෙල්ලා, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, බුද්ධශාසන ආගමික හා  සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ති ජයසිංහ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණී රණසිංහ, ශ්‍රී ලංකා ICOMOS ආයතනයේ නියෝජ්‍ය සභාපති ආචාර්ය බී.ඩී නන්දදේව, පුරාවිද්‍යා අධ්‍යන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ පුරාවිද්‍යාඥ ප්‍රසන්න බී රත්නායක, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ වාස්තු විද්‍යාඥ රසල් දන්දෙනිය  මහත්ම මහත්මීහු සහභාගි වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress