ගෝල්පේස් වනාන්තරය, ගෝඨාභයගේ දෙවන යුද්ධය හා බෞද්ධ මධ්‍යම ප්‍රතිපදා විසඳුම –  (3 කොටස)
Posted on April 28th, 2022

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

මීට පෙර ලියූ දෙවන කොටසේ <ගෝල්පේස් තරුණයින්-තරුණියන්ගේ> අවධානය පිණිස  කාරණා ගණනාවක්ම මතුකරණ ලදී. ඔවුන් ප්‍රජා-තන්ත්‍ර (නාස්ලණු ) වාදය නමැති මිථ්‍යාවක් ගිලගෙන සිටින බව පෙනෙන්නේ  චතුර අල්විස්ගේ දෙරණ බිග් ෆෝකස් යූටියුබ් වැඩ සටහනට සහභාගීවූ හතර දෙනාගේ <දාර්ශනික> කතා ඇසූ විටය. ඔය වයසේදී රැවුලක් වවාගෙන මහපොළොවේ යථාර්තයක් නොවන දේ ගැන සුරංගනා සිහින මැවීම, ඊබ්‍රහිම් සහෝදරයින් අල්ලා දෙවියන්ගෙන් ලැබෙන්නට යන කන්‍යාවන් උදෙසා කොළඹ හෝටල් වලට ගොස් බෝම්බ පුපුරවා ගත්තා වැනිමය. දැන් දෙවෙනි වරටත් <අගමැති යක්ෂයා> සමඟ සාකච්චාවකට යෑම මේ <ප්‍රජා-තන්ත්‍ර-වාදී උපාසකයින්> විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඒ වෙනුවට ඔවුන් යක්ෂයාට ඔවුන් ලඟට එන ලෙස ආඥාවක් නිකුත් කර ඇත!

අවිහිංසාවාදයට අනුව <අරගලයකදී > යකා සමඟ වුවත් සාකච්චා කිරීම ජයග්‍රහණය නමැති රේල්පාරේ සිල්පර කොටය. සාකච්චා වලට නොයන්නේ ප්‍රජාතන්ත්‍රය අරහං කොටස්ය. ප්‍රේමදාස විසින් කීප වරක්ම සාකච්චාවට එන ලෙස විජේවීරගෙන් ඉල්ලා සිටියත් ඔහු ආවේ නැත. අවසානයේ හැටදාහක් ජීවිත විනාශවිය!

සිස්ටම් එකක් (විධිමත්/සාධාරණ සැලැස්මක්)  නැතිව සිස්ටම් චේන්ජ් කල නොහැක

මෙම ලිපිවලින් පෙන්වා දීමට හදන්නේ <පෝර දියව්> වලින් ඇරඹී, ගෑස් -තෙල්- භූමිතෙල්- විදුලි දියව් යනුවෙන් පැතිරීගිය රීසනබල් සටනක්, කොළඹ කළු සුද්දන් විසින් රෙජිම් චේන්ජ් ගේම් එකක් ලෙස හයිජැක් කර තිබෙනවා නොවේද යන  කතාවය. ගතවන දිනයක් පාසා අසන්නට ලැබෙන දේවල් වලින් එළිදරව්වන්නේ සිස්ටම් චේන්ජ් සටනක් නොව රට කැබලි කිරීමේ, රටේ සිංහල බෞද්ධ පදනම බිඳ දැමීමේ දේශීය හා විදේශීය බළල් හස්තයකි. අගමැති ඉවත්කරන්න ඉල්ලනවා වෙනුවට ගෝඨාභයගේ හිසම ඉල්ලීම, රෙජිම් චේන්ජ් හරහා සිංහලයාට, සිංහල භාෂාවට, සිංහල  බෞද්ධයාට, ලෝකයේ ඇති එකම කුඩා ඉඩම් කැබැල්ල වන ලංකාව ලිබියාවක් කිරීමය. ඉන් ගොඩ  එන්නේ ක්‍රිස්තියානි, ශාරියා ඉස්ලාම්වාදීන්, දමිළ පෙඩරල්-ඊළම්කාරයින් හා කොළඹ කළු සුද්දන්ය. දිනපතා එකතුවන අළුත් නළුවන්ගෙන් හා ඔවුන් කරණ ප්‍රකාශණ වලින් මේ බව තහවුරු වන්නේය.

නිර්මාල් දේවසිරිගේ ප්‍රංශ විප්ලවය

ප්‍රභාකරන්-ටී.එන්.ඒ. ඉල්ලීමට ඇති විසඳුම ඔවුන් ඉල්ලන දේ දීම යයි කීයන නිර්මාල් ගෝල්පේස් කලබගෑනිය ප්‍රංශ විප්ලවයට සමාන කරයි. අහිංසක මිනිසුන් විශාල සංඛ්‍යාවක් මරා දැමූ එය නැපෝලියන්ගේ අධිරාජ්‍යයෙන් අවසාන විය. ඇමෙරිකාවේ විප්ලවයද එරට ධනවතුන් විසින් තමන්ට විරුද්ධව වැඩකරණ ජනයාගෙන් නැඟී ආ සටන, ඉංග්‍රීසි රජුට විරුද්ධව හරවා කල රැවටීමක් යයි හොවර්ඩ් ෂින් විසින් ලියූ ඇමෙරිකාවේ මහජන ඉතිහාසය නම් පොතේ පෙන්වා දේ (Howard Zinn,  “A People’s History of the United States” 1980).  තම තමන්ගේ රහස් ඇජෙන්ඩා ගෝල්පේස් වලට ඈඳා ගන්නට කුරුමාණම් ඇල්ලීමේලා සැදීමේ හොඳම උදාහරණයක් නම් තම පුතාට ලන්ඩන් සර්ප වෙදකම අතහැර ලංකාව බේරාගන්නට එන්න යයි විශාල ඉල්ලීමක් තිබෙනවා යයි රට කෑලි 10 කට කඩන්නට 1995-2000 කාලයේ රහසින් ප්ලෑන් කල චන්ද්‍රිකා නෝනා විසින් කරණ ලද ප්‍රකාශයය. ඔහුට විමුක්ති කියා නම දැම්මේ ඔහු මෙසේ අනාගත ගැලවුම්කාරයෙක් වනබව හඳහනේ තිබුණ නිසා හෝ දෙවියන් විසින් සංඥා කල නිසා විය යුතුය. පසුගියදා ටවුන්හෝල් රැලියේදී ජේවීපී වේදිකාවේදී ප්‍රකාශවුණේ, ගොල්පේස් පිරිසට අවශ්‍ය, එහෙත් දැනට ඔවුන්ට නැති, කළමනාකාරීත්වයක් හා සංවිධානාත්මක බවක්, ජේවීපී මඟින් සැපයිය යුතුය යන්නය.

සමනලීගේ සාපය

මෙතෙක් ගෝල්පේස් කේජු කෑල්ලට හොට දමනලද සන්නස්ගලගේ සිට හැම දෙනාම කර ඇත්තේ එහි ඉන්නා අහිංසක තරුණයින්ව වැරදිපාරේ දක්කාගෙන යාමය. සාටකය සමඟ සිවුර පටලැවීමය. බෞද්ධ විරෝධී කොළඹ හතේ මඩගොහොරුවක් බවට එය තල්ලුකිරීමය. උදාහරණයක් වශයෙන්, නන්දා මාලිනීට සමාන සිංදු කීමේ කටහඬක් ඇති සමනලී ෆොන්සේකා ජේවීපී වේදිකාවට නැග්ග විට යමෙකුට සිහිපත් වන්නේ මීතොටමුල්ලේ කුණු කන්ද ජේතවනාරාමයට (මඩුපල්ලියට නොව) ගෙනගොස් දමන්නට යයි ඇගේ මුහුණු පොතේ කොපිකල දුෂ්ට පින්තූරයය. මේ සම්බන්ධයෙන් සමනලීගේ සාපය යනුවෙන් ලිපියක් ලංකාවෙබ් වෙබ් අඩවියේ පළකර ඇත.

‘ලයිට් කපන්න එපා යකෝ, මට මිනිහගෙන් කරදරයි.’

<රෙජීම් එකෙන්> කපා දැමූ, හිටපු ඇමති විමල් වීරවංශ විසින් ‘රට අර්බුදයෙන් ගොඩගත හැකිද?’ යනුවෙන් කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී නොබෝදා කල කතාවකින්, ගෝඨාභය ජනාධිපති ධූරයේ සිටියදී, අගමැති අස්වීයාම නොහොත් මේ මොහොතේ රෙජිම් චෙන්ජ් කර රට අරාජික නොකර, සිස්ටම් චේන්ජ් පාරට සාමකාමීව ප්‍රවිෂ්ට විය හැකි ක්‍රම, විධි (ජනතා ජයග්‍රහණ), රැසක් පෙන්වා දී තිබේ. ලංකා සී වෙබ් අඩවියේ ඇති එම වාර්තාව ගෝල්පේස් පිරිස විසින් කියවනවා නම්, රුවළක් නැතිව මුහුදේ පාවෙන ඔරුවක් මෙන් කාලය ගත කරනවා වෙනුවට, රට නිසි මාවතකට ගැනීමට අඩිතාලමක් දැමිය හැකිවන්නේය. ඉහත සඳහන් බෝඩ් එක උස්සාගෙන සිටි කොළඹ තරුණියගේ, හිරුණිකාගේ ප්‍රන්ට් සයිඩ්-බෑක් සයිඩ් කතාව මෙන් සැඟවුණ ආශාව, කුඹුරේ අව්වට පිච්චෙන  මැදවච්චියේ සුමනාවතීලාගේ දුක හරහා සුවපත් කල හැකිය.

රටේ දැනට ඇති අර්බුදය විස්තර කරණ හා ඊට විසඳුම් (ඩොලර් සංචිත වැඩිකර ගැනීමට) යෝජනාකරණ විමල්ගේ කතාවෙන්, වාර්තාකරු විසින් උපුටා දක්වන විෂය මාතෘකා මෙසේය:

1. ආර්ථිකයේ හිල් වැසීම

2. රවි කරුණානායකලා විදේශ විනිමය පණත දුර්වල කිරීම

3. විවෘත ගිණුම් ක්‍රමය අවභාවිත කිරීම

4. ගුදම් පහසුකම් හොරකම මැඩලීම

5. අවුරුදු දෙකකට සෑහෙන්න තාර ගෙනත්!

6. විදෙශ්ගත අර්ථපතීන් හා ශ්‍රමිකයින්ගෙන් ඩොලර් ගෙන්වා ගැනීම දිරිමත් කිරීම

7. අපනයනකරුවන්ගේ ගැටළු

8. සංචාරක කර්මාන්තය යළි ස්ථානගත කිරීම

9. දේශපාලනඥයා සහ රාජ්‍ය නිලධාරිතන්ත්‍රය පවිත්‍රකරණය

10. අල්ලස් හෝ දූෂණ කොමිසම බලගැන්වීම

11. රෙද්ද අස්සෙ මහත්තුරු (පිටරට දේට ගැති දෙමුහුන් මිනිස්සු)

12. සමාජ-දේශපාලන ස්ථාවරභාවය රැක ගැනීම, පවත්වා ගැනීම

මෙම කාරණා, ජනාධිපති ගෝඨාභයගේ කැමැත්තෙන්, ජාතික සභාවක් හා සර්ව පාක්ෂික කුඩා කැබිනට් එකක් තුලින් කරගත හැකියයි විමල් විශ්වාස කරයි. ජේවීපී දෙන්නන් කාසි හෝ නාගානන්දගේ  ව්‍යවස්ථාවට වඩා රටේ සාමකාමි පරිවර්තනයක් සඳහා විමල් කර ඇති යෝජනා ප්‍රායෝගිකය.

ලංකාව සිංහල බෞද්ධයාගේ රටද?

බාර් ඇසෝෂියේසන් එකේ සාලිය පීරිස් හා නීති මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර යන අය විසින් පසුගිය දිනවල කල ප්‍රකාශ වලින් එලිවන්නේ, 1995-2000 නීලන්-ජීඑල්-චන්ද්‍රිකා පැකේජ්ඩීල් වලින්, 17 හා 19 වෙනි සංශෝධන වලින් හා, රනිල් හා සුමන්තිරන්ලාගේ  2018 යහපාලන ඔරුමිත්තනාඩු ව්‍යවස්ථා ජරමරයෙන්, 1987/8 දී 13-A මඟින් පෙඩරල් කර ඇති ලංකාව, ඉන් ඔබ්බට ගොස් කැබලි කිරීමේ ව්‍යපෘතිය යළි පණ ගන්වා ඉදිරියට ගෙනයාම, ගෝටාගෝහෝම් යන අකුරු සෙට් එකේ යටි අරමුණ බවය.

ඊළම් රට, මලයනාඩු, ඔරුවිල් ප්‍රකාශණය, හිස්බුල්ලාගේ කාත්තන්කුඩි-සයින්දමරිදු රටඉඳිගස් වැවු  අරාබි නගරය, පල්ලිවල කඩු ගබඩා කර ඇති අරාබි ඩොලර් සමඟ රටපුරා පැතිරෙන බණ්ඩාරගම අටළුගම වැනි මුස්ලිමුන් පමණක් වසන ශාරියා තනිකරම ඉස්ලාම් ගම්මාන නමැති ශාරියා බලකොටු වැනි සංසිද්ධීන්  දැක දැකත් සිංහලයාට (බෞද්ධයින්ට හා දුප්පත් කතෝලිකයින්ට) ලෝකයේ ඇති එකම ඉඩම් කැබැල්ල ලංකාව යයි කියා සිටීම සිංහල ජාතිවාදයද? සුද්දා ඒමට පෙර දකුණු ඉන්දියානු ආක්‍රමණ තිබියදීත් තුන් සිංහලේ නම් රටේ සිංහල-දමිළ-මුස්ලිම් මිනිසුන් සාමයෙන් ජීවත් විය. මේ බව නොදන්නවා මෙන් ඉන්නේ බෝන් අගේන් කල්ලි හා මාක්ස්වාදී අරටුය. මේ අවස්ථාවේ ගෝටා එලවාගැනීම යනු, රට අරාජික කරවා  අවුලවා  U.N.  සාම හමුදා ගොඩ බස්සවා ගැනීමය. mcc ගිවිසුම ඉබේටම ක්‍රියාවට නැඟීමය.

1815 සිටම රැවටුණු, 1818, 1848, 1883 (කොටහේන රයට්ස්) හා 1915 (සිංහල-මුස්ලිම් කෝලාහලය) දී බැටකෑ, සිංහල බෞද්ධ ජනයා 2019 දී බලාපොරොත්තුවූයේ, සුද්දන් විසින් බෝකර ගිය කළු සුද්දන්ගේ පාලන ක්‍රමය විධිමත් ලෙස, සාධාරණ ලෙස දියකර දැමීමය. එක රටක්-එක නීතියක් යන කාර්යසාධක බලකාය මෙම ගමන සංකේතවත් කරයි. මෙම පසුබිම ගෝල්පේස් තරුණයින් දන්නවාද?

සංහිඳියා ජරමරය හා සර්වාගමික පූට්ටුව

චන්ද්‍රිකා හා මනෝ ගනේෂන් යන දෙන්නා මැදිහත්ව, යහපාලනකාරයින් විසින් ගෙනා ජාතික සමඟිය මඟින්වූයේ අසාද් සාලිට ගෑණු දෙන්නෙක් දෙපැත්තෙන් තබාගෙන නිදහස් දින උත්සවයට ඒමට ඉඩ ලැබීමත්, මෛත්‍රීපාල සිරිසේන විසින් දෙමළෙන් ජාතික ගීය ගැයීමත්, ඊළම්වාදය හා ශාරියාවාදය ශක්තිමත් කරදීමත් පමණය. මේ දෙන්නා අවංක පංචස්කන්ධ දෙකක් වූණා  නම් කල යුතුව තිබුණේ පාසැල්වල සිංහල හා දෙමළ ඉගැන්වීම අනිවාර්ය කර එය ක්‍රියාවට නැඟීම සඳහා සම්පත් සපයාදීමය. වෙන කිසි අටමඟුලක්, ඔරුමිත්තනාඩු ව්‍යවස්ථා විහිළුවක් අවශ්‍ය නැත. මෝඩ මෛත්‍රී තීරණය නිසා සිදුවූයේ දකුණේ භාෂා දෙකෙන්ම ජාතික ගීය ගැයීමත්, උතුරේ දෙමළන් පමණක් එය ගැයීමත් ය! තිබුණු සංහිඳියාවත් නැතිවීයාමය.

පල්ලිවල පිරිත් කීම

මාවෝ සේතුං, චේ ගුවේරා හෝ ලංකාවේ ජේවීපිකාරයින් මෙන් අරගලයක් සඳහා ශරීරයට දුක්දීම ගෝල්පේස් තරුණයින්ගෙන් බලාපොරොත්තු විය නොහැක. සන්නස්ගල විසින් වලිකන්නේද එය පෙන්වා දීමටය. බියර් එකක් බීම, ජොලියක් දැමීම පංචස්කන්ධවල අයිතියක් යයි ඔහු කියයි. මුස්ලිම් බුරියානි දමිළ හා සිංහල තරුණයින් බෙදාගෙන කෑම, ජාතික කොඩිය උස්සාගෙන හැමෝම යෑම, ඉස්ලාම් ස්ත්‍රිය හාමුදුරුවන්ට කුඩේ ඉහළීම ජාතික සමඟිය, ආගමික සහජීවනය ගෝල්පේස් වලින් ඇරඹුණා නොවේද කියා උදම් ඇණීමට හේතුවී තිබේ. එහෙත් මෙය පැස්බරා වැල්ලේ හිස සඟවා ගනීමක්, තමන් දැන හෝ නොදැන තමන්වම රවටා ගැනීමක් නොවේද?

අන්ධයින් නොවී වැඩිදුර නොබලාම මේ බොරුව ඔප්පුවන්නේ නැද්ද? සුමන්තිරන්, රාස්මානික්කම් කොල්ලා, ගජේන්ද්‍ර පොන්නම්බලම් පාරිලිමේන්තුවේ කියන්නේ මේ කතාවද? පුදුමයට මෙන් විග්නේෂ්වරන් ගොයියා තාමත් නිහඬය. ප්‍රභාකරන්ට බොම්බෙන් ගන්න බැරිවූ දේ පෑණෙන් ගන්නට මොවුන් එලිපිටම ක්‍රියාකරණවා නොවේද? ඇමෙරිකාව යටින් සිට UN සාම හමුදා ගෙන්වා ගැනීමට මේ අය තලුමරමින් ඉන්නවා නොවේද?

තනි සර්වබලධාරී දෙවියෙක් අදහන් ක්‍රිස්තියානී හා ඉස්ලාම් ලබ්ධිකයින්ට, එය නොපිලිගන්නා බෞද්ධයින් සමඟ පෑස්සීමක් බුරියානි හරහා ලැබිය හැකිද? සාමය කතාකල ගාන්ධිට අලිජින්නා කිව්වේ, ‘මිස්ටර් ගාන්ධි ඔබලා ගවයාට දේවත්වයෙන් සළකයි, අපි ඌව මරගෙන කයි. ඉතින් අපි දෙගොල්ල අතර සාමයක් තිබිය හැකිද?’ යනුය. බෝන් අගේන්කාරයින්ට, රෝසි සේනානායකට, විග්නේෂ්වරන්ට හා සිංහල බෞද්ධ පවුල්වල උපන් මාක්ස්වාදීන්ට පවා බුදුපිළිම අරහංහය. බුද්ධ දර්ශණයට අනුව ලිංග වන්දනාව අකැපය. එසේ වතත්, පන්සල්වල ශුද්ධ භූමියෙන් සියේට 10-15 අතර වන්වී ඇත්තේ හින්දු දෙවි-දේවතාවුන්ටය (ශිව ලිංගය හැර).

ඉල්ලා සිටියොත් ඕනෑම පන්සලක බණ මඩුවේ හෝ පන්සල් භූමියේ ක්‍රිස්තියානි හෝ ඉස්ලාම් භක්තිකයින්ට යාඥාවක් සඳහා අවස්ථාවක් ලබාගත හැකිය. එහෙත් පල්ලියක යාඥා ශාලාවේ නොව ඉඩමේ වත් පිරිතක් කියන්නට අවසර දේවිද? නෝම්බි ඇල්ලීම, බුරියානි එකට බෙදාගෙන කෑම වැනි ජොලි වැඩ ලෝකයේ ක්‍රිස්තියානි හා ශාරියා ව්‍යාප්තවාද වලින් වෙන්කර ගැනීමට මේ තරුණයින්ට දැණුමක්, දැකුමක් තිබෙනවාද?

බැටළු පැටවුන් හා එඬේරා

බුදු දහමේ උගන්වන්නේ <එව බලව>, ඒහි පස්සිකෝ, කම් ඇන්ඩ් එක්සැමින් කියාය. ඒබ්‍රහම් ලබ්ධි කියන්නේ <එව අදහව> කම් ඇන්ඩ් බිලිව් කියාය. මේ නිසා මේ ලබ්ධීන් හා මාක්ස්වාදය එක සමානය. බුද්ධාගමේ ඇති සිතීමේ නිදහසේ තරම කොතරම්ද යන්න පේන්නේ නොයෙක් හාමුදුරුවරු නටන නොයෙක් නාඩගම් දෙස බලන විටය. සමහරුන්ට සිවුර කියන්නේ හොරුන්ට සැඟවිය හැකි කැලයක්ය.

ගෝල්පේස් ආ අවංක තරුණයින් බැටළු පැටියන්  නොවිය යුතුය. නැත්නම් සිදුවන්නේ ඇල්ලේ ගුණවංශ හිමියන් කී කතාවට ඔවුන්ද අසුවීමය (රට වෙනුවෙන් සටන් බිමට උදව්වට ගිය උන්වහන්සේ දෙවරක්ම්හෝ තෙවරක් ටයිගර් වෙඩිපාරවලින් ගැලවුණේය). අපි දේශපාලකයින්ට කොඩි උස්සාගෙන ගිහින් අන්තිමට අපිට ඉතුරුවුණේ කොඩිවල පොලු පමණය යන කියමන 1971 දී, 1988/9 දී රටේ තරුණ පිරිසට ද අත්විය. ප්‍රභාකරන් හා ජේවීපිකාරයින් දරුවන් පිටරට යවා උගන්නද්දී, දුප්පත් ළමයි නොමිලේ දෙන සරසවි වලට ගොස් හරක් මෙන් පෙලපාලි යමින් සිටී. විශ්ව විද්‍යාල හාමුදුරුවරු පෙලපාලි යෑම තහනම් කල යුතුය. රටේ බදු මුදලින්, මහපොල ආධාරයෙන් ඔවුන් නඩත්තු කරන්නේ පාරවල පොරකා ගෑස් හා ජලය ස්නානය කරන්නට නොවේ නොමිලේ උගන්වනවා වෙනුවට ණයක් ලබාදී එය ආපසු ලබාගත යුතුය. මා ඉගෙන ගත්තේ  ඇන් ඇම් පෙරේරා ගෙනා මහජන බැංකු ණය ක්‍රමය යටතේය.

නියම වශයෙන් සිස්ටම් චේන්ජ් එකක් කිරීමක්  සඳහා කලයුතුදේ පෙන්වා දීම මීලඟ අවසාන කොටසේ අරමුණය. රටේ 69 ලක්ෂයේ චන්දය ගැන තැකීමක් මේ තරුණයින්ට තිබෙනවා නම්, මහින්ද හෝ ගෝඨභය හෝ වෙනුවට ගේන අළුත් පංචකන්ධය, මේ රට සිංහල බෞද්ධයින්ගේ රට යයි පිළිගන්නවාද යන ප්‍රශ්ණයට, කෙලින්ම හා අවංකවම  <ඔව්> යයි  කියන අයෙක් යන්න සහතික කරවා ගත යුතුය. ඒ කාලයේ සරත් ෆොන්සේකා සිටියේ මේ මතයේය. සෙසු ජනවර්ගවලට හිරිහැර කිරීමක් ඉන් අදහස් නොකෙරේ. එහෙත් පොසොන් කියන්නේ මේ රටට සිදුවූ ප්‍රථම ආක්‍රමණය යයි කියන්නට දිව නැවෙන අයෙක් පිරිත් නූල් බැඳගත්තාට වැඩක් තිබේවිද?

දැන්වත් හොර පිරිත්නූල් කාරයින්ගෙන් ගැලවිය යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress