ජාතික සංවිධාන යන මග ඔස්සේ…
Posted on April 10th, 2022

ෂම්මි උයනගේ පරිගණක මෘදුකාංග ඉංජිනේරු

ජාතික සංවිධානය යනු කුමක්ද? විජාතික පණ්ඩිතයන් නිතරම අසන ප්‍රශ්නයක්! වචනාර්ථයෙන් ගත්විට එයට යම් නිශ්චිත තේරුමක් පැවතියද එහි නියම අර්ථ දැක්වීම යම්කිසි පරාසයක් තුළ විහිදෙයි. අද කාලයේ සමහර ජාතික සංවිධාන වල සිටින පුද්ගලයන්ගේ කියුම් කෙරුම් අනුව නම් ජාතික සංවිධාන වල ස්වභාවය විග්‍රහ කර ගැනීම තරමක් අපහසු බවයි මාගේ හැඟීම. නම් වලින් සඳහන් කළ හැකි ජාතික සංවිධාන 120 ක් පමණ පැවතෙන බව පසුගියදා කැලණියේ ශ්‍රී ප්‍රඥානන්ද ධර්මායතනයේ දී පැවැති රැස්වීමකදී සඳහන් වුණි. එයින්ද 10-15 ක් පමණ කිසි යම් ක්‍රියාකාරී මට්ටමකින් පවතින බවද වැඩිදුරටත් සඳහන් වුනි. එජාප- ජවිපෙ වැනි පක්ෂ තම හුදු දේශපාලන වාසිය තකාම පමණක් පිහිටුවා ගෙන ඇති විජාතික “ජාතික සංවිධාන” මෙම ලිපියට පදනම් නොවේ.

මා මේ මාතෘකා කරන බොහොමයක් සංවිධාන බෞද්ධ දර්ශනය පෙරට දමා පිහිටුවා ගෙන ඇති තමුත් ඒවා කොතෙක් දුරට බෞද්ධ දර්ශනය මත පදනම් වී ඇද්දැයි ප්‍රශ්නාර්ථයකි. එම සංවිධානවල නම, සංකේත යනාදියේ හෝ ව්‍යවස්ථාවේ බෞද්ධ දර්ශනය අඩංගු වී තිබේ. එසේම අතීතයේ පැවති ප්‍රෞඩ, සිංහල ශිෂ්ටාචාරය පෙරමුණට දමා පිහිටුවා ගෙන ඇති සංවිධාන ද අපට දැක ගත හැක. ඒවායේ දුටුගැමුණු, කාවන්තිස්ස  වැනි ශ්‍රේෂ්ඨ සිංහල නරපතීන්ගේ අතීත ක්‍රියාකාරකම් සිය සංවිධානවල අනන්‍යතාවය නිරූපණය කිරීම සඳහා යොදාගෙන ඇත.

ඉහත කුමන ක්‍රම පැවතිය ද මා මේ කතා කරන්නේ සමස්තයක් වශයෙන් සිංහල බෞද්ධ” මත පදනම්වී පිහිටුවා ගෙන ඇති සංවිධාන සම්බන්ධවයි. එකයි එකයි එකතු කළ විට පිළිතුර දෙක වුව ද “සිංහල බෞද්ධ” යනු අවුරුදු ගණනක් විග්‍රහ කළ ද අවසන් නොවන මාතෘකාවකි. මේ සම්බන්ධව සිංහල බෞද්ධ ඊනියා උගතුන් අතර පවතින අපෝහක, විසංවාද, මතවාද, දෘෂ්ටීන්හි කෙළවරක් නැත. සිංහල නොවන බෞද්ධ සංවිධානත්, බෞද්ධ නොවන සිංහල සංවිධානත් මේ අතර නැතුවා නොවේ. ඒ ගැන කතා කිරීම මෙම ලිපියේ අරමුණ ද නොවේ.

පෙර රජ දවස මෙ සිරිලක සමෘද්ධිමත්ව පැවති බවට ඕනෑ තරම් ඓතිහාසික සාධක ඇත. අල්පේච්ඡ ජාතියක් වාසය කළ, බත බුලතින් සශ්‍රීකව පැවැති මේ මනරම් දිවයින අද වන විට කිසියම් ගැටළුකාරි තත්වයකට පත්ව ඇත. සශ්‍රීකත්වයත් කොහෙත්තම පෙනෙන්නට නැත. සියලු දේම පිටරටින් ආනයනය කරන තැනකට ජාතියක් වශයෙන් පත් වී ඇත. ස්වයංපෝෂිත තත්ත්වයකට කවදා කෙසේ පත්විය හැකිදැයි සිතා ගැනීමටත් අපහසුය. එසේ අඩුම තරමින් අප ආහාරපාන වලින් වත් අප ස්වයංපෝෂිතව සිටියා නම් මේ කෝවිඩ් අර්බුද සමයේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදය” මේ තරම් ඔඩු දුවන්නේ නැත.

පසුගිය දශක හත අටක කාලයක් පුරාම මේ රට දියුණු කිරීම සඳහා නොයෙකුත් ආණ්ඩු නොයෙකුත් උත්සාහ ගනිමින් පවතී. ආණ්ඩු යැයි පැවසූ විට දේශපාලඥයන් මෙන්ම රජයේ සේවකයන් ද අයිති වන බව කරුණාවෙන් සලකන්න. රට දියුණු කරන ක්‍රියාදාම වල දී රටේ ජනතාවගේ ආකල්පද ඉතාමත් ම වැදගත් සාධකයකි. ඒත් තවමත් සිදු වූ දියුණුවක් නම් පෙනෙන්නට නැත. ඒත් ආණ්ඩු පක්ෂයේ, විපක්ෂයේ සිටින දේශපාලනඥයෝ කවදාවත් එය පිළිගන්නේ නැත. ඔවුන් සැම විටම තමන් ආණ්ඩු පක්ෂයේ සිටින කාලයේ දී රට දියුණු කළ බව ද, දියුණු කරමින් සිටිනා බව ද කියති. එසේ නැත්නම් ඔවුන් ආණ්ඩු බලය ඉල්ලා සිටින්නේ රට දියුණු කිරීම සඳහාය. කෙසේ හෝ සියලුම ආණ්ඩු පසුගිය අවුරුදු ගණනාවක් පුරාම දේශපාලන බලය ඉල්ලා සිටින්නේ රට දියුණු කිරීමයි. තවමත් මේ රට දියුණු වී නැති බව එයින් ගම්‍ය වේ.

පසුගිය අවුරුදු 70 තුළ මේ රටේ පහළ වූ දේශපාලඥයන් හොර රහසේම රට දියුණු කර අවසන් වී ඇද්දැයි සමහරකුගේ කතා ඇසීමෙන් සැකයක් මතුවේ. කෙසේ හෝ බටහිර මිනුම් දඩු වන උද්ධමනය, ඒක පුද්ගල අදායම, බැංකු පොලී අනුපාත, විදේශ සංචිත, දළ දේශීය නිෂ්පාදිතය, විරැකියා අනුපාතය, කොටස් වෙළෙඳපොළ, දරිද්‍රතාවය, තාපාංකය, හිමාංකය, (වැරදුනා, අන්තිමට ලියපු දෙක අදාළ නැත.) අනුව බැලුවද තවම මේ රට දියුණු වී නැත. බටහිර මිනුම් දඬු වලින් කුමක් පැවසුවද රටේ සමස්ත ජනතාව බත බුලතින් සරුසාර ව සතුටින් සොම්නසින් කල් ගත කරනවා නම් මේ රට “දියුණු” වී ඇතැයි අපට සතුටු විය හැක.

මෙතැනදී අප කතා කරන ජාතික සංවිධාන වල වගකීම කුමක් විය යුතුද? ආණ්ඩුවට, රට දියුණුව කරා ගෙනයන අවංක උවමනාවක නැතිනම් ඒ සඳහා පවතින ආණ්ඩුවට බලපෑමක් ඇති කළ යුතු, ඒ වෙනුවෙන් රටේ ජනතාව පෙළ ගැස්විය යුතු, දැනුවත් කළ යුතු, වගකීම් කරට ගත් යුතු ජාතික සංවිධාන, එකම තැන පල් වෙවී සිටිනවා නම් අපි කුමක් කරමුද? ඒකත් හරියටම රටේ මහජනතාව විසින් රටේ ප්‍රශ්න විසඳීම සඳහා කෝටි ගණනාවක් වියදම් කොට ඡන්දයක් පවත්වා, ඡන්දයෙන් පත් කොට පාර්ලිමේන්තු යැවූ මන්ත්‍රී ඇමතිවරු, අනේ අපිට ඒක කළ නොහැකි බවද, කරන්න දෙන්නේ නැති බවද මහජනතාවටම පෙරලා ආඬපාලි කියන්නා සේය. බොහොමයක් ජාතික සංවිධාන ඊළඟ ඡන්දය එනතුරු නිදාගෙන සිටින අතර තවත් සංවිධාන ඊළඟ ඡන්දයේදී “තවත් විකල්පයක්” ඉදිරිපත් කිරීම සඳහා දත කට මදිමින් සිටී.

මා මේ කතා කරන සමහරක් ජාතික සංවිධාන වල නියෝජිතයෝ ස්වෙච්ඡාවෙන්ම තම කාලය හා ශ්‍රමය රටේ උන්නතිය උදෙසා වැය කරති. සිය පෞද්ගලික මුදල් ද ජාතික වැඩසටහන් සඳහා නොමසුරුව වියදම් කරන වෘත්තිකයන් ද බොහෝ විට හමු වී ඇත. සිය වටිනා කාලය, ශ්‍රමය මෙන්ම මුදල් ද වැය කරමින් යහපත් චේතනාවෙන් ඉදිරිපත් වන පුරවැසියන්ගේ කාර්‍යයන් අපතේ යැවීම සහ මහත් උනන්දුවකින් රට දියුණු කරන්න වෙහෙසෙන දේශපාලනඥයන්ගේ අමනෝඥ ක්‍රියාකාරකම් අතර කිසිදු වෙනසක් නැත. කොතරම් මහන්සි වුවද ප්‍රතිඵලයක් නැත. පංචේන්ද්‍රයන්ට ගෝචර වන ප්‍රගතියක් නැතුවා මෙන්ම ඉහත සඳහන් කළ බටහිර මිනුම් දඬු වලින් ද දියුණුවක් පෙන්නුම් නොකරයි නම් එය ගඟට ඉනි කැපුවා සේය.

සමහර සංවිධාන “අදෘශමාන ව්‍යාපෘති” කරේ තබාගෙන ඔබ මොබ හැසිරෙන අයුරු අපට නිරීක්ෂණය වී ඇත. වරක් මාගේ මිත්‍රයෙක් විමසා සිටියේ වියත්මග යනු ජාතික සංවිධානයක් ද යන්නයි. වියත්මග යනු ජාතික සංවිධානයක් නොව එය ඉඳුරාම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමේ ව්‍යාපාරයේ එක් ව්‍යාපෘතියකි. ව්‍යාපෘති සහ ජාතික සංවිධාන එකට පටලවා නොගත යුතු බවයි මාගේ අදහස. තම දේශපාලන ගමන ජයග්‍රහණය කරවීම සඳහා යම් යම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඕනෑම දේශපාලන පක්ෂයකට අයිතියක් ඇත. කෙසේ නමුත් මේ ලියුම්කරු මෙන්ම ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වූ බොහොමයක් ජාතික සංවිධාන ගෝඨාභය මහතා ජනාධිපති කරවීමේ ව්‍යාපාරයේ උර නුර ගැටී ක්‍රියා කළේය. ජාතික ව්‍යාපාරයට තම ශක්තිය උරගා බැලීමටද එයින් ඉමහත් ඉඩ ප්‍රස්ථාවක් ලැබුණි.

අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සේවා සපයන රාජ්‍ය ආයතන කෙසේ වෙතත්, මුදල් අයකරමින් පවත්වාගෙන යනු ලබන බොහෝ රාජ්‍ය ආයතන අද ක්‍රියාත්මක වන්නේ පාඩු ලබමිනි. හේතු විශාල ගණනක් සහිතව, අවුරුදු ගණනක් තිස්සේ පාඩු ලබමින් පවත්වාගෙන යනු ලබන ලංකා ගමනාගමන මණ්ඩලය එක උදාහරණයකි. අපේ නගරයේ ලංගම බස් ඩිපෝවට යාබද ඉඩමේ වාසය කරන පෞද්ගලික බස් රථ හිමියා දැනට අවුරුදු කිහිපයකට පෙර අලුත්ම බස් රථ දෙකක් තම මුදලින් මිලට ගන්නා ලදී. ඔහුගේ පෞද්ගලික භාවිතය සඳහා නවීන පන්නයේ මෝටර් රථයක් ද මිලදී ගෙන තිබුණි. අල්ලපු ඉඩමේ “ශ්‍රී ලංගම” 2020 සඳහා රුපියල් බිලියන 2.3 ක පාඩුවක් ලබා ඇති බව Ceylon Today සහ Daily News වාර්තා කර සිටී.

රට තුළ ක්‍රියාත්මකත්මක වන දේශපාලනය, රාජ්‍ය පාලනය, ආයතන පාලනය තුළ බොහෝ නොමනා, අවිධිමත් කටයුතු සිදුවෙමින් පවතී. නොඑසේ නම් රට තවමත් දියුණු වෙමින් පවතින රටක් වශයෙන් තිබිය නොහැක. ද්විත්ව  පුරවැසියන් කීප දෙනෙක් සිටිය ද ඉහත සඳහන් සියලුම ආයතන වල වැඩ කටයුතු සිදුකරන්නේ / මෙහෙයවන්නෙ ශ්‍රී ලංකික වැසියන්මය. ඔව්, සමහරවිට ඔවුන් ශ්‍රී ලාංකික වූවාට ඔලුව (මනස) ඇත්තේ වෙනත් රටක වෙන්න පුළුවනි. නොඑසේ නම් ඔවුන් ශ්‍රී ලංකාවේ සිටිමින් වෙනත් රටවලට ආවඩමින් සිටිනවා විය හැක. සමහරුන්ගේ පවුල් පිටින්  විදේශීය රටවල ජීවත්වෙන අතර ඉහල තනතුරුවල සිටින, උගත් යැයි කියාගන්නා මෙම නිලධාරීන් ද ඇඟිලි ගනිමින් සිටින්නේ විශ්‍රාම ගිය පසු හැකි ඉක්මනින් විදේශිය වාසස්ථානය වෙත පියාඹා යාමටයි. වරක් මාහට හමුවූ පළාත් පළාත් පාලන ප්‍රධානියෙක් කියා සිටියේ පාර්ලිමේන්තුවේ 225 දෙනා මාසෙකට හොරකම් කරන ප්‍රමාණය, ලක්ෂ 15 ක් පමණ වන රාජ්‍ය සේවකයන් විසින් එක දවසකට “විනාශ” කර දමන බවයි. මෙම විනාශය තුළ වංචාව, දූෂණය සහ අකාර්යක්ෂමතාවය නිසා සිදුවන සියලු දෑ අඩංගු ය.

එය ඇත්තක් නම් මෙයින් හැඟී යන්නේ පවතින සියලුම ක්‍රමවේද මුල් සිට අගටම වැරදි සහගත බවයි. දේශපාලන ක්ෂේත්‍රයේ කොතරම් විප්ලව සිදුකළද අවසන් ප්‍රතිඵලයේ එතරම් වෙනසක් නැති බව පෙනී යයි. දේශපාලනඥයා ඡන්දයෙන් අවුරුදු පහෙන් පහට හෝ ගෙදර යැවිය හැකි වුවද, රජයේ සේවකයන් විශ්‍රාම ගන්නා තුරුම තම “සුපුරුදු රාජ්කාරි” කටයුතුවල නිරත වෙති. ක්‍රමවේද සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා සේම සමාජ වගවීම, පුද්ගල සංවර්ධනය ඉලක්ක කර නොගන්නා වැඩපිළිවෙළක් එතරම් ඵලදායි වන්නේ නැත. මේ වෙනුවෙන් ජාතික සංවිධානවලට, රටේ ආගමික නායකයන්ට අති විශාල වැඩ කොටසක් සිදු කළ හැක. නීතිරීති සහ දඬුවම් පනවා වැරදි පාලනය කළ හැකි වුවද පුද්ගල සංවර්ධනය මගින් වැරදි සිදුවීම් අවම කිරීම දීර්ඝකාලීනව වාසි සහගත විසඳුමකි. කෙටි කාලීන ඉලක්ක ජයග්‍රහණය කර ගැනීම සඳහා නීතිරීති අවශ්‍ය වුවද ඇති කරන්නා වූ “වෙනස”, දීර්ඝකාලීනව පවත්වා ගැනීම සඳහා පුද්ගල සංවර්ධනය ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකිකයන් “කුහක” ජාතියක් යැයි සමහර අය මා සමග පවසා ඇත. මම එය විශ්වාස නො කරමි. ශ්‍රී ලංකාවේ  ජනගහනයෙන් 3% පමණ සිටින එවැනි කුහක පිරිස නියෝජනය කිරීමට සමහර දේශපාලන පක්ෂ පිහිටුවාගෙන ඇත. රටක් වශයෙන් කොතරම් භෞතිකව දියුණු වුවද ජනනතාවගේ අධ්‍යාත්මීය සංවර්ධනය නොසලකා හරිමින් කටයුතු කළ නොහැක. කොතරම් බෙදී වෙන්වී සිටිය ද අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී ශ්‍රී ලාංකික ජාතිය එකට එක්තු කළ හැකි බවට මෑත ඉතිහාසයේ ද නිදර්ශන ඇත. දෙමළ ත්‍රස්තවාදී ප්‍රශ්නයේදී සිංහල ජාතිය ඒ වෙනුවෙන් දැක්වූ  දායකත්වය වචනයෙන් විස්තර කළ නොහැක. ඔවුන් දැක්වූ අප්‍රහිත දායකත්වය, කැපවීම නොවන්න අදටත් දවසකට මළ සිරුරු 10-15 පමණ උතුරේ සිට දකුණට ගුවනින් පැමිනෙනු ඇත. පසුගිය ජනාධිපතිවරණයේ මෙන්ම මහ මැතිවරණයේදීද 69 ලක්ෂයක් පමණ වූ ජනතාව ඉතාමත්ම කෙටි කලකින් එකට එකතු වූයේ විනාසකාරී යහපාලන රජය පලවා හැරීම සඳහාය. මෙම ලියුම්කරුගේ ද අදහස ඒ අවස්ථාවේදී එම තීරණය ගත යුතුවම පැවති බවයි. එක් එක් අවස්ථාවේ දී සියලු ජාතික සංවිධාන එක පෙළට, එකාවන්ව ජාතිය සංවිධානය කිරීමෙහිලා දැක්වූ කැපවීම් මේ මොහොතේ සිහිපත් කළ යුතුය.

රාජ්‍යයේ වගකීම වන්නේ ප්‍රතිපත්ති සහ නීති සකස් කිරීමයි. එවැනි ප්‍රතිපත්ති සහ නීති සකස් කිරීම සඳහා සුදුසු පුද්ගලයන් රාජ්‍යය තුළ සිටිනවා දැයි ප්‍රශ්නාර්ථයකි. එසේ සිටිනවා නම් අවුරුදු 70 ක් තිස්සේම මේ රට දියුණු වෙමින් වෙමින් වෙමින් පවතින්නේ කෙසේදැයි යන්න උභතෝකෝටික ප්‍රශ්නයකි. යථාර්ථය කතා කරමු. මේ සඳහා ජාතික සංවිධානවල ක්‍රියාකාරී උගත් බුද්ධිමත් ජාතිකවාදීන්ට කළ හැකි වැඩ කොටස අති විශාලය. සමහර විට ඒ සඳහා ඔවුන්ට රාජ්‍ය අනුග්‍රහයක් හෝ අනුමැතියක් හිමි නොවේ. සමාහර අවස්ථාවල දී ජාතික සංවිධාන සමස්තයක් වශයෙන් ලබාගෙන ඇති ජයග්‍රහණ අපට සුළුවෙන් තැකිය නොහැක. රටට ජයග්‍රහණ ඇති කර දීම සඳහා මුල්වී කටයුතු කර පසුව තම පාඩුවේ සිටින ජාතිකවාදීන් අපට හමුවී ඇත. එසේම අප සමඟ සිටි තවත් සමහර ජාතිකවාදීන් මන්ත්‍රීවරුන් ඇමතිවරුන් වශයෙන් පත්වූවා පමණක් නොව රජයේ ආයතන වල නිලතල ලබා ගෙන කටයුතු කරන අවස්ථා ද ඇත. එහි කිසිම වැරද්දක් නැත. ජාතික සංවිධාන ඔවුන්ගෙන් බලාපොරොත්තු වූ කාර්ය, ඔවුන් ඒ අයුරින් ඉටු කරනවා දැයි සමාජයේ කුකුසක් පවතී. සමහර විට පවතින ක්‍රමය තුළ ඔවුන්ට ක්‍රියාත්මක වීම නොහැකි වන්නට පුළුවන. නමුත් පවතින ක්‍රම වෙනස් කරමින් හෝ රටට, ජාතියට, ආගමටට පිටුවහලක් වන ක්‍රියාදාමවල නිරත වීම අපි ඔවුන්ගෙන් බලාපොරොත්තු වූවෙමු.

යථාර්ථවාදී සමාජ සංවර්ධන ව්‍යාපාරයකට නොයා කාලෙන් කාලෙට එක එක ආණ්ඩු පත් කර ඔවුන්ගෙන් සංවර්ධනය සහ සෞභාග්‍යය බලාපොරොත්තු වීම හරියට අර මොකාගෙන් මොකද්ද එක වැටෙනවා බලාගෙන සිටිනවා වැනි වැඩකි. අද බොහොමයක් සංවිධාන සිදු කරනුයේ රජය ගන්නා තීන්දු තීරණ හෝ එම තීන්දු තීරණ නිසා ඇති වන සමාජීය ගැටලු මුල්කරගෙන මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම පමණි. එක ප්‍රශ්නයක් අවසන් වූ පසු තවත් ප්‍රශ්නයක් අල්ලා ගනී. පවතින ඕනෑම ආණ්ඩුවක් ඔවුන්ට එසේ අල්ලා ගැනීමට අඩුම තරමින් මාසෙකට ප්‍රශ්න 1-2 ක් හිතාමතාම දෝ මන්දා සකස් කර දෙන බව ද පෙනේ. මෙසේ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම අනවශ්‍යයිි යන්න අදහස් නොකරන අතර එවැනි මාධ්‍ය සාකච්ඡාවක් වත් නොමැතිවුව හොත් ඇත්තටම පවතින තත්වය සම්බන්ධව රටේ ජනතාවට  සත්‍ය තොරතුරු ලබා ගැනීමට ක්‍රමයක් නොමැති විය හැක. 

කුණුවී යල්පැනගිය පද්ධති වෙනස් කළ යුතුව ඇත. පද්ධතිය වෙනස් නොකර, කුණුවී යල්පැන ගොස් ඇති පද්ධතියෙන් එළියට එන කුණු කෑලි පසුපස ගමන් කිරීමෙන් ඵලයක් නොමැත. කුණුවී යල්පැනගිය ඇති පද්ධතිවලින් කොහොමත් එළියට එන්නේ කුණු කෑලි මය. ජාතික සංවිධාන ඔය පිළිබඳව නොදන්නවා නොවේ. නමුත් සමස්ත පද්ධතියමය වෙනස් කිරීමේ මහා කාර්යය සඳහා ඔවුන් ස්වයංව සංවිධානය වන බවක් තවම පෙනෙන්නට නැත. සමහරු දියසෙන් කුමාරයා වඩින තුරු බලා සිටිති. දියසෙන් කුමාරයාගේ අප්පච්චිලා, බාප්පොච්චිලා කාලයෙන් කාලයට කරළියට පැමිණියහ. තවම දියසෙන් කුමාරයා පැමිණියේ නැත.

ජාතිකත්වයට මුල්තැන දෙමින් රට ගොඩ නැඟීම සඳහා අවංකවම කැපවීම්ක් ඇති සංවිධාන ඇත්තේ ඉතා අතළොස්සකි. තනිවම සටන් කරමින් බොහෝ මහන්සි වී වැඩ කරන තනි  පුද්ගලයන් කීප දෙනෙක් ද අපට හමු වී ඇත. බොහොමයක්ම සංවිධාන සතිපතාම මාර්ග ගත සාකච්ඡා පවත්වමින්, පුවත්පත් නිවේදන නිකුත් කරමින්, මාධ්‍ය සාකච්ඡා පවත්වමින් එදිනෙදා රටේ සිදුවන සිද්ධීන් පිළිබඳව තම දේශපාලන විග්‍රහයන් ඉදිරිපත් කරති.  බොහෝමයක් සංවිධාන එමගින් අදහස් කරන්නේ තමන් සජීවීව පවතින බව ශ්‍රී ලාංකික පුරවැසියන්ට දැනුම් දීමයි. අවස්ථාවක් පැමිණෙනතුරු සජීවීව අල්ලාගෙන සිටීමේ කලාවක්ද ලොව පවතී. කෙසේ නමුත් ඡන්දය පැවැත්වෙන දින නියම කළ පසු උඩින් පහත් වෙන සෙන්සර් පප්පලා, හමුදාපතිවරුන් යන ආදී ජෝකර් වරුන්ට වඩා එය වැදගත් වේ.

බොහෝ සංවිධාන වල සමාජ මාධ්‍ය කණ්ඩායම්, ගිණුම් ක්‍රියාත්මක වන්නේ හරියට යූ.එන්.පී  ජේ.වී.පී දේශපාලනය පක්ෂ වල සමාජ මාධ්‍ය කණ්ඩායම් ලෙසයි. යූඑන්පී ජේවීපී දේශපාලන  කුලී හේවායන් විසින් නිර්මාණය කර දෙනු ලබන ආණ්ඩු විරෝධී පෝස්ටු තමන්ගේ කණ්ඩායම් තුළ තරගයට මෙන් හුවමාරු කර ගනිති. සාමාන්‍යයෙන් එවැනි එක් පෝස්ටුවක් එක් අයෙකුට හතර පස් වතාවක් පමණ ලැබෙන බව අපගේ මූලික අධ්‍යයන වලින් හෙලිවී ඇත. ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණකරුවන්ගේ ව්‍යායමය එක අතකින් සාර්ථකය. ඔවුන්ට ඇත්තේ පොස්ටු සකස්කර දීම පමණි. හුවමාරු කිරීම් සහ ප්‍රචාරණය කිරීම නොමිලේම අප විසින් ඉටු කරදෙනු ලැබේ. කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමන්ට ලැබෙන පෝස්ටු ශෙයා කිරීම බොහෝ සංවිධාන වල ඇඩ්මින් වරුන්ගේ දෛනික රාජකාරියයි. මෙසේ ආතක් පාතක් නැතුව තමන්ට ලැබෙන පෝස්ටු ශෙයා කර නින්දට යන ඔවුන් උදේට නැගිට, “ඉන්න හිතෙන රටක්” සෙවීම හාස්‍යජනකය.

ඵලදායී ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා සියලු ජාතික සංවිධාන එකට එක්තු විය යුතුම යැයි අදහස් කරන්නේ නැත. කෙසේ නමුත් බොහොමයක් සංවිධානවල අරමුණු සහ ප්‍රතිපත්ති එක හා සමාන බැවින් අවශ්‍යම අවස්ථාවන් වලදී  ඒවාට එකතු වීමේ බැරිකමක් නැත. කොහොම නමුත් සමගිය බලය වේ” යයි ප්‍රසිද්ධ කියමනක් ඇත. දේශපාලනයට ඕවා අදාල නැති වෙන්නත් පුළුවන්. නමුත් ජාතික සංවිධාන වැඩ කරන්නේ ජාතික පරමාර්ථයන් සිත්හි  දරාගෙනයි. සමහරක් ජාතික සංවිධාන වල සිටින ඔලමොට්ටල නායකයින්, වෙනත් අය, තම සංවිධානයේ සාමාජිකයන් සමඟ කතා කිරීම පවා  නුරුස්සයි. ඔවුන්ට අනෙකුත් ජාතික සංවිධාන වල නායකයන් පෙනෙන්නේ නයාට අඳුකොළ මෙනි.

එසේම බොහොමයක් ජාතික සංවිධාන සිය කටයුතු සිදු කරන්නේ කොළඹ නගරය කේන්ද්‍ර කොට කොට ගෙනයි.  වැඩිම වුවහොත් ඔවුන් සිය සංවිධානවල කටයුතු ගම්පහ සහ කළුතර ප්‍රදේශ දක්වා ව්‍යාප්ත කරනු ලබති. ආරම්භක අවස්ථාවේදී කෙසේ හෝ කොළඹ නගරයේ විශේෂිත සම්මන්ත්‍රණ ශාලාවක “සමුළුවක්” පැවැත්වීම බොහෝමයක් ජාතික සංවිධානවල පළමු සහ එකම “ජාතික” ක්‍රියාකාරකම වේ. ඔවුන් තුළ පවතින කෙටිකාලීන අරමුණු නියාවෙන් සමස්තයටම ජයග්‍රහණ ලබා දීම සඳහා දියත් කළ යුතු පුළුල් වැඩපිළිවෙලක් පිළිබඳව අන්‍යෝන්‍ය වශයෙන් පැවතිය යුතු කතිකාව ඉතාමත් පහළ මට්ටමක පවතී.

ෂම්මි උයනගේ

පරිගණක මෘදුකාංග ඉංජිනේරු

shammie@email.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress