බඩපිස්සගේ ලියුං කරදහිය
Posted on March 11th, 2022

ප්‍ර සමරසිංග

හැටනව ලක්ස ආරස්සාවයි!
හිතවත් ගොටයියේ,
මේ ලියමන කොහොම පටන් ගත්තොත් හොඳද කියා නිනව්වක් නැත. බොලාගේ සැප සනීප කොහොමද, මා නං සැප සනීපෙන්ය, කියා ආදි-කාලෙ ලියුං කරදහි පටන් ගත්තැහෙ පටන් ගන්නටද හැක. ඒත් නැත්නං, වැල්වටාරම් නැතුව කෙලින්ම කාරණාවට බහින්නටද ඇහැක.

කොයි හැටි වෙතත්, හැටනව ලක්ස පිහිටෙන් ගොටය්ය සනිපෙන්ය. බොලා වාගේම බඩපිස්සෙක් වන මට නං එහෙම නැත. පොඩි එකා සංදියේ නං බඩපිස්සෙක් වීමම භාග්යයකි. අම්ම අප්පච්චි ඇරෙන්නට තව තුන් හතර දෙනෙක් වටේ දැවටුන එක ලොකු දෙයක්ය. ගොටයියාටද එසේය කියා අසා ඇත්තෙමි. මේ ලියමනට හේතුවද එයමය. මහළු බඩපිස්සන්ට දැනෙන, තේරෙන කරුණු කාරනා, මහළු ලෝකලාට, මද්දුමයන්ට, ඩිංගින්ට, හින්නින්ට දැනෙන්නේද, තේරෙන්නේද නැතිය. මේ කතාව තේරුම් ගන්නට සමතෙක් වෙන නැත, දහ අතේ කල්පනා කර ලියමනක් එවන්නේ ඒ නිසාය.

කාලෙක ඉඳන් ‘බඩපිස්සු මාවත’ කියා හරි ‘බඩපිස්සු මඟ’ කියා හරි එකතුවක් පිහිටුවා ගන්නට හිතේ ඇත. හැටනව ලක්සයක් ඉන්න එකේ, පහසුවෙන්ම බඩපිස්සෝ රංචුවක් හොයා ගත හැක. උන්ලා ගෙන් සාමාජිකත්ව මුදලක්ද අය කර ගත්තාට පවක් නැත. ඊට පස්සේ, ‘බඩපිස්සන්ගේ දිනය’ කියා හරි ‘බඩපිස්සු දිනය’ කියා හරි දිනයක් උලුප්පා ගෙන අර හැටහුට හමාරක් පමණ ඇති දින අතරට රිංගවන්න ඇත්නං පන්කාදුය. එතකොට බතල මලක්, වැලක් එක්කම විකුණා කාසි ටිකක් හොයා ගන්නටද පුළුවන් වේය. බඩපිස්සන්ට, බඩපිස්සන් වීමේ ලා වෙන අකරතැබ්බද, අසාධාරනකම්ද, අකටයුතුකම්ද සාකච්චා කර ඒවා වැළැක්වීමේ පනතක්ද සම්මත කර ගන්නට ඇත්නං කියා සිතේය. අවුරුද්දට එක දවසක්, බලව්-දියව්, වරෙව්-නටව් කියමින් එක පාට කමිස ඇඳගෙන, ඒ පාටින්ම තොප්පිත් දාගෙන පාර දිගේ ටුවිස්ට් ඩාන්ස් එකක් දෙකක් දැම්මාම මක් වෙනවය? ප්රශ්නයකට ඇත්තේ දින දර්ශනයේ තව දින ඉතිරිව තියෙනවාද කියන එකය.

පුංචි සංදියේ, “මේක නෙවෙයි බං අරක කොරහන්” කියමින්ද “ඔහොම නෙවෙයි බූරුවෝ මෙහෙම කොරහන්” කියමින්ද, අම්ම අප්පච්චි එක්ක හරි හරියට මඟ පෙන්නුවො ලෝක,මද්දුම,ඩිංගි හා හින්නිය. අපූරුවට කකුල් දෙකෙන් ඇවිදින්නට පුළුවන්කම තියෙද්දිත් උන්ගේ කර පිටින් එහෙ මෙහෙ ගිය එකද මිහිරිය. ඒ කාලේ වැඩිමල් ඈයිං කියන, කරන දේකට හා, හී කියා ගෙන උන්නා නං අහවරය. එල්ලාං සරිය. එවරිතිං ඕල් රයිට්ය. උන් කරපු වැරදි, වැරදි ලෙසටත් නිවැරදි දේ නිවැරදි ලෙසටත් දකින්නට ඒ කාලේ හිච්චි බඩපිස්සෝ මෝරලා හිටියේ නැත. වැඩිමල්ලු උත්සහ කරන්නේ බඩපිස්සව සදා යටත්විජිතයක් ලෙස තබා ගන්නටය. බොලා වාගේම මාත් ඒ කාලේ අර චුං චෑන් වාගේය, අරක ගෙනෙන් කිව්වම දුවල ගිහින් ඒක ගෙනාවේය, මේක ගෙනෙන් කියා කිව්වමත් එහෙමය. අරූට ගහපං කිව්වමත් මූව එළවපන් කිව්වමත් කියූ සුනන්ගුවට රොබෝවෙක් ලෙස ක්රියාත්මක වුනේය. ඒ එදාය, තවත් නං බැරිය. දණගාද්දි ඇවිදින්නට අත දුන්නාය කියා හැමදාම උන් කියන කියන බහුභූත කල හැක?

හොඳයි මං අහන්නේ..අපි බඩපිස්සෝ වුනා කියල හරියට ඉගෙන ගත්තේ නැද්ද (හරි හරි..ඒක ඉතිං ‘කරාපිය’ කියල කන මිරිකලා කඳුළු පිටවෙන්න ටොක්කක් ඇන්නට  පස්සේ තමා), හොඳ රස්සාවක් කලේ නැද්ද( සම්මුඛ පරීක්ෂණ මණ්ඩලේ මද්දුන්ගෙ සමකාලීනයන් උන්න එකත් හැබෑව) හොඳ පරස්ථාවක් කර ගත්තේ නැද්ද ( ඒකත් දෙමව්පියන්ගේ උනන්දුවටය කියන කතාවෙත් ලොකු වැරැද්දක් නෑ තමයි) කොහොම හරි දරුවොත් හදල, උන් උස මහත් කරල, උන්ගෙ දරුවොත් නළවල, පුත්තලම් බූරුවෝ පස් හය දෙනෙක්ගේ වයසත් පහු කරන්න ඇවිදිල්ල ඉන්න මේ අපෙන්, උන්දැල තාම බලාපොරොත්තු වෙන්නේ අර එදා චුං චෑන්ව. වෙලාවකට හිතෙනවා වැඩිහිටුකම් පැත්තකට දාල, හොඳ කෝටුවක් අර ගෙන, ඒක කැඩෙන කල්ම පත බාන්න. මට මෙහෙම හිතෙනවා නං, බොලාට හැබෑට කොහොම හිතෙනවා ඇද්ද!

ඈ බං ගොටයියේ, බඩපිස්සන්ට තහනංද තමන්ගේය කියල මතයක් දරන්න? ආත්ම විශ්වාසෙකින් තමන් කරන කාරිය කරන්න? උන්ට කැපයි, අපිට අකැපයි. අපිත් යමක් කමක් තේරුම් බේරුම් කර ගන්න දන්න, අත්දැකීම්, පළපුරුදු තියෙන ඈයෝ නෙවෙද. ඒ මදිවට උන්දැලගේ අර යන්තං කරදඬු උස මහත් වුනු පැඟිරො ටික, රාජ ඌස්නේ ගහල එන්නෙත් අපිව ආණ්ඩු මට්ටු කරන්න. මට තියෙන ප්රශ්න ටිකම බොලාටත් ගෙඩි පිටින් තියෙනව නෙවෙද, හැබෑට මේකට මක් කලොත් හොඳද, මේ සේරෝම බඩපිස්සන්ට පොදු ප්රශ්නය, සාකච්චා මාර්ගයෙන් විසඳන්න පුළුවන්ද කියා සැකය. මිරිස් රටේ බැශලේ හම්බ වෙන්න යන්නත් හිතෙනවාය.

මගේ වාසනාවට, මං රාජකාරි කරන තැන උන්දැල නැත, උන්දැලගේ පැඟිරොද නැත. බොලාට එහෙමය, අගමැති ගෙන් පටන් ගත්තම තව ඇමතිලම 4-5ක්, නිකන් රශ්මි ධාරා කදම්භ වටේට කැරකෙනවා වාගේ, හැම එකටම හොට දා ගෙනය. බොලා හරිය කියල හිතන හැටනව ලක්සෙට වෙච්චි හරිහමං පොරොන්දුවක් වත් ලේසියෙන් ඉෂ්ඨ කරලා දෙන්න බැහැ නෙව හැබෑට! අනේ මන්දා, හොඳට නරකට දෙකම වැඩිමල්ලුය කියා හිතෙනවාය.

ඒ අව්අස්සේ මෝදිප්පගෙ ආදරේ, හරියට එවුන්දැගේ රටේ ප්රාන්තයක් කියල හිතානයි බොලාව මෙහෙයවන්නේ. ශි-ශින්පින්යිය ද අපට ආදරේය, ඔය කවුරු කවුරුත් ආදරේ කරන්නේ උන්ට වාසියක් නම් විතරය. අපට බැරි වුන දාක වුනත් උදව්වට එන්නේ තව දහ-පහළොවක් දේ හිතේ තබා ගෙනය. ඕක තේරුං කර ගත්ත නං හොඳය. 

ඒක නෙවෙයි, දැන් ඔය හේත්තු වෙන්න හදන හාදයා ජාමුලේ පාමුලට බොලාව දක්වනවයි කියන්නේ හැබෑද? පොඩි කාලෙක වින්දනයකට ජාමුලේ ණය උගුලේ පැටලුනහම කැප කරන්න සිද්ධ වෙන්නේ මහින්දයිය බේර දුන්න රට. 

’70 දශකයේ මුල වාගේ, අපි අපේ රට පැත්තට හැරෙන්නට ඕනය. විෂම චක්ර-ණය අඩු කර ගන්න, ලොකු-ලොක්කන් ගෙන්ම පටන්  ගෙන, පාරදෘශ්‍යව-ආදර්ශයෙන් බඳපටි තද කර ගත්තට ලැජ්ජ වෙන්න දෙයක් නැතිය. මේ, ස්වයංපෝෂිත ආර්ථික රටාවක්, රටකට නැතුවම බැරි කාලයක්ය. 3වන ලෝක යුද්ධයක පෙර නිමිති දකිමින් ඉන්න අවදියක කරන්නට ඇත්තෙ තව තව ණය ගන්න එක නෙවෙයිය. ජාමුලේ යදින එක නෙවෙයිය.


හිතුවාටත් වඩා ලියමන දිගය. මගේ වටිනා කාලය අපතේ නොයවා මේ ලියමන කියවන්නේ නං හොඳාය. හැකි ඉක්මනට මං අර කියූ බඩපිස්සන්ගේ එකතුව, බඩපිස්සු දින ගැන තව දුරටත් දැනුවත් කරන්නෙම්ය.
 
එහෙන් මෙහෙං අඩු වුනත් හැටනව ලක්ස පිහිටයි!
මෙයට
හිතවත් බඩපිස්සා 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2023 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress