ජාත්‍යන්තර කාන්තා දින සැමරුමක් හැටන්-අප්කට් හි දී.
Posted on March 22nd, 2022

-ප්‍රොටෙක්ට් සංගමය-

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ප්‍රොටෙක්ට් සංගමය සහ ‘හා(ර්)ට් සංවිධානය එක්ව සංවිධානය කරන ලද කාන්තා දින සැමරුම් වැඩසටහනක් සහ පාගමනක් පසුගිය දා (20 දා) හැටන් අප්කට් ප්‍රදේශයේ දී පැවැත්විණි. පාගමන අප්කට්, බාග්‍රෝ ඇසෙම්බ්ලි ඔෆ් ගෝඩ් දේවස්ථානය අසලින් ආරම්භ වූ අතර එය හැටන් මස්කෙලිය මාර්ගය ඔස්සේ දිනේෂ් උත්සව ශාලාව වෙත පැමිණියේය. පාගමන සඳහා හාරසියයක පමණ පිරිසක් සහභාගි වී සිටියහ.

මෙම පාගමනට සහ කාන්තා දින සැමරුම් වැඩසටහන සඳහා ගෘහස්ථ ශ්‍රමිකයන්, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නිවාසවල නේවාසිකව සේවයෙහි නියුතු ගෘහස්ථ ශ්‍රමිකයන්ගේ පවුල්වල පිරිස්, සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයන්, සාප්පු සංකීර්ණවල සේවයෙහි නියුතු අවිධිමත් අංශයේ කම්කරුවන් ඇතුළු අවිධිමත් අංශය නියෝජනය කරන කම්කරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන් ම පෙරපාසල් ගුරුවරියන් ද සහභාගි වී සිටියහ. ඊට අමතරව ප්‍රොටෙක්ට් සංගමයේ මව් ශාඛාවේත්, හැටන් සහ ලක්ෂපාන යන ශාඛාවල සාමාජිකයන් වන ගෘහස්ථ ශ්‍රමිකයන් පිරිසක් ද මෙම වැඩසටහන සඳහා සහභාගි වී සිටියේ ය.

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ මූලික තේමාවන් දෙක වූ “පක්ෂග්‍රාහිත්වය බිඳ දමමු ! ” සහ ” තිරසාර හෙටක් සඳහා අද ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනුවෙන් නැගී සිටිමු ! ” යන තේමාවන් මුල් කොටගනිමින් මෙම වැඩසටහන පැවැත් වූ අතර, වතුකරයේ කාන්තාවන් මුහුණදෙන ගැටලු සහ මින් ඉදිරියට එම ගැටලුවලින් මිදීමට ඔවුන් විසින් ගත යුතු ක්‍රියා මාර්ග සහ ඒ සඳහා සංවිධානය වීමේ වැදගත්කම පිළිබඳ මෙහි දී සාච්ඡා කෙරුණි. ඒ අතරම සමස්තයක් ලෙස අවිධිමත් අංශය නියෝජනය කෙරෙන සියලු ම කම්කරුවන් සංවිධානය වීමේ වැදගත්කම මෙම වැඩසටනේ දී සාකච්ඡාවට බඳුන් විය.

මේ සඳහා හා(ර්)ට් සංවිධානයේ සභාපති එස්. පී මෝහන් මහතා, නීතීඥ හර්ෂන් කුමාර් මහතා, මස්කෙලිය පොලීසිය නියෝජනය කරමින් එහි පොලිස් නිලධාරිනී නිර්මලා මහත්මිය, රෙඩෝ සංවිධානයේ සභාපති පද්මිණී මහත්මිය, ග්‍රාම නිලධාරිනී ප්‍රදීපා මහත්මිය හා මලර් මහත්මියත්, ඒ.මෝහන් රාජ් හා සොගී උස්මාන් යන මහත්වරුන් හා විමෙන්ස් හෝප් සංවිධානය නියෝජනය කරමින් ලලිතා පත්මිනී මහත්මිය සහභාගි වී සිටියහ.

-ප්‍රොටෙක්ට් සංගමය-

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress