නව පළාත් පාලන ඡන්ද යෝජනාව  -ලොකු පක්ෂයකට බත්-කොස් දෙකම බෙදා, කාන්තා නියෝජනය නැති කරනවා
Posted on March 27th, 2022

රජිත් කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය 

යෝජිත පලාත් පාලන ඡන්ද ක්‍රමය ලොකු පක්ෂයක් ‘බත් කොස් දෙකම බෙදා ගන්නා අතර, සෙසු කුඩා පක්ෂවලට කැඳත් නැති කරයි.  ලංකාවේ ඡන්ද ක්‍රමයට පදනම් වී ඇති ‘එක් ඡන්දයක් – එකම වටිනාකමක්‘ සංකල්පයට පිටින් ‘ලොකු අයට ලොකු කුට්ටිය‘  බෙදන ක්‍රමය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන බව  ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකොන් පවසයි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හරහා යෝජිත නව ඡන්ද ක්‍රමය මගින් පලාත් ආණ්ඩුකරණයට සිදුවන කිසිදු  යහපතක් නැති නමුත්, ලියාපදිංචි දේශපාලන පක්ෂ බහුතරයක් මැතිවරණ සිතියමෙන් අතුගා දමනු ඇත.  

නව ඡන්ද ක්‍රමය මොකටද?

යෝජිත ක්‍රමයේ අංග 2 කි. 

1.      ඕවර් හැන්ග් සභික සංඛ්‍යාව අහෝසි කිරීම 

2.      ජයග්‍රාහී පක්ෂයට, සභික සංඛ්‍යාව 20 ට අඩු ආයතනවලට බෝනස් අසුනක් ද, සභික සංඛ්‍යාව 20 ට වැඩි ආයතන සඳහා බෝනස් අසුන් දෙකක් ද,  ලබාදී වැඩිම ඡන්ද ගන්නා පක්ෂයට සභාවේ බහුතර සභික සංඛ්‍යාව ලබාදීම

ප්‍රශ්ණය කුමක්ද?  තර්කය සාධාරණ ද?

1969 දක්වා පැවති ගම් සභා ක්‍රමය තුල ලංකාවේ පලාත් පාලන සභිකයින් 9000 ක් වූ අතර අද එම සංඛ්‍යාව 8711 දක්වා පහත වැටී ඇත.  රටේ ජනගහනය මිලියන 8 කින් වැඩිවී ඇත. පළාත් පාලනයේ සභික සංඛ්‍යාව වැඩි බවට වන තර්කයට පදනමක් නැත.

ඕවර් හැන්ග් සභික සංඛ්‍යාව මගින් සිදු කරන්නේ, කෙට්ඨාශ ජයගත් සභිකයින්ට අනිවාර්යයෙන්ම අසුන් ලබාදීම සහ එයින් පරාජිත පක්ෂවලට අවාසියක් නොවන සේ තුලනය කිරීමය. එය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ බහු වාර්ගික, බහු ආගමික, බහු සමාජීය, විචිත්‍රත්වය ඇතිකරන්නේය.  උදාහරණයක් ලෙස වැදි ජනතාව, වාකරේ, වෙරුගල් වැනි මහා සමාජයෙන් ඇතහැරී ඇති කණ්ඩායම් සඳහා නියෝජනයක් ලැබුනේ මේ ක්‍රමය නිසාය. වත්තට, ගමට ගමේ මිනිහෙක් මන්ත්‍රී ලෙස ලැබුණේ මේ නිසාය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වැරදි ප්‍රශ්නයකට, නිවැරදි උත්තරයක් සොයන්නට උත්සහ කර ඇත. මන්ද, යෝජිත ක්‍රමයෙන් ඉවත් වන උපරිම සභික සංඛ්‍යාව 385 කි.   

තේරීම් කාරක සභාවේ තාක්ෂණික කමිටුව

මැතිවරණ ක්‍රියාවලිය අතිශයින් සංකීර්ණ තාක්ෂණික විෂයකි.  පක්ෂ නායකයින්ට මැතිවරණ ක්‍රමය සැකසීමට තාක්ෂණික කමිටුවක් පත් කර ඇත. නමුත්, එම කමිටුව 2021 ඔක්තෝබර් මාසයෙන් පසුව ඔන් ලයින් ක්‍රමයට හෝ රැස්වී නැත. අවම වශයෙන් අතුරු කමිටු වාර්තාවට ඔවුන්ගේ දායකත්වය තබා නිරීක්ෂණ හෝ ලබා ගෙන නැත.

කමිටු යෝජනා මගින් ඇතිකරන පලාත් පාලන ආයතනයකට ඇති කරන බලපෑම

ඕවර් හැන්ග් නැති කිරීම හා බෝනස් සභික ධූර ලබාදීම තුලින්, ජයග්‍රාහී පක්ෂයට තමන් ලැබූ ජන්ද ප්‍රමාණයට වඩා වැඩි මන්ත්‍රී ධූර ගණනක් සභාවේ ලැබේ.   උදාහරණයක් ලෙස, සභාවක 35% ක් පමණ ඡන්ද ලබන පක්ෂයට විරුද්ධව 65% ක් පක්ෂ කිහිපයකට ඡන්දය දී ඇති විට, ජයගත් පක්ෂයට වැඩි සභික සංඛ්‍යාවක් විපක්ෂයේ සෙසු පක්ෂවලට ලැබේ.   නව ක්‍රමයෙන් ජයග්‍රාහී පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය කුමක් වුවත්, සභාවේ මන්ත්‍රී බහුතරය සභාපතිවරයාට ලැබේ. සරළවම, වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් අඩක් ලබා ගත නොහැකි පක්ෂවලට බෝනස් ‘බූස්ටරයක්‘ ලැබේ. සෙසු පක්ෂ බලය බිඳේ.  

2018 ඡන්දයේ ප්‍රතිඑලය සහ යෝජිත ක්‍රමය

පොදු ජන පෙරමුණට සභික ධූර 3454 ක්, එජාපයට 2441 ක්, ශ්‍රීලනිප 1051, ජවිපෙ ට 437 ක්, වෙනත් පක්ෂවලට 1367 ක් සභික ධූර ලැබී ඇත.  2018 ප්‍රතිඑලය යෝජිත නව ක්‍රමයට ගණනය කරන්නේ නම් එජාපයට  සභික ධූර 165ක් ද, එජනිස ට 70 ක් ද, ජවිපෙට 38 ක් ද, එජනිස ට 25 ක් පමණ ද, පොදුජන පෙරමුණට ආසන 15 ක් පමණ ද අහිමි වන්නේය.  ජවිපෙට වත්මන් සභික සංඛ්‍යාවෙන් 9% ක්, එජාපය සහ එජනිස ට 7 % ක් අහිමි වන්නේය.  නමුත්, බහුතර ආසන දිනු පොහොට්ටුවට අහිමි වන්නේ ආසන 0.8% කි.

නව ක්‍රමය ලබා දෙන ප්‍රතිඑලය  

1.      ජයග්‍රාහකයාට බෝනස් අසුන් නිසා 35% ක ඡන්ද ප්‍රමාණයකට 50% ඉක්මවන සභික සංඛ්‍යාවක් ලැබේ.  

2.      දෙවන ස්ථානයට ලබා ගන්නා පක්ෂයට ධූර (එකක් දෙකක්) අඩුවේ  

3.      තෙවන, සිව්වන ස්ථානවලට පත්වන පක්ෂ/ස්වාධීන කණ්ඩායම් සභික ධූර අඩුවීම හෝ නැත්තටම නැතිවේ

4.      පස්වන ස්ථානය සභික ධූර නොලැබීමට ඉඩ ඇත  

යෝජිත නව ක්‍රමය මගින් පලාත් පාලන ආයතනවල අවසන් ප්‍රතිඑලය කොතරම් විෂම ලෙස විකෘති කරන්නේ ද යන්න ඒ අනුව වැටහෙනු ඇත. 

ස්වාධීන කණ්ඩායම් සහා කුඩා පක්ෂ 2018 දී සභික ධූර 1300 කට වැඩා දිනා ඇත.  පක්ෂ අතර තියුණු තරඟයක් ඇති වන්නේ නම්, එයින් වැඩිම අවාසිය මේ පක්ෂවලට සිදුවනු ඇත. ජයග්‍රාහක පක්ෂයට බත් ඇති තැනට කොසුත් බෙදන, දෙවන හා එයට පසු ස්ථානවලට කැඳත් නැති කරන්නේය.

උතුරු පලාතේ ද්‍රවිඩ ජාතික සන්ධානයට තනි දේශපාලන අධිකාරයක් බිහිවන්නේය.  උතුරු නැගෙනහිර ද්‍රවිඩ, මුස්ලිම්, සිංහල සුළුතරයට තම සභාවල නියෝජනය අවම හෝ අහෝසිවී යාම සිදුවන්නේය.

දැන් පලාත් පාලන ආයතනයන් කාන්තාවන් 2002 ක් (එනම් 23%)  සභික ධූර දරති. මෙම ප්‍රමාණය 16% දක්වා පහත වැටෙන්නේය. දැනටමත් කාන්තා නියෝජනය 20% ක් වත් නොමැති ස්ථාවල කාන්තා නියෝජනය 10% ක් ලැබීම ද ස්ථීර නැත.  කාන්තා නියෝජනය ගැන කතාකරන සිවිල් සංවිධාන මේ ගැන තවමත් උනන්දුවක් නොදැක්වීම පුදුම සහගතය.  

නව ඡන්ද ක්‍රමය පැහැදිලි ලෙසම වත්මන් ආණ්ඩු පක්ෂයට වාසි සහගතය. නමුත්, ඉදිරි ඡන්දයක දී පරාජයට පත්වන්නේ නම්, වත්මන් පිරිමි සභිකයින්ට ලැයිස්තුවෙන් හෝ පත්වීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැත.

කොට්ඨාශ ජන සංයුතිය සහ ඡන්ද බෙදීයාමේ ඓතිහාසික රටාවක් සැලකීමේ දී නව ක්‍රමය තුල සජබ/එජාප සන්ධානයකට නව ක්‍රමයෙන් පැහැදිලි අවාසියක් සිදුවන්නේය.  සජබ හා එජාපය වෙන්ව තරඟ කරන්නේ නම් සහ හවුල්කාර පක්ෂයක් ස්වාධීන කණ්ඩායමක් හෝ ඉදිරිපත් කරන්නේ නම්, සජබට කොට්ඨාශ දිනාගැනීම අතිශයින් දුෂ්කර වනු ඇත.  

සභික සංඛ්‍යාව පහත වැටීමේ රටාව අනුව එජනිස හා ජවිපෙ (තෙවන හා සිව්වන තැනට පත්වනවිට) ලැබෙන ඡන්ද සංඛ්‍යාවට සභික සංඛ්‍යා ලැබෙන්නේ නැත.

උතුරේ දී නව ඡන්ද ක්‍රමය ද්‍රවිඩ ජාතික සන්ධානයට අතිශයින්ම වාසිදායකය.  නැගෙනහිර දී ද්‍රවිඩ සන්ධානයට එය අවාසියක් අවන්නේය.  ප්‍රාදේශීය ද්‍රවිඩ කණ්ඩායම් (උදා – කරුණා හෝ පිල්ලෙයාන්), ප්‍රා දේශීය මුස්ලිම් කණ්ඩායම් (උදා- සයින්දමරදු හා අක්කරේපත්තු හි මුස්ලිම් කොන්ග්‍රසය) ට සභික ධූර ලැබීම අතිශයින් දුෂ්කර වනු ඇත.

හිට්ලර් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළේ ‘බුලට් එකෙනි.  පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත ඉදිරිපත් වී ඇති නව ඡන්ද ක්‍රමය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදෙය ඡන්දයෙන් හෙවත් බැලට් එකෙන් විනාශ කරනු ඇත.

රජිත් කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress