රටක බඩගින්න නිවන්න සියලු දෙනා මැදිහත් වෙන්න අවශ්‍යම වෙලාවක්. ඒකට කැපවෙන්න මේ මහපොළොව සූදානම්…     – අග්‍රාමාත්‍ය දිනේෂ්  ගුණවර්ධන මහතා.
Posted on November 13th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

රටක බඩගින්න නිවන්න සියලු දෙනා එක් විය යුතු අවස්ථාව එළඹ ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ්  ගුණවර්ධන මහතා පවසයි.
ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ රත්නපුර දිස්ත්‍රික් රැස්වීම  2022.11.12 දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අවස්ථාවේදී  අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය වරයා  –
වගා කල හැකි කිසිම රජයේ ඉඩමක් වගා නොකර නිකන් තියන්න  බැහැ. නිලධාරීන්ට ඒවාට හරස් වෙන්නත් බැහැ. බාධා කරන්නත් බැහැ. මේ මහ පොළොවට පුළුවන් අපිව අහරින් ස්වයංපෝෂිත කරන්න. අලුත් යෞවන ව්‍යවසායකයන්ට කෘෂිකර්මය පිළිබඳව විශ්වාසයක් ඇති කිරීමට වාතාවරණයක්ඒ තුළින් ඇති කළ යුතුයි. නිලධාරීන් හැම විටම ඒ සඳහා වන සියලුම සහයෝගයන් ලබා දිය යුතුයි.
ඇති වී තිබෙන දැවැන්ත ආර්ථික අභියෝග ජයගන්නා අවස්ථාවකට අප යොමු වී තිබෙනවා. හැම ඩොලරයක්ම ඉතුරු කර ගන්නයි අප උත්සාහ කළ යුත්තේ. රජයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ  ක්ෂේත්‍ර ගණනාවක් තුළ ආහාර සුරක්ෂිතතාවයට මූලිකත්වය හිමි වෙනවා.
පොහොර බීජ සහ අනෙකුත් ද්‍රව්‍ය රජය මැදිහත්වී ලබාදීමේ වැඩපිළිවෙළ යළි ස්ථාපිත කර තිබෙනවා. දැනට වගා කර තිබෙන ඉඩම් ප්‍රමාණය පසුගිය කන්නයට වඩා වැඩි කර ගැනීම, වගා නොකරන ඉඩම් වගාවට යොමු කිරීම, කිසි ලෙසකින් වගා නොකරන ඉඩම් නැවත වගාවට යොමු කිරීම යන ඉලක්ක සාර්ථක කර ගත යුතුයි.
අලුත් ආදායම් මාර්ග ගම්වලට ගේන්න අලුත් යෞවන ව්‍යවසායකයින්ට කෘෂිකර්මාන්තය පිළිබඳ අලුත් විශ්වාසයක් ජනිත කිරීම සහ ජාත්‍යන්තර අභියෝගය ජය ගැනීම පිළිබඳව  අවධානය යොමු කළ යුතුයි.
ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ගොවිජන සේවා පනත වැනි පනත් හරහා ලබා දී තිබෙන අවස්ථා ප්‍රයෝජනයට ගෙන වගාවන් සඳහා ඉඩම් නිදහස් කිරීමට මේ අවස්ථාවේදී රාජ්‍ය යාන්ත්‍රණය මීට වඩා උනන්දු විය යුතුයි.
රාජ්‍ය නිලධාරීන්ට මම කියන්නේ මේ කර්තව්‍ය  සාර්ථක කර ගන්න සියලු දෙනාට මග පෙන්වන්න. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට මහවැලි අධිකාරියට සහ දැනට වතු සමාගම් වල පවතින වගා නොකළ ඉඩම් වගා කිරීම සඳහා  කඩිනම් පියවර ගත යුතුයි.
විදේශ විනිමය රටට දිනා ගැනීමේ කෙටි කාලීන හා දිගු කාලීන වැඩසටහන් වලට මුළු රටම උපයෝගී කරගත හැකි ප්‍රධානම අවස්ථාවක් විදිහට මේ අවස්ථාව අපි සලකනවා. කර්මාන්ත එනතුරු බලා සිටිය යුතු නැහැ. කෘෂිකර්මාන්තය ප්‍රධාන බෝග වගාවන් නිෂ්පාදනය කර කර්මාන්ත බවට පරිවර්තනය කරන්න පුළුවන්.
අපේ ඉලක්කය සපුරා ගන්නා තුරු ආහාර බෝග වගේම අපනයන බෝග වගාවත් ක්‍රියාත්මක කළ යුතුයි. ආර්ථික වශයෙන් තිබුණු අමාරුම කාලය වෙනසකට පරිවර්තනය කිරීමට අපට හැකි වී තිබෙනවා.
සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අකිල එල්ලාවල, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, ප්‍රේමලාල් ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, පවිත්‍රා වන්නිආරච්චි, ජෝන් සෙනෙවිරත්න, මුදිතා සොයිසා, වරුණ ප්‍රියන්ත ලියනගේ, ගාමිණී වලේබොඩ ඇතුළු පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress