අමාරු කාලයක් වුවද, ජනතාවගේ ප්‍රශ්න දිහා බලලා සහනයක් ලබාදෙන වැඩපිළිවෙලකට යනවා-  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on March 27th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අපට අමාරු කාලයක් තියෙන්නෙ, ඒ අමාරු කාලය පිළිගන්න ඕන. හැබැයි ජනතාවගේ ප්‍රශ්න දිහා බලලා සහනයක් ලබාදෙන වැඩපිළිවෙලකට යනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ දේශපාලන දිවියට වසර 20 පිරීම නිමිත්තෙන් බත්තරමුල්ලේ පැවති උපහාර පිදීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  ඊයේ (26) පස්වරුවේ මේ බව සඳහන් කළේය.

මෙම අවස්ථාවට රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය වලේබොඩ ගුණසිරි අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද වැඩම කළහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ දේශපාලන දිවියට වසර 20 පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේ අග්‍රාමාත්‍යතුමා කළ කතාව මෙසේය.

අවුරුදු 20 දේශපාලනය ජනතාවත් එක්ක ඉදගෙන දේශපාලනය කරල මේවගේ තත්ත්වයකට එන්න පුළුවන් වීම ගැන ජගත්ට  අපි සුභ පතනවා.

මොකද ජගත් එකපැත්තකින් මේ ප්‍රදේශයට නායකත්වය දුන්න වගේම මුළු ලංකාවෙම  සමෘද්ධි ව්‍යාපාරිකයන් වෙත නායකත්වය දෙන්නත් ඔහුට ශක්තිය තිබුණා.ඒ නිසා අපි ඔහුව හඳුන ගත්තේ එක ප්‍රදේශයක නායකයෙන් වශයෙන් නෙමෙයි. රටේම වැඩිදෙනෙකුට නායකත්වය දෙන නායකයෙක් වශයෙන්.

එතුමා හැම වෙලාවෙම  ජනතාවාදීව හිතුවා. ජනතාවගේ පැත්තේ තියෙන ප්‍රශ්න ඔහු පාර්ලිමේන්තුවේ කතා කලාට කණ්ඩායමේ හිටියා.  ඔහු දන්නවා කණ්ඩායමේදී කතා කළයුත්තේ මොනවාද පක්ෂ නායකයින් ඉදිරියේ කතා කළයුත්තේ මොනවාද ඒ වගේම  ප්‍රසිද්ධ වේදිකාවේ කතා කළයුත්තේ මොනවාද, නොකළ යුත්තේ මොනවාද කියන එක පිළිබදව අවබෝධයකින් යුක්තව කටයුතු කළා.  සමහරු දේශපාලනික වශයෙන් තමන්ගේ ජනතාවගේ ප්‍රශ්න දිහා බලල කටයුතු කරන්න අපොහොසත්.

ඔවුන්ට විවේචනය කරන්න පුළුවන්. හැම කටයුත්තම විවේචනය කිරීමේ  හැකියාව ඔවුන්ට තියෙනවා.  ඔවුන්ට වගකීමක් භාරදුන්නම ඒ වගකීම කරන්න පුළුවන්කමක් නැති බව ඉතිහාසයේ පෙන්නල තියෙනවා.

ඒ නිසා අපිට අමාරු කාලයක් තියෙන්නේ. ඒ අමාරු කාලය පිළිගන්න ඕනේ. හැබැයි ජනතාවට දෙන වරප්‍රසාද ඒ නිසා අඩුකරන්න පුළුවන්කමක් නැහැ. ඒවා අපි ලබාදිය යුතුව තිබෙනවා. ඔබට ලැබිය යුතු සියළු දේ ලබාදෙනවා. අපිට හැකි හැම දෙයක්ම ලබාදෙන්න රජයක් වශයෙන් අපි ඊට බැඳිලා ඉන්නවයි කියන එක මම මේ අවස්ථාවේදී කියනවා.

එනිසා සහෝදරවරුනි,

අද අපිට ආණ්ඩුවක් වශයෙන් ජනතාවගේ  ප්‍රශ්න, ඒ තියෙන ප්‍රශ්න ගැන අවබෝධයක් ඇතිව ඒ අයට සහනයක් ලබාදීමේ වැඩ පිළිවෙලකට යන්න   කටයුතු කරනවයි කියන එක මේ අවස්ථාවේදී මතක් කළ යුතුව තියෙනවා යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු ,පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී  ප්‍රේමනාත් සී දොලවත්ත,කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් ඇතුළු මහජන නියෝජිතයෝ සහ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා ඇතුළු  පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress