ප්‍රශ්ණ දෙස රාමුවෙන් ඔබ්බට ගොස් බැලීම
Posted on April 13th, 2022

චානක බණ්ඩාරගේ

(1). 2021 සැප්තැම්බර් සිට 2022 මාර්තු 10 දක්වා ඩොලරය ස්ථීර (fixed) කර තිබු අතර එම අගය වුයේ රුපියල් 203කි. හිටපු මහ බැංකු අධිපති (කබ්රාල් මහතා) මේ ක්‍රියාමාර්ගය ගැනීමට ප්‍රධානතම හේතුව වුයේ ඒ  වනවිට ශ්‍රී ලාංකාවට විදේශ විනිමය (ඩොලර්) ඒම ඉතාම පහළ වැටී තිබීමයි. රටේ ඩොලර් හිඟ වීම නිසා, රුපියලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම ඉහල නැඟීණි. අප ආනයන මත යැපුණු ආර්ථිකයක් නිසා ඩොලරය ඉහල යත්ම උද්ධමනය (බඩු මිල ඉහල යාම) වැඩිවේ (JR ජයවර්ධනගේ සීමා විරහිත විවෘත ආර්ථිකයට පින්සිඳු වන්න අප අද දේශීය කර්මාන්ත සියල්ලම පාහේ වසා දමා සියල්ල – ඉඳිකට්ට පවා, ආනයනය කරන්නෙමු).

ඩොලරය පා කලහොත් රුපියල දිනපතා අති සීග්‍ර වේගයෙන් බාල්දු වන බව දන්නා නිසාය කබ්රාල් මහතා රුපියල ස්ථිර කර තැබුවේ.

2022 මාර්තු 9 වෙනිදා විපක්ෂයේ බුද්ධිමතුන් තිදෙනෙක් ගොස් මහ බැංකු අධිපති හමුවිය. මොවුන් කියා ඇත්තේ උන්ඩියල් ක්‍රමය පරාජය කිරීම සඳහා ඩොලරය ස්ථිරව නොතබා වහාම පා කරන ලෙසය (මොවුන් හරියටම කීදේ කුමක්ද කියා මෙම ලියුම්කරු නොදනී). (විදේශ ශ්‍රමිකයන් (රටවිරුවන්) උන්ඩියල් ක්‍රමයට ශ්‍රී ලංකාවට ඩොලර් එවීමට  පුරුදු වීම නිසා ඔවුන් සාමාන්‍යයෙන් වසරකට එවන ඩොලර් බිලියන 7ක් පමණ වන විදේශ විනිමය ඉන් භාගයකටවත් වඩා අඩුවී තිබුණි).

ඊට පසුදාම කබ්රාල් මහතා ඩොලරය පා කර හරින ලදී. එදාම ඩොලරය රුපියල් 260 ඉක්මවා ගියේය. එදාම හිටපු මුදල් ඇමති කීවේ ‘අපි විපක්ෂය කියන ඒකත් අහන්න එපායැ’ කියාය. අද ඩොලරය රුපියල් 320කි (මසක් ඇතුලත). තව මාස 6කින්?   සිම්බාබ්වේවල  පාන් ගෙඩියක් මිලදී ගැනීමට මුදල් පිරවූ වීල් බැරෝවක් හා සමාන මුදලක් ගෙවිය යුතුයි. ශ්‍රී ලංකාවෙත් එසේ වේද?

ඩොලරය මෙසේ එක් වරම මාර්තු 10වෙනිදා පා කිරීම ඉතාම වැරදි බව රනිල් වික්‍රමසිංහ පවසයි. එදා විපක්ෂයේ බුද්ධිමතුන් 3දෙනා දැන දැන රජයට කකුල් මාට්ටුවක් දැම්මාද, නැත්නම් ඔවුනනුත් ඊනීයා බුද්ධිමතුන් පමණක්ද? කෙසේ වෙතත් රජයට උපදෙස් දෙනවා නම් එය මහජන සුභ සිද්ධිය ගැන සිතා සද් භාවයෙන් පමණක් කළ යුතුය. මන්ද පහර වදින්නේ අහිංසක මහ ජනයාටය. අද ආර්ථිකය බ්රේක් නැති වාහනයක් මෙන් ගමන් කරනවා යයි නව මහ බැංකු අධිපති වරයා කීවේ මෙසේ එක්වරම ඩොලරය පා කිරීම නිසා සිදුවන උද්ධමනයේ වන අති සීග්‍ර වැඩි වීමයි. ඩොලරය රුපියල් 400 වන්නේ කවදාද (මැයිද, ජුනිද?).

අසාමාන්‍ය ලෙස ඩොලරය බැඳ තැබීමට තීරණය කිරීම නිසා ඒ කාලයේ බඩු මිල ඉහල යාම අද තරම් නොවීය. මහජනයාට අවශ්‍යද බඩු මිල ඉහල යාම නතර කිරීමය.

ඩොලරය පා කළා කියා උන්ඩියල් ක්‍රමයට මුදල් එවීම නතර වී නැත.  L/C විවෘත කිරීමට (ඩොලර් විකිණීමට – selling) අද බැංකු වල ඩොලර් නැත. රටවිරුවන් කෙලින්ම බැංකුවලට ඩොලර් එවීම සඳහා නම් කොටුවේ මර්නී එක්ස්චේන්ජ් ලා ඩොලර් සඳහා බැංකුවල ගෙවන මිලම ඒ අයද ගෙවිය යුතු බවට කබ්රාල් මහතා පැනවූ නීතිය දැඩිව ක්‍රියාත්මක කල යුතුය (තාවකාලිකව). දැනට එවැනි නීතියක් නැත.

රජය මේ අවස්ථාවේ දැඩි නීති නොදමන්නේ නම් කඩා වැටෙන්නේ අපේ බැංකු පද්ධතියය.

ඩොලරය ඉහල ගොස් ඇති නිසා ගණුදෙණුකරුවන්ගෙන් ඩොලර් මිලදී ගැනීමේදී (buying) බැංකුවලට ඉතා ඉහල මිලක් ගෙවීමට සිදුවේ. මෙය බැංකුවල මුල්‍ය පැවැත්මට තදින්ම බලපායි. බැංකුවල ඇත්තේ සීමාසහිත වූ රුපියල් සංචිත ප්‍රමාණයකි.

කොරේ පිටට මරේ කීවක් මෙන් රජය දැන් කඩිනමින් පොලී අනුපාත ඉහල දමින් සිටි.  ඒවා 13.5%, 14.5% දක්වා ඉහල නංවා ඇත. 25% දක්වා ඉහල නංවන කථාවක් ඇත! රටට ඩොලර් නොඑන මෙවැනි කාලයක මෙවැනි පෙරළිකාරී තීරණයක් රජය ගත්තේ ඇයි? 

මෙයින් රුපියල ශක්තිමත් වී උද්ධමනය අඩු වනු ඇතැයි රජය සිතයි, නමුත් එසේ සිදුවේ යයි කිසිසේත් සිතිය නොහැක. රජයට ඩොලර් නැත, රුපියල ගැන විදේශිකයන් තුල විශ්වාසයක් ඇතිකරගැනීමට රටේ රත්තරං ද නැත (තියෙන ටිකද කබ්රාල් මහතා වික්කේය). තවද දැන් ඩොලරය පාවේ. එවන් පසුබිමක රුපියල ශක්තිමත් වීම නොව තවදුරටත් දුර්වල වීමයි සිදුවනුයේ.   

පොලී ප්‍රතිශත වැඩි කිරීම නිසා බැංකුවලින් මුදල් ණයට ගත්තවුන්ට මේ අධි පොලී ගෙවීම ඉතා අපහසු වේ (සංචාරක කර්මාන්තයද බින්දුවටම වැටී ඇත). ඒ අය උවමනාවෙන්ම ණය පොළී නොගෙවා සිටිනු ඇත; විශේෂයෙන්ම කුඩා ව්‍යාපාරිකයන් සහ නිවාස ණය ගෙවන්නන්. මෙයින් බැංකු වලට තදින්ම පහර වදී. කොරෝනා නිසා බැංකුවලට ණය නොගෙවා සිටින බොහෝ දෙනෙකි.

දැනටමත් අපේ බැංකු දරා ගත නොහැකි පීඩනයකින් පසුවේ. ලෝකයේ සෙසු බැංකු හා සසඳන කල අපේ බැංකු කවදත් අති විශාල ලාභ ඉපැයූ බැංකු නොවේ. ඉතා සුළු ජනගහනයක් වෙසෙන අපේ රටේ උවමනාවට වඩා බැංකු ඇත. දේශපාලඥයනට සහ රජයේ උසස්ම නිලධාරීන්ට අල්ලස් දී රටේ කෝටිපති ව්‍යාපාරිකයෝ තම තමන්ගේ පුද්ගලික බැංකු ආරම්භ කර ගෙන ඇත. අති ධනවත් ඕස්ත්‍රේලියාවටම ඇත්තේ බැංකු 6 හෝ 7 පමණි. එම රජය ඒවා සිය ඇස් 2 මෙන් රකී. රජය දැන් මුදල් මුද්‍රණය කිරීමද නවතා ඇත. මෙවැනි අවධියක, බැංකු වලට මෙවැනි අධික පොලී අනුපාතයන් සිය ස්ථිර තැන්පත් කරුවන්ට ගෙවා ගත නොහැකි වුවහොත්? බැංකු කඩා වැටෙනු හැර වෙනත් විකල්පයක් නැත (පාරිභෝගිකයන් ඉල්ලු විට ඔවුන්ගේ රුපියල් දීමට බැංකු බැඳී සිටි – අපොහොසත් වුවහොත් එම බැංකුව කඩා වැටිය හැක).

 (2). අපනයන (තේ, ගාමන්ට්ස්, නොයෙක් ප්‍රති අපනයන භාණ්ඩ) සහ සංචාරක කර්මාන්තය හැරුණු කොට ක්ෂණිකව ඩොලර් සොයා ගත හැක්කේ තව තවත් විදේශ ණය ගැනීමෙන් පමණක් යයි රජය සිතයි. නිර්මාණාත්මක නව මාර්ග වලින් ඩොලර් සොයා ගැනීමට රජය විසින් කිසිදු වෑයමක් දරුනු නොලැබීය. රජයට උවමනාවක්ද නැති ගානය.

මැද පෙරදිග සේවය කරන්නන් හැරුණු කොට බටහිර රටවල සිටින සිංහල සහ දෙමළ ඩයස්පෝරාව ගත් කල අපේ රට විරුවන් ගණන ලක්ෂ 20කට වැඩිය. මේ අයගේ මාර්ගයෙන් අපේ විදෙස් සංචිත වැඩි කරගැනීමේ විවිධ මාර්ග ඇත. නමුත් මේවා ගැන සිතා බැලීමට රජයට වගේ වගක් නැත.

උදාහරණයක් වශයෙන් විශේෂිත රටවිරුවනට මෙරටට වාහනයක් ගෙන ඒමට අවස්ථාවක් ලබා දීමත්, ඒ සඳහා වන රේගු බදු ඩොලර් වලින් ගෙවීමට නියම කිරීමත්ය. NRFC ගිණුම් වලට වැඩි පොළී අනුපාතයක් දැන් ගෙවන නමුත් ඒ මුදල් මුළුමනින්ම ආපසු ලංකාවෙන් පිටතට රැගෙන යාමේ බාධක ඇත. මේ නිසා නව NRFC ගිණුම් ඇරඹීමට රටවිරුවෝ පැකිලෙති. මේ විෂමතා දුරලිය යුතුය. මෙරට තුල තෝරා ගත් භාණ්ඩ සහ සේවා සැපයීමේදී ඩොලර් ඇත්තන්ට ඒවාට ඩොලර් වලින් මුදල් ගෙවීමේ පහසුකම් ඇති කල යුතුය. විදේශ සංචාරකයන්ට තම හෝටල් ගාස්තු, ගුවන් ගමන් ටිකට්, විවිධ දේශිය ස්ථානවලට ඇතුළුවීමේදී ගෙවන ගාස්තු ඩොලර් වලින් ගෙවීමේ ක්‍රමයක් සැකසිය යුතුය. ගුවන් තොටුපලෙන් පරිබාහිරව කොළඹ නගරය තුල නව තීරු බදු රහිත සාප්පුවක් (duty free)  ඇති කල යුතුය – ඩොලර් වලින් පමණක් ගනුදෙනු කරන. මෙහි දියුණුව බලා පසුව මහනුවර සහ යාපනයේ එවැනිම තීරු බදු රහිත සාප්පු ඇති කල යුතුය. කොටුවේ වැනි මර්නී එක්ස්චේන්ජ් ලා ළඟ ඇති ඩොලර් වැඩි අගයක් දී මහ බැංකුව විසින් මිලදී ගෙන තම ඩොලර් සංචිතය වැඩි කර ගත යුතුය.

රටේ ජනතාවගෙන් හැකිතරම් වැඩි මිලට රත්තරං මිලදී ගෙන මහ බැංකුවේ රත්තරං සංචිතය නැවත ඉහල දමා ගත යුතුය. රුපියල ස්ථාවර කර ගැනීමේ ඉතාම හොඳ ක්‍රමයකි මෙය – එවිට විදෙස් රටවල් රුපියල මඟින් ගණුදෙණු කිරීමට එළඹේ. (LTTE  පරාජයෙන් පසු කොළඹට ගෙනා රත්තරං කෝ?).

(3). පසුගිය මැතිවරණ සමයන්හි MCC ගිවුසුම ගැන පොහොට්ටුව සහ විපක්ෂයේ ජවිපෙ, ජානිපෙ, පිවිතුරු හෙළ උරුමය, පෙරටුගාමී  පක්ෂ බොහෝ බොරු කීහ. ඇමරිකාව විසින් අපට දීමට කැමති වූ ඩොලර් මිලියන 480 ආධාරය අප නිරපරාදේ අහිමි කර ගත්තෙමු. ඇමරිකාව ඒ මුදල නේපාලය වෙත ප්‍රධානය කරන ලදී. MCC මඟින් කොළඹ සිට ත්‍රීකුණාමලය දක්වා ඉඩම් කොරිඩෝරයක් ඇමරිකන් සමාගම් වලට පැවරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට මේ අය බොරු ගොතා කීහ (කැලණියේ නයා ආවා මෙන්). සමහර සමාජ මාධ්‍යවේදීන්ද මේ බොරු මතය ප්‍රගමනය කළහ.

මේ කිසි කෙනෙක් MCC ගිවුසුම් කියවා නැති බවයි පෙනෙන්නේ. නැත්නම් උවමනාවෙන්ම ඒ අය ජනතාවට බොරු කීහ. MCC මඟින් අප රටට ඉතා වැඩදායි ක්‍රියාවන් සඳහා ආධාර දීමට ඉදිරිපත් විය. රටේ මහ නගරවල තිබෙන අධික වාහන තදබදයට විද්‍යාත්මක විසඳුම් සෙවීම සහ අද  අවුලෙන් අවුලට පත්ව ඇති ඉඩම් පැවරීමේ දුෂිත ඔප්පු ක්‍රමය පරිගණක තාක්ෂණයෙන් නවීකරණය කිරීම මෙම ප්‍රධානය මඟින් සිදු කිරීමට බලාපොරොත්තු වූ සේවාවන්ය. එම ඩොලර් මිලියන 480ට පසු තවත් විශාල ආධාර දිගටම ප්‍රධානය කිරීමටයි ඇමරිකාවේ අදහස වුයේ. MCC ව්‍යවසනය නිසා අමරිකාව හෝ වෙනත් බටහිර රටක් ශ්‍රී ලංකාවට නොමිලේ ආධාර කිරීමට පැකිලෙනු ඇත.  MCC ගිවුසුම රජය සමඟ කථා කර සංශෝධනය කිරීමට අවශ්‍ය නම් එසේ කල හැකි බව ඇමරිකාව කීය.

රටට ඉතා ප්‍රයෝජනවත් වූ මේ ආධාර ඇමරිකාව ශ්‍රී ලංකාව සිය නව යටත් විජිතයක් කර ගැනීමේ කූට උපක්‍රමයක් බව කියා මේ වාමාංශිකයන් සහ ඊනියා සමාජවාදීන් ජනතාව බිය ගැන්වූහ. රටට ආදරය නොකරන මේ අයගේ එකම අභිලාශය වුයේ කුමන ක්‍රමයකින් හෝ තමන්ගේ චන්ද ගොඩ වැඩි කර ගැනීමය. මෙයින් පරාජය වුයේ රට සහ ජනතාවය.

(4). සය්ටම් පෞද්ගලික වෛද්‍ය විශ්ව විද්යාලයට විරුද්ධව පොහොට්ටුව සහ විපක්ෂයේ ජවිපෙ, ජානිපෙ, පිවිතුරු හෙළ උරුමය, පෙරටුගාමී  පක්ෂ සහ GMOA ඉතාම තදින් ක්‍රියා කර ඒ ව්‍යාපෘතිය මුළුමනින්ම විනාශ කර දැමුහ. . අභාවප්‍රාප්ත දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහතා රටට ආදරය කල උතුම් මිනිසෙකි. පෞද්ගලික වෛද්‍ය විශ්ව විද්යාලයක් මේ රටේ ඉදි කිරීමට එතුමා දෙවරක් උත්සහ කළේය (රාගම සහ මාලබේ); වාමාංශික දේශපාලන පක්ෂ (ජවිපෙ ඇතුළු) සහ GMOA ඉතා කෘර ලෙස ඒ දෙවතාවේම ක්‍රියාත්මක වී රටට හිමි වීමට ගිය ඒ මහඟු සම්පත විනාශ කර දමන ලදහ. සයිටම් තිබුනා නම් කොරෝනා කාලයේ අප රටේ තිබුණු උග්‍ර වෛය්ද්‍ය හිඟයට හොඳ විසඳුමක් සපයා ගත හැකිව තිබුණි. මෙවැනි විශ්ව විද්‍යාලයක් රටට විදේශ විනිමය ගෙන එන රන් ආකාරයකි (විදේශ සිසුන් මඟින්).

මෙකී වාමාංශිකයන්ගේ දරුවන් වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස් විශ්ව විද්‍යාලට යත්. ඒ හැකියාව නොමැති ශ්‍රී ලංකාවේ දෙමව්පියනට තම දරුවන් වෛය්ද්‍යවරයෙක් කිරීමේ ඇති මාහැඟී ආසාව, පටු දේශපාලන වාසි ලබා ගැනීම සඳහා මේ අය ඉතා දුෂ්ට ලෙස පහර ගසා නැවත්වුහ.

(5). උමාඔයෙන් විශාල පරිසර හානියක් වන්නේ යයි ජවිපෙ කෑ ගැසිය. එය 100% සත්‍යයකි. නමුත් ඔවුන් කෑ ගසන විට බණ්ඩාරවෙල,ඇල්ල ප්‍රදේශවල විශාල පරිසර හානිය සිදු වී හමාරය (උමා ඔය සඳහා කැනීම් සිදු කර අවසානය). රජය  සුළු තරමින් හෝ හානී සිදුවූ ජනතාවට වන්දි ගෙවන ලදී.  

ජවිපෙ උද්ගෝෂණ නිසා ඇමරිකන් ඩොලර් මිලියන 550වු මුළු ව්‍යාපෘතියම අත් හැර දමන ලදී.  සම්පුර්ණ වූ පසු එය මහවැලියට පසු ශ්‍රී ලංකාවේ සිදුවූ විශාලතම් සංවර්ධන ව්‍යාපෘතිය වන බවට ප්‍රචාරයන් 2010 – 2015 රජය විසින් කරන ලදී . එම  රජය කෝටි ගණන් මුදල් ගසා කා තිබුණ බවට වාර්ථා පළ විය.  

ජවිපෙ උද්ඝෝෂණ නිසා යහපාලන රජය මුළු ව්‍යාපෘතියම එක් වරම නතර කළේය. නතර කරන විට කිරීමට ඉතුරු වී තිබුනේ ජල විදුලි බලාගාරය සෑදීම (මෙගා වොට් 50) සහ හම්බන්තොටට ජලය බෙදා  හැරීමයි. එය සිදු කෙරුනා නම් හම්බන්තොටට ජලය ලැබී නව විශාල ඉඩම් ප්‍රමාණයක් වගා කිරීමේ අවස්ථාව සහ හම්බන්තොට වරාය අවට කර්මාන්ත ඉදි කිරීමට අවස්ථාව තිබුණි.

(6). රට බංකලොත් වීම විය හැකි බවත් එසේ සිදු වුවහොත් අපට ඉන් එහාට අනාගතයක් නැතැයි බොහෝ දෙනා, විපක්ෂයේ ආර්ථික බුද්ධිමතුන් පවා කියති. එය අපට දරා ගත නොහැකි ලැජ්ජාවක් බවද ඔවුන් කියති (බංග්ලාදේශයෙන් පවා හිඟමන් යැදීම ඊට වඩා ලැජ්ජාවක් නොවන්නේද?).

බංකලොත්භාවය (Bankruptcy) යනු ණය ගෙවා ගැනීමට බැරිව සිටින කෙනෙකුට නීතියෙන් හිමිවෙන සහනයකි. උසාවියෙන් බංකලොත් කල පසු ඒ තැනැත්තා සියළු ණය වලින් නිදහස්ය. අවුරුදු 3ට පසු බංකලොත් බවින් මිදී නැවත සාමාන්‍ය ජීවිතයක් ආරම්භ කල හැක. ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සතු කොම්පැනි 2ක් බංකලොත් බවට පත්වී ඇත. ඒත් ඔහු ඇමරිකාවේ ජනාධිපති විය.

පුද්ගලයෙක් මෙන්ම රටක්ද නිතීමය ඒකකයකි. රටකට විරුද්ධව නඩු පැවරිය හැක; ඒ රටටද විවිධ අයට විරුද්ධව නඩු පැවරිය හැක. දැන් අප කල යුත්තේ රටක් ලෙස නීත්‍යානුකූල ලෙස බංකොලොත්භාවයට පත් වීමයි. මෙය දිස්ත්‍රික් උසාවියේ පෙත්සමක් (Debtor’s Petition) සහ දිව්රුම් පෙත්සමක් (Affidavit) මඟින් ගරු දිසා අධිකරණයේ, ඒක පාර්ශ්විකව ගොනු කිරිමෙන්, ශ්‍රී ලංකා රජයට බංකලොත් භාවයට පත්විය හැක. පෙත්සමේ ‘Statement of Affairs’ මඟින් අපේ දැනට තිබෙන සියළු ණය (දේශීය සහ විදේශීය), විදේශ වත්කම් සවිස්තරව ගරු අධිකරණයට සැල කල යුතුය.

මේ ණය ගෙවීමට අප ළඟ ඩොලර් සංචිත නොමැති බවත් වෙනත් ඩොලර් වත්කම් අපට නොමැති බවත් සඳහන් කල යුතුය. ඉන් පසු දිස්ත්‍රික් උසාවිය (කොළඹ දිසා අධිකරණ අංක 5 හෝ 6 විය යුතුය) අප රට නීත්‍යානුකූල ලෙස බංකොලොත් රටක් බවට තීන්දුවක් දෙනු ලැබේ. මෙම තීන්දුව ඩොලර් හෝ වෙනත් විදෙස් මුදල් වලින් ගෙවිය යුතු වූ ණය වෙනුවෙන් පමණක් රජයට බලපාන ලෙසට (උදා: ඩොලර්, පවුම්, යුආන්, ඉංදීය රුපියල් ආදී) තීන්දුව ඉල්ලිය යුතුය. විදෙස් ණය ඉල්ලා එන ණයකරුවනට (විදෙස් රටවල්, විවිධ බැංකු) වලට මේ තීන්දුවේ පිටපතක් ලබා දීම ප්‍රමාණවත්ය.

රජයේ බංකොලොත්භාවය ශ්‍රී ලාංකිකයන්ට බල නොපාන්නේ ඔවුනට ඇති රජයේ ණය රුපියල් වලින් ගෙවීමට රජයට ඇති හැකියාව නිසාය.

මින් වන වාසිය නම් අප දැනට භරිත වී ඇති ඩොලර් බිලියන 60 පමණ වූ සියළු ණය වලින් එක්වරම නිදහස් වීමයි. ණය දුන් රටවල්/ආයතන ඔවුන්ගේ පාඩුව දරා ගත යුතුය. 

මේ වසරේ ජුනි මාසය වන විට අපට ඩොලර් බිලියන 1ක පමණක් ණයක් ගෙවීමට ඇත. දැන් අප ළඟ ඇත්තේ ඩොලර් මිලියන 100 පමණ වූ කුඩාම කුඩා සංචිතයකි. 

එවන් වාතාවරණයක් යටතේ අපට ඩොලර් බිලියන 60 පමණ වූ ණය කන්දක් කිසිදා ගෙවිය නොහැකි බව පොඩි ළමයෙකුට පවා තේරේ. ඉදිරියේ පරම්පරා 10ක් දිගටම  ගෙව්වත් මෙවැනි අති විශාල වූ ණය කන්දක් (පොලිද එකතුවේ) අපට ගෙවා නිම කල නොහැක. ඉදින් ගරු අධිකරණය මඟින් බංකලොත් භාවයට තීන්දුවක් ලබා අප මේ කරදරයෙන් නිදහස් නොවෙන්නේ මන්ද?

මෙම ණය තිබෙනතාක් අප රටට කිසිම නැගිටීමක් නොමැත.

අප 2022 ජනවාරි මාසයේ ඩොලර් මිලියන 500ක ණයක් ඉතාම අමාරුවෙන් ගෙව්වෙමු – අපේ රත්තරං  සංචිත පවා විකුණා. මෙය සිදු නොකළ යුතුව තිබුණි.

නැවතත්, ඩොලර් මිලියන 500 ණය නොගෙවා ඉන්න තිබුණි. අද පෙට්‍රල්, ඩීසල්, ගෑස්, බෙහෙත් ගෙන්වීමට මුදල් නැතිව ඔළුව කසමින් රජය සිටින්නේ මේ මෝඩ දේ ජනවාරියේ කල නිසාය.

ජනවාරි මාසයේ ඉතා අමාරුවෙන් ඩොලර් 500 ගෙව්වේ එය බැඳුම්කර ණය ගෙවීමක් නිසාත් එම ප්‍රතිලාභ ලැබුවේ රජයෙන් බැඳුම් කර මිලදී ගත් රජයට සම්බන්ධ පවුල් සාමාජිකයන්/මිත්‍ර සමාගම් බව නිසාත් යයි කථාවක් ඇත.  මෙහි සත්‍ය අසත්‍ය භාවය මෙම ලියුම්කරු නොදනී.

අප නීත්‍යානුකූලව බංකලොත් නොවී ‘අපිට සල්ලි නැහැ, ඒ නිසා ගෙවන්න බැහැ’ වැනි ප්‍රකාශයක් පමණක් විදෙස් රටවලට කිරීම ඉතා අනතුරුදායකය. මන්ද, එවිට විදේශ රටවල්/බැංකු ඉතා ඉක්මනින් ඔවුන්ගේ රටවල් වලදී අපව බංකොලොත් කිරීමට නීති මඟින් කටයුතු කරනු ඇත. එවිට අපට ඒ සෑම නඩුවකටම උත්තර බැඳ සහභාගී වීමට සිදුවෙනවා පමණක් නොව ඔවුන්ගේ නීතිමය ආධිපත්‍යට යටත් වීමටද සිදුවේ. ඔවුන් තීව්‍ර ලෙස අපෙන් හරස් ප්‍රශ්ණ අසනු ඇත. කූට ලෙස අපේ ඇතැම් වත්කම් (ජාත්‍යන්තර බංකොලොත්භාවයට හසු නොවන) හිමි කර ගැනීමට කටයුතු කරනු ඇත. සමහර රටවල බංකොලොත්භාවය ඉතා දිගුය – වසර 7කි. හොඳම දේ නම් අප ඉස්සර වී අප රට තුලදීම අප බංකොලොත් වීමයි. එවිට විදෙස් රටවලට අපට විරුද්ධව බංකොලොත් ක්‍රියාමාර්ග ගැනීමේ මාර්ගය අවහිර වීය.

අප බංකලොත් වුවහොත් ලොව පිළිගත් බැංකු ඉන්පසු අපට ණය නොදෙනු ඇත – IMF, WB, ADA වැනි. ඒ  අවුරුදු 3 කාල සීමාවට පමණි. ඩොලර් බිලියන් 60ක ණය බරකින් එක්වර නිදහස් වෙන්න ලැබේ නම් මේ අපහසුතාවය කුමක්ද?

බංකලොත් වූ පසු වසර 3 කාලය තුල විශාල ලෙස ඩොලර් ආදායම් අපට ලැබුනහොත් ණය කරුවන්ට (Creditors) එම මුදලින් කොටසක්, ගරු අධිකරණයෙන් පත් කරන බංකලොත් භාරකරු (Bankruptcy Trustee) මඟින් ණය කරුවනට ගෙවිය යුතුවේ.  

අප බංකලොත් වුවත්  අපේ හිතවත් රටවලට අපට දිගටම ණය දිය හැක – ඔවුන් කැමති නම්. අපට ඉතාම හිතවත් ඉන්දියාව, චීනය, ජපානය, දකුණු කොරියාව වැනි රටවල් මේ කාල සීමාව තුලදී අපට බොහෝ දුරට ණය දෙනු ඇත – ඔවුන් අපව තනි නොකරනු ඇත.

අවුරුදු 3ට පසු නව ජීවනයකින් යලි නැගිටි ඉදිරියටම යමු!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress