ණය තොණ්ඩුව
Posted on March 18th, 2022

ප්‍ර සමරසිංහ

උස මහත විනිවිද පෙනෙන වීදුරු බෝතල් කීපයක් පේලියට පේවිලා කඩේ මේසෙ අග්ගිස්සේ හිටියේ, හරියට හරිබැරි ගහල වාඩිවෙලා උන්නු මුදලාලිගෙ දිලිහෙන තට්ටෙ යාන්තමට හරි වහන් කරන්න වාගේ. එකක, පාට පාට හූනු බිජු (සීනි දවටපු මාදුරු ඇට), තව එකක දේදුන්නේ පාට නාරං බික්, (නාරං බිකක් වාගේ සීනි පෙති) අනික් බෝතලේ ගුණසිරි බුල්ටෝ, තව තිබ්බ ඩෙල්ට ටොෆි බෝතලයක්. ඒ කාලේ, මෝරලා නැති මෝඩ හිච්චන්ව ආකර්ෂණය කරන්න ඔහොම ලස්සනට තිබ්බට, ඒවා ඕනමය කියන පොඩිම හැඟීමක්වත් අපට තිබ්බේ නෑ.

ඔය හරියෙම අලවලා තිබ්බා කැත අත් අකුරෙන් ‘ණයට දෙනු නොලැබේ ‘කියල දැන්වීමක්. මක් කරලා හරි කියව ගත්තත් ඒ වාක්ය ඛණ්ඩයේ හැබෑ තේරුම හරියටම හිතට කාවදින්න තව කාලයක් ගත උනා. ඒ දවස් වල ගෙදරට අත්‍යවශ්‍ය කළමනා ටික විතරයි කඩේකින් කාසි දීල ගත්තෙ. ඒ කාලෙ ඇත්තන්ට දැන් වගේ හැම සතියකම ‘බල්කි ෂොපින්’ කරන්න කියලා කඩ සාප්පු පීරන්න, තෙල් පුච්චගෙන නගරෙට දුවන්න වුවමනාවක් තිබුණේ නෑ, වත්ත පිටියෙ ගෙදරට ඕන කරන හැමදේම වාගේ තිබුන, වස පෝර නොදා වවපුව, සමහර දේවල් ඉබේ වැවිලා, නැවුම්ව රසට ගුණට කන්න. ඕන නම් අහල පහල උදවියටත් බෙදන්න සෑහෙන්න.

ඊනියා දියුණුව, දැන් පිපිඤ්ඤා ගෙඩියේ ඉඳලා හැම භාණ්ඩෙම ප්ලාස්ටික් දවටල. ව්‍යාප්ත වුනු මධ්‍යම පංතිකයන්ට වැක්ස්-පොලිෂ් කරපු ආනයනික ඇපල්, පෙයාස්, දොඩම් නොකෑවොත් රෑට නින්ද යන්නේ නෑ. දැන් දැන් අපේ අඹ,වරක,වෙරළු..පළතුරුද කියලත් අහන පිරිසක් ඉන්නව කියලයි ආරංචිය. මේ අයට චීස්, සුවඳ-විලවුන්, විස්කි, සකේ කොහොමත් ආනයනය කරලා දෙන්නම ඕන, නැත්නම් වසල හමාරයි.

අපි සති අන්තෙ එන කුණු ලොරියටත් සල්ලි ගෙවනවා, අර ගෙවලා ගත්තු ප්ලාස්ටික් දවටන ටික පුරෝගෙන යනවට. ප්ලාස්ටික්, පරිසර දූෂණයේ දැවැන්ත සහකාරයෙක්. ඒත් අපට මේ ලෝකේ ගානක් නෑ, අපේ වැඩේ කෙරෙනව නම් පරිසරය යකාට ගියදෙන් කියලයි කල්පනා කරන්නේ. දකින දකින දේ ඕන කියලා අරගන්නවා, ඒ අර ගන්නෙත් ණයට, මාසේ අන්තිමට ඒ ණය පියවන්න අමතක වුණොත් හරි පියව ගන්න බැරි උනොත් හරි ක්රෙඩිට් කොම්පැණිකාරයට රජ මඟුල්, මොකද නියමිත දවසට නොගෙව්ව දඩයයි, ඒ පොලියයි එක්ක දීපු ණයත් ලැබෙනවා නං ජය පැන් බොන්න නොහිතෙන්නේ කාටද. එදා ගමේ කඩේ මුදලාලි ඔළුව යාන්තමට වහං කර ගෙන “ණයට දෙනු නොලැබේ” කියල දැන්වීමක් අලවල, නොකිය කිව්වේ “පේන පේන ඒවා අරන් කාබාසිනියා නොවෙල්ල” කියල. ඒකට දැන්!

අණන සූත්රය තියෙන්නෙ අංගුත්තර නිකායේ, ඒ සූත්රයෙන් කියන්නේ මිනිස්සුන්ට මෙලොව වශයෙන් ලබන්න පුළුවන් සැප වර්ග හතරක් ගැන.කාටවත් වින කැටලා, හිංසා කරලා, අයුතු විදියට නෙමෙයි නං කාසි උපයන්නේ, ඒකෙන් තෘප්තිමත් නම්, ඒකට කියනවා අත්ථි සුඛය කියල. භෝග සුඛය කියන්නෙ, මේ හොයා ගත්තු කාසි, මසුරුකමට හංගගෙන දුක් විඳින්නේ නැති එකට සහ අවශ්‍ය තැනදි සිහි බුද්ධියෙන්, අත්‍යවශ්‍ය කාරණා වලට, ඒ සාධාරණව උපය ගත් ධනය යෙදවීමෙන් ලබන සැපයට. අණන සුඛය ලැබෙන්නේ අසීමිත අවශ්‍යතා පස්සෙ නොගිහින්, දකින දකින දේ, අහන අහන දේ ලං කර ගන්න දඟලන්නේ නැතුව, ඉවරයක් නැතිව මතු කරවන වුවමනාවන් අඳුන ගෙන, අරපිරිමැස්මෙන්, සැලැස්මකට, නිවී සැනසිල්ලෙ, කාටවත් ණය නොවී ජිවත් වීමෙන්. අනවජ්ජ සුඛය කියන්නෙ වැරදි නොකර, අඩු තරමින් පස් පවෙන් දුරස් වෙල, එගොඩහ යද්දි හිත සන්තෝසෙන් යන්න පුළුවන් සැපයට. මේ සැප හතරම කෙසේ වෙතත් මෙයින් අඩු තරමේ දෙක තුනක සැපයක්වත් ලං කර ගන්න අද සාමාන්‍ය පුද්ගලයකුට පුළුවන්ද මේ තියෙන මායංකාර සරුව පිත්තල සමාජ පීඩනය ඉස්සරහ? ඒ දවස්වල පහේ පන්තියේ බුද්ධාගම පොතට, ජයසේකර අබේරුවන් මේ අණන සුත්රය ඇතුලත් නොකල හේතුව දැනගන්න ක්රමයක් නැති එකට හිතේ දුකක් තියෙනවා.

අලුත් නිෂ්පාදන කරන්න ඕන, නමුත් ඒ කරන බොහෝ නිෂ්පාදනයන් කෙරෙන්නේ හිංසනයත්, පීඩාවත් පදනම් කර ගෙන, ඒ මදිවට සමහර නිපැයුම් තියෙනවා මේ ලෝකේ වැඩක් නැති. වෙළඳාම කරන්න ඕන, ඒත් කරුමෙට කරන්නේම පරිසරයේ ගතික සමතුලිතතාවය කඩල, ඕනම අසාධාරණ ලාභයක් සඳහා ණය ගැනුම් වලට පොළඹවල, ගිනි පොළී, අතපසුවීම් වලින් මඩිය තර කර ගන්න. ප්‍රචාරණයත් ඕන, අවාසනාවකට ඒක කරන්නෙත් ඒ ඒ සමාජයේ මූලික සංස්කෘතික පදනම හෑල්ලුවට ලක් කරල. පරිභෝජනය කරන්න ඕන, ඒ කරන්නෙත් තමන්ගේ ලොකුකම ප්‍රදර්ශනය කරන්න, එහෙම කරද්දි වියදම ඉහල යන්නේ ආදායම පහු කර ගෙන. ඔය වෙලාවට ණය ‘අතිජාත ගැලවුම්කරුව’ වෙනව.

අද අපි භාණ්ඩ, සේවා ලබා ගන්නේ තරඟකාරි මානසිකත්වයකින්; අරහෙ යන්නත් ඕන, මෙහෙ යන්නත් ඕන. අරකත් ඕන මේකත් ඕන. එයාට අරහෙම පුළුවන් නං, මට මොකෝ මෙහෙම බැරි කියා හිතන්න පොළඹවන, අනිකව අභිබවා ඔහේ හඹා යාමක අපව පටලවල. ණයට අරන් හරි කාලා, බීලා, ජොලි කරන එකයි එකම දිවි-අරමුණ. ණය ගැනිම අද සාමාන්‍ය දෙයක් කරලා. ණය වෙලා හොලිඩේ එකක්, ක්රූස් චාරිකාවක් අවුරුද්දකට වතාවක් දෙවතාවක් නොගියොත් වස ලැජ්ජාව. සමහර බැංකු, ණය ප්‍රවර්ධනය කරන්නේ තරු-හෝටල-හොලිඩේ පෙන්නලා, අන්තිමට දවල් තරු පේන්නේ ඒ ණය ගෙවා ගන්න බැරිව කට්ට කන කොට.

මුලින්, ඊනියා ග්ලෝබල් විලේජ් සංකල්පය ආව ලෙවල් ෆීල්ඩ් එකක් වාගේ සරසල, ඒ අස්සේ තිබ්බේ අර සංවර්ධනය වෙමින් පවතින රටවල් හා සංවර්ධිත රටවල්. දැන් ඒක ග්ලෝබල් සවුත් සහ ග්ලෝබල් නොර්ත් වෙලා. එහෙම ඇහෙන කොට නිකන් හුරුබුහුටි කමකුත් දැනෙනවා. ග්ලෝබල් සවුත් වල එදා ඉඳලම හිටියේ වහල්ලු, ග්ලෝබල් නොර්ත් වලට කඹුරන. නොම්මර එකේ වහලෙක් කරන්නයි ඔය ණය පහසුකම් ලැබෙන්නෙ. ග්ලෝබල් නොර්ත් එකට කාසි තියෙනවා, එදත් තිබ්බ, අදත් තියෙනවා, ඔවුන් ප්‍රශ්න මවන්නත් ඒවා කළමනාකරණයේත් ලා සූරයෝ. එදත් හූරගෙන ආව, අදත් වක්‍රව හූරන්නේ දකුණෙන්. අපෙන් ගත්තුවම අනිත් අතෙන් අපටම ආපහු දෙනවා ගිනි පොළියට. දකුණ සැදී පැහැදි ඉන්නේ ‘එහෙමයි ස’ කියන්න. ‘එහෙම නෙවෙයි බං’ කියන්න ලෙවල් ෆීල්ඩ් එකක් මේ සම්මජාතියේ ඇති වෙන්නේ නෑ, කොවිඩ් -19 වසංගතය ඒ බව සනාථ කලා. තව ටික දවසකින් ඒ බව තවත් හොඳට සනාථ වේවි.

ජමුලෙ, ලෝක බැංකුව,ආස බැංකුව (ආසියානු සංවර්ධන) අර ඒ කාලේ කඩේ මුදලාලිගෙ මේස උඩ පේලියට හිටිය බෝතල් ඇතුලෙ තිබුණ පාට පාට හූනු බිජු, නාරං බික්, බුල්ටෝ වගේ. අධික සීනි; දත් නරක් කරවනවා, තරබාරු කරවනවා ඒ ඔස්සේ ලෙඩ-ගෝණි හදවනවා. මේ වෙන කොට මුදලාලි පේන්න නෑ, තිර රෙද්දක් දාල. අපි ලවක් දෙවක් නැතුව රැවටෙන්නේ බාහිර ඔපේට. දැන් පටන් ගන්නෙම සහනදායි ක්‍රමයට කියලා. ගත්තු ණය කපා හරින්නෙත්, ඒ ඒ ණය පැකේජ් එක මොකක්ද කියල තීරණය කරන්නෙත් දකුණේ වහල් බවේ තරාතිරම, භූගෝල පිහිටීම, තම සුළඟිල්ලේ තියා නටවන්න ඇති පහසුව අනුව. කොන්දේසි දාන්නෙත්, රෙකමදාරු කරන්නෙත්, මිණුම් දඬු හදන්නෙත් නොර්ත් එක. කල් යල් බලා යුද්ධය ඕන නං යුද්ධෙත්, සාමය ඕන නං සාමෙත් ලෝකෙට සපයන එකම බලාධිකාරය තියෙන්නේ නොර්ත් එකට. සවුත් එකට බඩුම තමයි.

අය-වැය අසමතුලිතතාවය නැති කරන්න, මේ සරුව පිත්තල ජීවන රටාවෙ ගිලෙන්න උල්පන්දම් දෙන ඔය ණය කෙරුවාවෙන් කවදාවත් බෑ, දිගින් දිගටම යන්නේ අන්ත ප්‍රපාතෙට. වාසනාවකට ඒ පරතරය අඩු කරන්න දේශීයත්වයට මුල් තැන දුන්නු එකම මුදල් ඇමතිවරය හිටියේ ලංකාවේ. ආචාර්ය ඇන්. ඇම් පෙරේරා ෆුල් සුට් එක ඇඳගෙන හරි, ණය-තොණ්ඩුවෙන් බෙල්ල හිර කර ගත්තේ නෑ. ඊට කලින් හා පස්සේ ආව හැම මුදල් ඇමතියෙක්ම හරි කැමැත්තෙන් බෙල්ලේ ණය-තොණ්ඩුව දා ගෙන.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress