ගෝල්ඩන් පැරඩයිස් විසාව – ප්‍රශ්නයට විසඳුම නොවේ
Posted on April 26th, 2022

චානක බණ්ඩාරගේ

ඇමරිකන් ඩොලර් ලක්ෂයක් (US$100,000) ශ්‍රී ලංකාවේ බැංකුවක තැන්පත් කරන ඕනෑම විදේශිකයෙකුට ශ්‍රී ලංකාවේ වසර 10ක් ජීවත් වීමේ නව විසාවක් රජය විසින් හඳුන්වා දී ඇත. ඒ අයට මේ රටේ රැකියා කිරීමේ වරප්‍රසාද පවා ලැබේ. එය ගෝල්ඩන් පැරඩයිස් වීසාව නමින් නම් කර ඇත.

පලමුව, මෙවැනි වැදගත් විසාවක් මේ තරම් අඩු මුදලකට විකුනන්නේ මන්ද? මෙවැන්නක් සඳහා අඩුම තරමින් ඩොලර් ලක්ෂ 7 ½ ක් (US$750,000) වත් අය කල යුතුය. තවද එය ආපසු නොගෙවන මුදලක් විය යුතුය.

මෙය හරියට රටේ වැදගත්ම දේපල වූ ගාළු මුවදොර පිටියේ තිබු හමුදා මුලස්ථාන භුමිය ශැන්ග්‍රීලා හෝටලයට ඇමරිකන් ඩොලර් 50ක් වැනි සොච්චම් මුදලකට වික්කා වැන්න.

තායිලන්තය, වියට්නාමය වැනි රටවල (බටහිර) විදේශිකයන්ට පැමිණ ජීවත් වීම සඳහා විශ්‍රාමික විසා ක්‍රමයක් ක්‍රියාත්මක වේ (වසර 55න් ඉහල අයට). ඒ වීසා සඳහා දළ වශයෙන් ඩොලර් ලක්ෂ 10ක් (US$1,000,000) පමණ ඒ රටවලට ගෙවිය යුතු වේ. තවත් විවිධ බොහෝ ගාස්තු ගෙවිය යුතුවේ. එසේ ගෙව්වත් වසර 10ක වැනි ඉතා දිගු කාලයකට් විසාවක් එක් වර නිකුත් නොකෙරේ. විසා වසරෙන් වසරට වාගේ අළුත් කර ගත යුතුවේ. ඒ මන්ද, මෙසේ එන අය නොයෙක් කූට උපක්‍රමවල යෙදෙන්නෝ නිසාය.

මෙවැනි දීර්ඝ කාලින විසා වලින් විදේශිකයන් ගෙන්වා ගැනීම නිසා තායිලන්තය, කාම්බෝජය, ලාඕස් වැනි රටවල ප්‍රධාන නගර ගණිකා මඩම් මෙන් බවට පත්වී තිබේ. අද බැංකොක් යනු තනිකරම කාමය රජයන  නගරයකි. කැසිනෝ, මත්ද්‍රව්‍ය, කළු සල්ලි ද ඒ නගරවල රජ කරයි.

මේ තරම් පහසුවෙන් වසර 10ක විසාවක් ලොව වෙනත් කිසිම රටකින් ලබා ගත නොහැක. අප මේ තරමටම පිරිහිලාද?

මේ අයට මෙහි රැකියා කිරීමට අවසර දෙන්නේ මන්ද? අපේ ශ්‍රී ලාංකිකයන්ගේ විරැකියා ප්‍රශ්නය රජය පළමුව විසඳිය යුතුය.

මෙම ලියුම්කරු සිතන්නේ මෙය multiple travel විසාවක් කියාය.

අද, ඇමරිකන් ඩොලර් ලක්ෂයක් යනු එතරම් විශාල මුදලක් නොවේ. මේ මුදල් ගෙවා චීන සහ ඉන්දියන් ජාතිකයන් සීමා විරහිතව මෙරටට පැමිණෙනවා ඇත. මැලේසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය වැනි වෙනත් ආසියාතික රටවලින්ද පිරිස පැමිණෙනවා ඇත. දකුණු ඇමරිකා, අප්‍රිකා, වැනි මහාද්වීප වලින් පවා මිනිසුන් මෙරටට පැමිණ පදිංචි වනු ඇත. මේ අය අතර විවිධාකාර පුද්ගලයන් සිටිය හැක – මිනී මරුවන්, ස්ත්‍රී දුෂකයන්, ළමා අපචාරින්, මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, ත්‍රස්තවාදීන් වැනි.

මෙම ඩොලර් ලක්ෂයද තැන්පතු මුදලක් පමණි. වසර 10 අවසානයේ එම මුදල ආපසු ඒ අයට නිදහස් කරනු ඇත. ඉදින් රටට වන සේවය කීම?

තවද මෙම ලියුම්කරු සිතන පරිදි, මුළු පවුල් ඒකකයටම අය කරන්නේ එක් තැන්පතුවක් පමණි. මොවුන්ගේ දරුවන් ඇත්නම් ඔවුන් රජයේ පාසැල් වල නොමිලේ අධ්‍යාපනය හදාරනු ඇත. රජයේ රෝහල් වලින් ඔවුන් නොමිලේ  වෛද්‍ය  පහසුකම් ලබා ගනු ඇත. එසේ නොවේ නම් ඒ බව රජය ප්‍රකාශ කල යුතුය.

මෙවැනි විසා සඳහා දැඩි කොන්දේසි දැමිය යුතුය. දැනට මුකුත්ම නැත.

අද අප අති විශාල විදේශ විනිමය ප්‍රශ්නයකට මුහුණ පා සිටිමු. ඩොලර් බිලියන 60කට ආසන්න ණය කන්දක් අප ඉදිරියේ ඇත. විදේශ පවුලකින් ලබාගන්නා  ඩොලර් ලක්ෂය මෙම දැවැන්ත ප්‍රශ්ණයට  විසඳුමක් නොවේ. ඩොලර් බිලියනයක් සොයා ගැනීමට විදේශ පවුල් ඒකක 1,000ක් මෙරටට ‘ආනයනය’ කිරීමට සිදුවේ (එක් පවුලකට 3 දෙනෙක් නම් දළ වශයෙන් පුදගලයන් 3,000ක්). ඩොලර් බිලියන 5ක් සෙවීමට විදේශ පවුල් ඒකක 5,000ක් අවශ්‍යවේ (දළ වශයෙන් නව පුද්ගලයන් 15,000ක් මෙරටට!).

ඇමරිකන් ඩොලර් 75,000ක් වියදම් කර මේ රටේ මහල් නිවාස දේපලක් මිලදී ගන්නා ඕනෑම් විදේශිකයෙකුට අවුරුදු 5ක විසාවක් දීමේ තවත් විසාවක් රජය හඳුන්වා දී ඇත. කළින් නීතිය වුයේ විදේශිකයන්ට මහල් නිවාස ඒකකයක් මිලදී ගත හැක්කේ බද්දට  පමණි.  නව නිතීය අනුව ඔවුන්ට කෙලින්ම මේවා සින්නකරව අයිති කර ගත හැක.

මෙවැනි නිතී නිසා අප රට වැසියන්ට මහල් නිවාස සංකීර්ණයක නිවාස ඒකකයක් මිලදී ගැනීමේ ආසාව මිරිඟුවක් පමණක් වනු ඇත. විදේශිකයන් සමඟ තරඟ කිරීමට අපේ මිනිසුන්ට වත්කමක් නැත. මෙවැනි ව්‍යාපෘති නිසා මුළු රටේම නිවාස සහ දෙපල මිල ගණන් අහස උසට තවත් නගිනු ඇත. තමන්ගේම නිවහනක් තනා ගැනීමේ සිහින මවන නව විවාහපත් යුවලනට මෙම නව විසා ක්‍රමය අතුල් පහරකි.

මහල් නිවාස ඉදිකරන්නගේ මාෆියාවක් වැනි ඒකාධිකාරයක් කොළඹ ඇත. මේ අය දේශපාලඥයනට විවිධ අල්ලස් දී (සමහරවිට නොමිලේ මහල් නිවාස ඒකකයක්), තමන්ගේ අභිමථාර්තයන් ඉටු කර ගනිත්. 

‘අහක යන නයි අරං රෙද්ද අස්සේ දා නොගන්න’ යයි පැරණි සිංහල කියමනක් ඇත. කොහෙවත් ඉන්නා විදේශිකයන් ඉතා අඩු මුදලට අප රටට ගෙනවා ගෙන නැති ප්‍රශ්ණ මේ රටේ ඇති කරගන්නේ ඇයි?

2010න් පසු විවිධ ව්‍යාපෘති වල වැඩ කිරීමට කියා චීන ජාතිකයන් අති විශාල ගණනක් මෙරටට ගෙන්වා ගත්හ. ඔවුහු බොහෝ දෙනෙක් තවමත් සිටිනා බවයි පෙනෙන්නේ. අද ‘නව චීන්නු’ දස දහස් ගණනින් ශ්‍රී ලංකාවේ ඇත.

චීනයට අප 99 වසරකට ලියා දුන් හම්බන්තොට වරායෙන් චීන ජාතිකයන්ට ශ්‍රී ලංකාව තුලට නිදහසේ, ඉතා පහසුවෙන් පැමිණීමට අවස්ථාවක් උදා වී ඇද්ද?  එහි සිදුවන ආගමන රෙගුලාසි නියාමන කටයුතු කෙසේ සිදුවේද? කොළඹ වරායේද වෙනම චීන සහ ඉන්දීය ජැටි දැන්  ඇත; ඒ තුලින් චීන/ඉන්දීය ජාතිකයන්ට නැව් මඟින් නිදහසේ, හිතු සේ ශ්‍රී ලංකාවට පැම්ණිය හැකිද?

ඉන්දියාවෙන් හොරට ඇවිත් මෙරට ජිවත් වන ඉන්දියානුවන්ද රැසකි.  මාළු අල්ලන ධීවරයන් මෙන් පෙනී සිටිමින් දකුණු ඉන්දියානුවන් බෝට්ටුවලින් පැමිණ හොරෙන් මෙරට පදිංචි වෙන බවට වාර්ථා පළවී තිබුණි. මේවා සංවිධානාත්මකව කරන උතුරේ දේශපාලඥයෝ  සිටි බව නොරහසකි.

රජයේ නිලධාරීන්ට රුපියල් ලක්ෂ ගණනින් හොර මුදල් ගෙවා ඉන්දියානුවන්. පකිස්ථානුවන්, මාලදිවයින් වැසියන් මෙරට පුරවැසිකම් ලබා ගත් කථා ඇත.

චීනයේ සහ ඉන්දියාවේ ජනගහනයන් (එක් රටක) බිලියන 1.4ක් වේ. පකිස්ථානයේ කෝටි 21කි. අපේ ජනගහනය කෝටි 2.2කි.

මේ විසාවන් නිසා ඉදීරියෙදි මෙරටට හොරට ඒමට කිසිවෙකුට අවශ්‍ය නැත. ඩොලර් ලක්ෂයක ආපසු ගෙවන තැන්පතුවක් ගෙවා ලොව ඕනෑම කෙනෙකුට මෙරටට ඒමේ ක්‍රමයක් රජය දැන් හඳුන්වා දී ඇත.

මේ ‘නව විදේශිකයන්’ අප රටට පැමිණ බොහෝ දුරට පදිංචි වනුයේ කොළඹය. කොළඹ අදටත් ජනගහනය අධිකය. ජල/විදුලිය හිඟයන්, ගමනාගමන ප්‍රශ්ණ, රථ වාහන තදබදය, වායු දුෂණය, කසළ ඉවත්කිරීම, අපිරිසිඳුකම, මත් ද්‍රව්‍ය/විවිධ අපරාධ ආදී නොයෙක් ප්‍රශ්ණ වලින් කොළඹ දැනටමත් පිරී ඉතිරි ඇත. නුදුරේදී පෝර්ට් සිටිය වැඩ ආරම්භ කරනු ඇත. ඒ සඳහා දස දහස් ගණනින් චීන ජාතිකයන් පැමිණ කොළඹ පදිංචි වනු ඇත. පාරම්පරික කොළඹ වාසීන්ට සිදු වනුයේ මුහුදට පැනීමද?

අප දැන් අන්ත දුප්පත් බව ඇත්තය; නමුත් දුප්පත්කම තුරන් කර ගැනීම සඳහා, ඩොලර් උපයා ගැනීම සඳහා මීට වඩා හොඳ, වැඩදායි මාර්ග ගැන රජය සැලකිලිමත් විය යුතුය. එවන් බොහෝ මාර්ග තිබේ. රජය සෑම විටම බලනුයේ ලෙහෙසිම මාර්ගයෙන් මුදල් උපයා ගැනීමටය. එවැනි මාර්ග වල කඩතොළු ඇත. රජය මේ නව විසා ක්‍රම වලින් හදන්නේ රට ගණිකාවක් කර එය මුළු ලොවටම විකිනීම වැනි වැඩකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress