විපක්ෂයේ පාගමන කොළඹට – “අරගලයේ විරෝධයට පොලිසියෙන් වැට – විරෝධයට ආ සජිත් ඇතුලු පිරිසකට හූවක්
Posted on November 2nd, 2022

උපුටා ගැන්ම  හිරු පුවත්

සමගි ජනබලවේගය ඇතුළු පක්ෂ කිහිපයක් සහ වෘත්තීය සමිති එක්ව අද කොළඹදී විරෝධතා පාගමනක් සංවිධාන කළා.

ඒ, කොටුව දුම්රියපල ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ උද්ඝෝෂණයක් පැවැත්වීම සඳහා අවසර ලබා නොදෙන බවට පොලිසිය අදාළ සංවිධායකයින්ට ලිඛිතව දැනුම් දී තිබූ පසුබිමකයි.

සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් සහ වෘත්තීය සමිති එක්ව සංවිධාන කළ අදාළ විරෝධතාව ආරම්භ වීමටත් ප්‍රථම මරදාන, කොළඹ කොටුව ඇතුළු ප්‍රදේශවලට පෙරවරුවේ සිටම දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණා.

විරෝධතාව සඳහා සහභාගී වන බවට තොරතුරු ලැබී ඇති කණ්ඩායම් වෙත විරෝධතාව හේතුවෙන් සිදුවන මහජන පීඩා පිළිබඳ දැනුවත් කරමින් පොලීසිය ලිපි යොමු කර තිබුණා.

එමඟින් දක්වා තිබුණේ, දිවයිනට විදේශිකයන් පැමිණීම ආරම්භ වී ඇති බැවින් මෙවැනි විරෝධතා හේතුවෙන් ඔවුන් අපහසුතාවයට පත්වීමෙන් ජාතික ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල විය හැකි බවයි.

නීති උල්ලංඝනය කරමින් ජනතාවට පීඩාවන අයුරින් විරෝධතාවන් සිදු කරන ඕනෑම අවස්ථාවක එම පීඩාවන් ඉවත් කිරීම සඳහා පවතින නීති ප්‍රකාරව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව එම ලිපියේ සඳහන්.

එමෙන්ම කොටුව දුම්රියපොල ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ උද්ඝෝෂණය පැවැත්වීමට අවසර නොදෙන බවද එම ලිපිය මඟින් වැඩිදුරටත් දන්වා තිබුණා.

එසේම, මෙම විරෝධතාව සම්බන්ධයෙන් කොටුව පොලීසිය අද කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ කරුණු දක්වනු ලැබුවා. එමඟින් ඔවුන් පෙන්වා දී තිබුණේ විරෝධතාව හේතුවෙන් මහජනතාවට පීඩාවක් සිදුවිය හැකි බවයි.

ඒ අනුව එවැනි බාධාවක් සිදුවුවහොත් පොලිස් ආඥා පනත යටතේ නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවද ඔවුන් අධිකරණයට කරුණු දක්වා තිබුණා.

මෙවන් පසුබිමක විරෝධතා පාගමන ආරම්භ කිරීම සඳහා පස්වරු 3ට පමණ මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටට දේශපාලන පක්ෂ නියෝජිතයින් හා වෘත්තීය සමිති නියෝජිතයින් එක්ව සිටියා.

ඒ අනුව සමගි ජන බලවේගය, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, පෙරටුගාමි සමාජවාදී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් සහ වෘත්තීය සමිති කිහිපයක් එම ස්ථානයට පැමිණියා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, චන්දිම වීරක්කොඩි, හේෂා විතානගේ, රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් ඊට එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

කෙසේ වෙතත් ඊට ජනතා විමුක්ති පෙරමුණ සහභාගි වුයේ නැහැ.

පස්වරු 3.30ට පමණ මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් විරෝධතා පාගමන ආරම්භ වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද ඊට එක්වුණා.

මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ ආණ්ඩුව සිදු කරන මර්දන ක්‍රියා නවත්වන ලෙස ඉල්ලමින්.<br /><br />ටෙක්නිකල් මංසන්ධිය හරහා විරෝධතාකරුවන් ඕල්කට් මාවතට පිවිස කොළඹ – කොටුව දෙසට ගමන් කළා.

කෙසේ වෙතත් විරෝධතාකරුවන් එතැන් සිට මද දුරක් ඉදිරියට ගමන් කරද්දී පොලිසිය විරෝධතාකරුවන්ගේ මඟ හරස් කළා.

අනතුරුව පිරිස එම ස්ථානයේ රැඳී සිටිමින් විරෝධතාවයේ නිරත වුණා.

මෙහිදී විරෝධතාවයට එක්වූ පිරිසක් එහි සිටි සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලනඥයින්ටත් විරෝධය පළ කළා.

මේ අතර, මෙම විරෝධතාව හේතුවෙන් රාජකාරී අවසන් කර නිවෙස් බලා යමින් සිටි පිරිස් ඇතුළු බොහෝ දෙනෙකු අපහසුතාවට පත්ව සිටි ආකාරය දක්නට ලැබුණා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress