බයිඩන් සහ Nato ද මෙයට වග කිව යුතුයි
Posted on April 7th, 2022

චානක බණ්ඩාරගේ

‘ඉවසලා ඉවසලා බැරිම තැන එතනයි ඉවසිය යුතුම තැන’ – සිංහල වහරේ එන මෙම කදිම උවදෙස පුටින් නොදැන සිටියා විය හැකියි. නැත්නම්, 24 පෙබරවාරි 2022 දා යුක්රේනයට විරුද්ධව යුධ ප්‍රකාශ කිරීමට තරම් ඔහු අමන නොවනු ඇත.

තමන්ට දිනන්න බැරි යුද්ධයකට ප්‍රවේශ වන්නේ මෝඩයෙකි. 

සාමාන්‍යයෙන් දක්ෂයෙක් වන පුටින් මේ අවස්ථාවේ ඉතා මෝඩ තීරණයක් ගත්තේය. පුටින්ට හරි දේ කියා දෙන්න උපදේශකවරයෙක් සිටියේ නැත. ‘උඩින්ම ඉන්න නායකයා හැමදාම තනියි’ යන පඬි වදනක් ඇත.

1962 නේරු මෝඩයෙක් ලෙස චීනයට විරුද්ධව යුධ ප්‍රකාශ කර අන්ත පරාජයක් අත් පත් කර ගත්තේය. එම යුද්ධයෙන් ඉන්දියානු භටයන් 1500 නිකරුනේ මිය ගිය අතර චීන භටයන් මිය ගියේ 700 ක් පමණ පමණි. 1965දි පකිස්ථානයේ අයුබ් ඛාන් ඉන්දියාවට විරුද්ධව යුධ ප්‍රකාශ කර ඉන්දියාවෙන් හොඳටම හොඳටම ‘ඉල්ලං කෑවේය’.  ඔහුගේ භටයන් 6000 මැරෙන විට ඉන්දියාවේ මරුනේ භටයන් 3000ට අඩු ගණනකි.

පුටින් වසර 8ක් ඉවසුවේය. රුසියාවේ යුක්රේන දේශ සීමාවේ දස දහස් ගණන්  යුධ භටයෝ ගොඩ ගසා මහා යුධ ප්‍රාකාර සැදීය.  ඒවා හරි වැඩය.

නමුත් (දිනන්න බැරි) යුද්ධයක් පටන් ගැනීමෙන් තමන්ගේ වල තමන් කපා නොගන්නේදැයි යන්න වටහා ගැනීමට තරම් පුටින්  ඥානවන්ත නොවීය.

(ඇමරිකාව වියට්නාමයෙන් පරාජය ලැබිය; රුසියාව ඇෆ්ගනිස්තානයේදී පරාජය විය. ඉන්දියාව – IPKF, LTTE අතින් හොඳටම බැට කෑවේය).

2021 බෙලාරුස්හි මහජන විප්ලවය මැඬලන්න පුටින් ඍජුව මැදිහත්ව වැඩ කළේය. දැන් ල්හුකෂෙන්කෝ ඉතා ශක්තිමත්ය. ඔහුව වට්ටන්න බැරිය. ඒ රුසියාවේ ආධාර ලැබෙන නිසාය. එදා 2014 පෙබරවාරි මස පුටින් හිතවාදී යුක්රේනයේ යනුකොවිච්ට විරුද්ධව මිනිසුන් කැරළි ගසන විට පුටින් නිහඬව බලා සිටියේය. ඒ කාලයේම පැවතී මොස්කව් winter olympics උළෙල ආරක්ෂා කර ගැනීම ඔහුට වඩා වැදගත් වූ වා සේය. එදා ඔහු යුක්රේන විප්ලවය අකර්මන්‍ය කරන්න කටයුතු කළා නම් බටහිර රටවල් එම olympic උළෙල වර්ජනය කර ආපසු ගෙදර යනු ඇත. පුටින්ට මේ දේ සිදු නොවීමට අවශ්‍ය විය.

පසුව පුටින් ගොස් ක්‍රයිමියාව අල්ලා ගත්තේය. නමුත් මුළු යුක්රේනයම නැති කරගත්තේය. බලෙන්ම ජාත්‍යාන්තර සම්භාධක දා ගත්තේය.

එදා 2014දී යුක්රේනයේ තමන්ට හිතැති පාලනය රැක ගනිමට පුටින් ඉදිරිපත් නොවීම පුටින්ගේ බලවත් දුර්වල කමක් ලෙසයි මෙම ලියුම්කරු දකින්නේ. (මේ හා සමානව – 2013 CHOGM මඟුලක් පැවැත්වීමේ ඉමහත් ආශාවෙන් පසු වූ අපේ රජය ඒ අවස්ථාවේ (2012, 2013) ජනමත විචාරණයක් පවත්වා 13 ව්‍යවස්ථා සංශෝධනය අහෝසී කර බෙදුම්වාදී සංකල්පයට මරු පහරක් ගැසීමේ අවස්ථාව උවමනාවෙන්ම නැති කර ගත්තේය. පොදු රාජ්‍ය මණ්ඩලයේ පියා – බ්‍රිතාන්‍ය තරහ වේ යයි රජය බිය විය. විග්නේස්වරන් යන උග්‍ර  ජාතිවාදියා/බෙදුම්වාදියා උතුරේ තැබීමට යන ප්‍රථම පළාත් සභා මැතිවරණයට මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙන බව දැනුම් දුන්නේ 2012 මුල පමණය; ඔහු බොරු කියා 80%කට එහා ජන්ද ප්‍රමාණයක් ගන්නා බවද සැවොම දැන සිටි කරුණකි. මේ පළාත් සභා යම් දිනක මේ රට දෙකට කඩනු නිසැකය.

1987දී  ඉන්දියාව ශ්‍රී ලංකාව මත බලහත්කාරයෙන් පැටවූ පළාත් සභා ක්‍රමය ඉන්දියාව වැනි විශාල රටකට ඔබින නමුත් ශ්‍රී ලංකාවට උසුලාගත නොහැකි අමතර බරක් බව සිංහල ජනතාව පමණක් නොව ද්‍රවිඩ කථා කරන සාධාරණ ජනතාවද පිළිගන්නා සත්‍යයකි. ලක්ෂ 5ට අඩු ජන්දදායකයන් වෙසෙන වයඹ, සබරගමුවට, ඌවට වෙනම ආණ්ඩු, වෙනම නීති? මේ පළාත් සභා නඩත්තුවට  මොනතරම් අනවශ්‍ය බදු බරක් මෙරට වාසින් දරන්නේද?  රටේ උද්ධමනය අහස උසට ඉහල යාම අරුමයක් නොවේ).

පුටින් කල යුතුව තිබුනේ ජර්මනිය, හංගේරියාව, පෝලන්තය වැනි තම මිත්‍ර රටවල් මාර්ගයෙන් කෙසේ හෝ යුක්රේන ප්‍රශ්නය විසඳා ගැනීමය. එය කළ හැකිව තිබුණි. ප්‍රංශයේ මැක්රෝන්ද යම් තරමකට පුටින් හිතවාදීව සිටියේය.

ඔබාමා ක්‍රයිමියා සිද්ධිය සම්බන්ධයෙන් පුටින්ට විරුද්ධව සම්භාධක දැම්මත්, ට්‍රම්ප් පුටින්ට  හොඳින් සැලකීය. ට්‍රම්ප්ගේ වසර 4 කාලය තුල පුටින් ඉතා දක්ෂ ලෙස තම රට පාලනය කර එය යලි ධනවත් රටක් බවට පත් කර ගත්තේය. ඉතා බලගතු ලෝක නායකයෙකු ලෙස ඔහු මතුවෙන්න පටන් ගති.  2020 දී බලයට පෑමිණි බයිඩ්න් තුල රුසියාව, පුටින් ගැන ඇත්තේ වෙනත් ආකල්පයකි. ඔහු රුසියාව දෙස පැරණි යැංකි/ගතානුගතික මානසිකත්වයෙන් බලයි. රුසියාව ගැන බයිඩන් තුල ඇත්තේ රේගන් තුල වූ වැනි ‘එය විනාශ කර දැමිය යුතුය’ වැනි මානසිකත්වයකි.

බයිඩන්ට අවශ්‍ය වුයේ හැකිතරම් පුටින්ව ‘කළු ගල් තාප්පයට’ හිර කිරීමටය. Nato වෙත ඇමරිකන් ආධාර ගලා එව්වේය. Natoවට උපදෙස් දුන්නේ යුක්රේනය Natoවට බඳවා ගන්නා මං සොයා බලන ලෙසයි. යුක්රේනය යුරෝපා සංගමයට බඳවා ගන්නා ලෙසට බයිඩන් යටින් කටයුතු කළේය. තමාව සැමදා බලාගත්  සැමියාව හැරදමා, ඔහුට  පෙනී පෙනී වෙනත් මිනිසුන් සමඟ අනාචාරයේ යන  බිරිඳක් මෙන්, 2014න් පසු යුක්රේන නායකයෝ රුසියාව හැර දමා යුරෝපා හවුල, Nato වෙතම යොමු වුහ. 1917දි බිහිවූ යුක්රේන ළදරුවා කිරිපොවා ලොකු මහත් කර ඉමහත් ආදරයෙන් බලා හදා ගත්තේ සෝවියට් දේශයයි (1991 වන තෙක්). ඉන්පසු 2014 වන තෙක් රුසියාවයි.  

යුක්රේනයේ ඊසාන කොටසේ වෙසෙන රුසියන් කථා කරන ජනයා වෙසෙන ඩොන්බාස් ප්‍රදේශයට (ඩොනෙස්ක්  සහ ලුහාන්ස්ක් ප්‍රාන්ත) කුඩම්මාගේ සංග්‍රහයට  2014න් පසු ආ යුක්රේන රජයන් නිරන්තරයෙන් ලක් කරවිය. මෙම අවුරුදු 8 තුල මෙම ප්‍රදේශ තුල රුසියන් කථා කරන යුක්රේන වැසියන් 14,000ට වඩා සිවිල් යුද්ධය නිසා මරුමුවට පත් විය.

බයිඩන් සහ Nato දැන දැන රුසියාව ප්‍රකෝප කළහ. පුටින්ට යුද්ධය ආරම්භ කිරීමට උවමනාවක් තිබුනේ නැත.  හමුදාව ගොඩ ගැසුවා පමණි. නමුත් ‘රුසියාව අද ගහයි, හෙට ගහයි’ යයි පවසින් රාජ්‍ය දෙපාර්තමේන්තුව හැකි තරම් රුසියාව උසි ගැන්වීය.

ලෝක නායකයෙකු වශයෙන් බයිඩන් මේ දේ නොකළ යුතුව තිබුණි. ඔහු මීට වඩා වගකීමේන් කටයුතු කල යුතුව තිබුණි. බයිඩන් පුටින්ට සැලකුවේ 2වෙනි පන්තියෙනි.

යුක්රේනය යනු රුසියාවේ ඉදිරිපිට ගෙවත්තයි; රුසියාව යුරෝපයට යන්නේ මෙය පසු කරයි.  

යුක්රේනය Nato හා බැඳුනොත් මේ ගෙවත්තේ රුසියාවට ඉල්ලක්ක වූ න්‍යෂ්ටික අවි සවි කිරීමට පවා ඉඩ ලැබෙන  බව  පුටින් දනී (එවන්නකට යාමට තරම් නම් ඇමරිකාව දරුණු/අමනෝඥ නොවන බව මෙම ලියුම්කරුගේ පිළිගැනීමයි). යම් හෙයකින් එවැන්නක් සිදු වුවහොත් (යුක්රේනය තුල න්‍යෂ්ටික අවි Nato විසින් රහසිගතව සවි කලහොත්), එය රුසියාවේ අවසානය පමණක් නොව මුළු යුරෝපයේම ද අවසානය වේ. සමහරවිට, ඇමෙරිකාවට, ආසියාවටද දැඩි න්‍යෂ්ටික අවි බලපෑම් ඇතිවනු ඇත.

යුක්රේනය සමඟ වන යුද්ධයක් ඊට එහායින් ගිය ඇමරිකාවේ සහ යුරෝපයේ ප්‍රොක්සි යුද්ධයක් වන බව පුටින් වටහා නොගත්තේ ඇයි? අද යුක්රේනයට අති නවීන ඇමරිකන්, යුරෝපා අවි ගලා ඒ. රුසියාවට සමහරක් මේ නවීනතම තාක්ෂණ නැත. මේ යුද්ධය පටන් ගැනීමට රුසියාවට වඩා රහසිගත උවමනාවක් ඇමරිකාවට, Natoට, යුක්රේනයට තිබු බව පුටින්ට නොවැටහුනේ ඇයි?

වසර 8ක් ඉවසූ පුටින් අන්තිමට බයිඩන්, Nato, සෙළේන්ස්කි ගැටයට අසු විය.

පුටින්ට බොහෝ වංචා චෝදනා ඇත. අපරාධ චෝදනාද ඇත.  කෙසේ වෙතත් තුන්වෙනි ලෝකයේ බොහෝ රටවල් පුටින්ව හොඳ පුද්ගලයෙක් ලෙසට පිළි ගනී. ලොව නැඟී එන ඇමරිකන්, යුරෝපා ආධිපත්‍යය යටතේ පුටින් 3වෙනි ලෝකයට නැතිවම බැරි පුද්ගලයෙක් ලෙස සැලකේ. ඔහු ලොව විශාලතම රටේ නායකයාය.  මනුෂ්‍යත්වයෙන් පිරිණු මුහුණක් පුටින්ට ඇත. ඉතාම හොඳ ක්‍රීඩකයෙකි. ඔහු ශ්‍රී ලංකාවේද හොඳ මිත්‍රයෙකි.

ජෝර්ජියා, චෙච්නියා, සිරියා, අසර්බයිජාන්/ආර්මිනියා ප්‍රශ්ණ වලදී පුටින් අති දක්ෂ නායකත්වයක් පෙන්වීය.

නමුත්, නැවතත්, ඔහු බයිඩන්, Nato ගැටයට අවාසනාවන්ත ලෙස අසු විය. පුටින්ට මුළු ලොවම රජ කරන්න පුළුවන් තත්වයක් ගොඩ නගා ගත හැකිව තිබුණි.

දක්ෂයෙක් නිසාත්, රුසියානුවන් වැඩි දෙනෙක් තවමත් ඔහුට ආදරය කරන නිසාත්, යම් තරමට යුද්ධය ඉක්මනින් නිමා කර (යුක්රේනය සමඟ රුසියාවට වැඩදායි සාම ගිවුසුමක් අත්සන් කර) පුටින්ට නැවත ජාත්‍යාන්තර තලයට පැමිණීමේ අවකාශ ඇත. ‘හිඟන්නාගේ තුවාලය මෙන් යුද්ධය දික් ගස්සමින් ගියහොත් පුටින් හිර ගෙදරකින් නතර නොවුනහොත් එයද පුදුමයකට කරුණක් නොවනු ඇත. එය එසේ නොවේවා යයි උදක්ම පතමු.

නමුත්, නැවතත්, පුටින්ට උඩටම යලි ඒම සිතන තරම් ලෙහෙසි කටයුත්තක් නොවනු ඇත; එය අති දුෂ්කර කාර්යයකි. ඇමරිකන්, කැනඩා, යුරෝපා, ඕස්ත්‍රේලියන් සම්භාදක නිසා රුසියාව ආර්ථික වශයෙන් පහලටම කඩා වැටෙනු ඇත. ශ්‍රී ලංකාව බේරා ගැනීමට දැන් ඉදිරිපත් වී ඇත්තේ චීනය සහ ඉන්දියාවයි. රුසියාව බේරා ගැනීමට සිදු වනු ඇත්තේද මේ දෙරටටයි. බ්‍රසීලය, නයිජීරියාව, ඉරානයද රුසියාවේ සහයට එනු ඇත.

(මෙම ලියුම්කරු ජාත්‍යාන්තර නීතිඥවරයෙකි. ඕස්ත්‍රේලියාවේ බැරිස්ටර්වරයෙකු ලෙස බොහෝ කලක් සේවය කර ඇත) (ethos8@bigpond.com) .

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress