‘අරගලය පිටුපස සිටි බළල් අත් ගැන සොයන්න’ ජනාධිපති කොමිසමක් ඕනේ” – මොහොමඩ් මුසම්මිල්
Posted on August 22nd, 2022

Lanka Lead News

රට තුළ පැනනැගුණු ආර්ථික ආපදාව හේතුවෙන් ජනතාව මුහුණ දුන් සාධාරණ දුක්ගැනවිලි ගසාකමින්, දෙමළ ඩයස්පෝරාවෙන් මෙන්ම සෞදි අරාබි හා කටාර් රාජ්‍යවල සංවිධානවලින් යහමින් මුදල් ලබා ගනිමින්, ශ්‍රී ලංකා රාජ්‍යය බිඳවැට්ටවීමට උත්සාහ කළ ගෝල්ෆේස් අරගලය පිටුපස සිටි දේශපාලන පක්ෂ දෙකක් ඇතුළු සියලු බළල් අත් පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකොට, මෙකී අරගලයට සිය සාධාරණ දුක්ගැනවිලි හේතුවෙන් සහාය දුන් අහිංසක ජනතාව ඇතුළු සියලු රටවැසියන්ට සත්‍ය තොරතුරු අනාවරණය කිරීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවිය යුතුයැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, මොහොමඩ් මුසම්මිල් මහතා අවධාරණය කරයි.

අද(21) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා මෙසේ ද සඳහන් කළේය.

ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාවට ජීවිත පවත්වාගෙන යෑම දුෂ්කර වුණා. දේශපාලන අර්බුදය මෝරායෑමත් සමග මේ ප්‍රශ්නය විසඳාගැනීම පිළිබඳව ජනතාව තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය වුණා, විශ්වාසය බිඳ වැටුණා. ඉතාමත් දුගී ජනයාගේ සිට, යම් මුදලක් අතේ ඇති අයට පවා මේ රටේ ජීවත් වීම දුෂ්කර වුණා. ඒ නිසා හැම මිනිසකුටම තම හිත ඇතුලේ, තමන් තුළ අරගලයක් කරන්න සිදුවුණා. දරුවන්ට තුන්වේල කන්න දෙන්න කුස්සිය තුළ අරගල කරන්න අම්මාට සිදුවුණා. තම ප්‍රමාණවත් නොවන ආදායමෙන් දරුවන්ට කන්න දෙන්නේ කොහොමද, කියන ප්‍රශ්නය තාත්තාට ආවා. රැකියා අහිමිවූවන්ට තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්නේ කොහොමද, කියන ප්‍රශ්නය ඇති වුණා. ගොවියාට පොහොර නොමැතිවීම, අස්වැන්න ප්‍රමාණවත් නොවීම නිසා ප්‍රශ්න ඇති වුණා. ඒ අස්වැන්න පවා නෙළන්න ඉන්ධන නැති වුණා. ධීවරයාට රස්සාව කරන්න ඉන්ධන නැති වුණා. ඇතැම් මධ්‍යම පාන්තික ජනතාවට, නාගරික මහල් නිවාසවල ජනතාවට ගෑස් හිඟය නිසා කෑම ටික උයාගන්න බැරි වුණා. ව්‍යවසායකයාගේ බැංකු පොලිය වැඩි වුණා. තරුණයාට රැකියා සහ අනාගත බලාපොරොත්තු අහිමි වුණා. ශිෂ්‍යයාට පාසල් අධ්‍යාපනය, විශ්ව විද්‍යාල අධ්‍යාපනය අහිමි වුණා.

‘ගෝල්ෆේස් අරගලය’

මේ ආර්ථික සහ දේශපාලන අර්බුදය විසින් අපේ මුළුමහත් සමාජයම ප්‍රශ්න රාශියක් හේතුවෙන් අකර්මණ්‍ය වන තත්වයට ඇදදැමුවා. මේ තත්ත්වය තුළ තමයි ‘ගෝල්ෆේස් අරගලය’ නමැති අරගලයක් ආරම්භ වන්නේ. ඉහත කී ජනතාවගේ සාධාරණ ප්‍රශ්න, දුක්ගැනවිලි ඔවුන් ප්‍රකාශ කළා. සාධාරණ ප්‍රශ්න තිබූ පිරිස් සංවිධානය කරන්න පටන් ගත්තා. මේ අරගලයට සහාය දීපු දසදහස් සංඛ්‍යාත මිනිස්සු ගෝල්ෆේස් ආවේ තමන්ගේ සාධාරණ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගෙන. ඔවුන්ට උවමනා වුණේ ඔවුන් මුහුණ දී තිබෙන අර්බුදයෙන් එළියට එන්න.

‘අරගලයේ ලයිසන් අයිතිකාරයෝ වුණු චණ්ඩි’

නමුත් දැන් ආරංචි වෙනවා, දෙමළ ඩයස්පෝරාවේ මුදල් මේ අරගලය සඳහා විශාල වශයෙන් වැය කරලා තිබෙනවා, කියා. කුස්සියේ හිටපු, තමන්ගේ දරුවන්ට කන්න දෙන්න බැරිව පාරට ආපු අම්මාට, පොහොර ටික නැතිව ආපු ගොවියාට නොවෙයි මේ මුදල් ලැබුණේ. ඉන්ධන නැතිව, මුහුදු ගිහින් මාළු ටික ගේන්න බැරිව හිටිය ධීවරයාට නොවෙයි මේ මුදල් ලැබුණේ. එහෙමනම් මේ මුදල් ලැබුණේ කාටද, කියලා අරගලයේ හිටපු නායකයෝ කියන්න ඕනේ. දෙමළ ඩයස්පෝරාව ඉතා පැහැදිලිව කියනවා, ‘අරගලයට අපි මුදල් දුන්නා’ කියා. කටාර්වලින්, සෞදිවලින් මුදල් ලැබුණා, කියා ඔවුන් පැහැදිලිව පවසනවා. අරගලය තමන්ගේ කරගන්න හදපු, අයිතිකාරයෝ වෙන්න හදපු, ලයිසන් අයිතිකාරයෝ වුණු චණ්ඩීන් හිටියා. අද එකෙක් කට ඇරලා කියන්නේ නැහැ ‘අපට එහෙම කවුරුත් සල්ලි දුන්නෙ නැහැ’ කියා.

ජවිපෙ ‘මුළුමහත් අරගලයම අපේ’ කිව්වා.

එදා අනුර දිසානායක කීවා, ‘අපේ සමාජවාදී කලා සංගමය, සමාජවාදී තරුණ සංගමය තමයි අරගලයේ ඉදිරියෙන්ම ඉන්නේ. ශිෂ්‍ය සංගමය, කාන්තා සංගමය ඒ සියල්ලමත් ඉන්නවා’ කියා. ‘මුළුමහත් අරගලයම අපේ’ කිව්වා. මුළුමහත් අරගලයම තමන්ගේ වුණාට ඩයස්පෝරාව ‘අරගලයට අපේ මුදල් ආවා’ කියද්දී, ‘අපට මුදල් ආවේ නැහැ’ කියා ඒක ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායකලා ප්‍රතික්ෂේප කරනවා අපි දුටුවේ නැහැ. අරගලයේ ‘ඉස්සරහම’ හිටියේ ජවිපෙ නම් ඔවුන්ට තමයි ඩයස්පෝරාවෙන්, සෞදියෙන්, කටාර්වලින් මුදල් එන්න ඕනේ. පෙරටුගාමීන් කීවා,’අපි තමයි අරගලයේ පෙරටුගාමී භූමිකාව ඉටු කරන්නේ’ කියා. ඔවුන් මොකක්ද අද මේ චෝදනාව ගැන කියන්නේ. ඒ නිසා ඉතාම පැහැදිලියි, මේ අහිංසක මිනිස්සුන්ගේ ජීවත්වීමේ අර්බුදය ගසාකාලා ඩයස්පොරාවේ සල්ලි, සෞදි, කටාර් සල්ලි ලබාගෙන යහතින් වැජඹුණු පිරිසක් ඉඳලා තිබෙනවා, ඒ මිනිස්සුන්ගේ දුක, වේදනාව, ආවේගය පාවිච්චි කරලා ජීවත් වුණු පිරිසක් ඉන්නවා, කියා, ඔවුන් මේ පිළිබඳව මේ රටේ මහජනයාට උත්තර බඳින්න ඕනේ.

ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවක්

අපේ රටේ තිබුණු ආපදා තත්ත්වය යොදා ගනිමින්, රාජ්‍යය අස්ථාවර කිරීම සඳහා කරපු ඒ මැදිහත්වීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු විය යුතුයි, ඒ සඳහා ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවක් පත් කළ යුතුයි, කියා අප විශ්වාස කරනවා. අපි දන්නවා යුක්‍රේනයේත් මෙවැනි අරගලයක් ක්‍රියාත්මක වුණා. නමුත් එය ‘මයිදාන් පාක්’ එක තුළ පමණයි ක්‍රියාත්මක වුණේ. මාස ගණනක් පැවති එම අරගලයේදී ඒ රටේ අපරාධ නීතිය උල්ලංඝනය කළේ නැහැ. ඉන්දියාවේ ගොවීන්ගේ අරගලයත් මාස ගණනක් ක්‍රියාත්මක වුණා. නමුත් ඒ රටේ නීතිය උල්ලංඝනය කළේ නැහැ. නමුත් අපේ රටේදී රාජ්‍යයේ මර්මස්ථානවලට පවා කඩාවැදීමෙන්.දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය ඇතුළු මුළුමහත් නීති පද්ධතියම උල්ලංඝනය කර තිබෙනවා, ඒ නිසා මේ අරගලය පිටුපස තිබුණු ‘බළල් අත්’ පිළිබඳව, ලැබුණු මුදල් පිළිබඳව ඇත්ත කරුණු සොයා ගන්න ජනතාවට අයිතියක් තිබෙනවා. විශේෂයෙන් අරගලයට තමන්ගේ බඩගින්න ගැන හෝ සමාජ වෙනසක් ගැන හෝ හිතලා ස්වෙච්ඡාවෙන් ආපු මිනිස්සුන්ට අයිතියක් තිබෙනවා මේ ගැන දැනගන්න. ඒ නිසා අපි විශ්වාස කරනවා වහාම ‘ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කළ යුතුයි’ කියා. අපි දන්නවා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයට, USAID එකෙන්, NED එකෙන් මුදල් ලැබී තිබෙනවා, කියා. කිවිසුමක් ගියත් නිවේදන නිකුත් කරන සාලිය පීරිස්ලා මේ ගැන වචනයක්වත් කියලා නැහැ. ඇත්ත තොරතුරු දැනගැනීමට ඇති ජනතා අයිතියට ගරු කරලා, මේ සියල්ල පිළිබඳව පැහැදිලි විමර්ශනයක් කිරීමට ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කළ යුතුයි.

මළගිය ඇතැම් දේශපාලන පක්ෂ කලබල වුණාට, තම ප්‍රශ්නවලට උත්තර රැගෙන එන අපේ නව දේශපාලන ව්‍යාපාරය ජනතාව ආදරයෙන් වැළඳ ගනීවි, කියා අප විශ්වාස කරනවා”

ඒ වගේම ජාතික නිදහස් පෙරමුණ ඇතුළු ස්වාධීන පක්ෂ එකමුතුවේ නව සන්ධානය ජනගත කිරීම ලබන සැප්තැම්බර් 04 වැනිදා සිදුකිරීමට නියමිතයි. ඒකට මළගිය දේශපාලන පක්ෂ කලබල වෙලා. මිනියක් ළග තියාගෙන අඬන දොඩන අය, මිනියක් ළඟ තියාගෙන බූරු ගහන අය මේ කවුරුත් දන්නවා, මේ මිනියට පණ එන්නෙ නැහැ, කියා. ඒ වගේ දේශපාලන පක්ෂත් අපේ රටේ තිබෙනවා. ඒවා මළගිය දේශපාලන පක්ෂ, ඒවාට පණ එන්නේ නැහැ. දැන් සමහරු උත්සාහ කරනවා, මාධ්‍ය සාකච්ඡා තියලා ‘ඒ මිනියට යළි පණ දෙන්න’ ඒක ඔවුන්ගේ හිතළුවක් පමණයි. මේ රටේ ජනතාවට අද අවශ්‍යව ඇත්තේ දේශපාලන පක්ෂයක උවමනාව නොවෙයි. මේ තිබෙන ප්‍රශ්නවලට උත්තර හොයන දේශපාලන ව්‍යාපාරයක්. සාම්ප්‍රදායික මාර්ගවලින් බැහැරව ගිහිල්ලා සැබෑ විකල්ප මාර්ගයකින් තම ප්‍රශ්නවලට උත්තර ලබා දෙන තෙක් තමයි ජනතාව බලා ඉන්නේ. ප්‍රශ්න වමාරන දේශපාලන පක්ෂ ඕනෑ තරම් තිබෙනවා. හන්දියක් ගානේ රැස්වීම් තියලා ප්‍රශ්න විතරක් කතා කරන දේශපාලන පක්ෂ තිබෙනවා. අපි අභියෝග කරනවා, එක ප්‍රශ්නයකට උත්තරයක් කියන්න, කියලා.

ඔබ දන්නවා අපි විපක්ෂයේ හිටියත් විමල් වීරවංශ මන්ත්‍රීතුමා, ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට විශ්වාසනීය උත්තරයක් හොයලා දුන්නා, කියා. මේ ආණ්ඩුවයි, නිලධාරීතන්ත්‍රයයි මේක පස්සට අදිමින් ගියත් විමල් වීරවංශ මන්ත්‍රීතුමා ලෝක වෙළඳපොළේ මිලට වඩා 35%ක් අඩුවෙන් රුසියාවේ තෙල් ගන්න මාර්ගයක් අද සොයා දීලා තිබෙනවා. අපි ප්‍රශ්න දිහා බැලුවේ ප්‍රශ්න වවාගෙන කන මිනිස්සු විදිහට නොවෙයි, ප්‍රශ්නවලට උත්තර හොයන මිනිස්සු විදිහට. ඒ නිසා අපි බිහි කරන දේශපාලන ව්‍යාපාරයත් ජනතා ප්‍රශ්නවලට උත්තර හොයන දේශපාලන ව්‍යාපාරයක්. ඒ නිසා ‘මිනිය වටේ හඬමින් ඉන්න අය’ ප්‍රහාර එල්ල කරන්න හැදුවාට මේ රටේ මිනිස්සු තමන්ගේ ප්‍රශ්නවලට උත්තර හොයන මේ දේශපාලන ව්‍යාපාරය ආදරයෙන් වැළඳ ගනීවි, කියා අපි විශ්වාස කරනවා.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress