අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලියේ ජයලැබූවන්ට අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් සම්මාන
Posted on March 24th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලිය – 2021” සම්මාන ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (23) පස්වරුවේ පැවැත්විණි.

රාජ්‍ය ආයතන සේවකයන්ගේ නිර්මාණ හැකියාවන් ඔප් නැංවීම,ඇගයීම සහ එම නිර්මාණ එළි දැක්වීමට අවස්ථාවක් උදාකිරීම හා එමගින් රාජ්‍ය ආයතනවල සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් විෂයභාර අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරන ලදි.

සිංහල හා දෙමළ භාෂා මාධ්‍යවලින් ළමා කතා, පද්‍ය රචනා, ගීත රචනා, චිත්‍ර, කෙටිකතා, කෙටි චිත්‍රපට, ඡායාරූප සහ කෙටි නාට්‍ය යන අංශ ගණනාවක් යටතේ මෙම තරගාවලිය සඳහා දිවයිනපුරා සේවයේ නිරත රාජ්‍ය සේවකයින්ගෙන් නිර්මාණ ඉදිරිපත් වී තිබිණි. ඒ අතරින් තෝරාගත් සියලුම ජයග්‍රාහී නිර්මාණ සඳහා මෙහි දී සම්මාන ප්‍රදානය සිදුවිය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා විසින් අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලියේ සිංහල ජයග්‍රාහී නිර්මාණ එකතුව ප්‍රභාස්වර” සහ දෙමළ ජයග්‍රාහී නිර්මාණ එකතුවත්, සිංහල හා දෙමළ ජයග්‍රාහී ළමා ග්‍රන්ථ ද්විත්වයත් අග්‍රාමාත්‍යතුමාට මෙහි දී පිළිගන්වන ලදි.

සිංහල හා දෙමළ කෙටි නාට්‍ය සම්මාන ප්‍රදානයට අදාළව විශිෂ්ටතම නාට්‍ය,හොඳම නළුවා සහ හොඳම නිලිය ඇතුළු සම්මාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් මෙහි දී ප්‍රදානය කෙරිණි.

අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලි – 2021” සඳහා විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ට ද මෙවර අවස්ථාවක් හිමිව තිබූ අතර තරගාවලියට එක්වූ විශ්‍රාමික රාජ්‍ය සේවකයෝ මෙහිදී අග්‍රාමාත්‍යතුමාට සිය ස්තුතිය පුද කළහ.

ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්වරු ඇතුළු  කලාකරුවන් සහ රාජ්‍ය නිලධාරීහු රැසක් මෙම සම්මාන ප්‍රදානෝත්සවයට එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress