ශ්‍රී ලංකා ඉතිහාසය විකෘති කිරීම් (3 වන කොටස)
Posted on November 15th, 2022

චානක බණ්ඩාරගේ

රටේ අවාසනාවකට, මෙම මහාචාර්යවරයා ශ්‍රේණි 6, 7 සහ 10 ඉතිහාසය පෙළ පොත සංස්කරණ කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙකි. ඔහු සම්බන්ධ පාසැල් පෙළපොත් වල පහත සඳහන් වැරදි ඇත:

ඔහු සම්බන්ධ නැති ශ්‍රේණි 8 සහ 9 පෙළ පොත්වල කිසිදු වරදක් නැත.

(කලින් (1වෙනි සහ 2 වෙනි) ලිපිවල මෙන් ඇල අකුරු වලින් (italics) දක්වා ඇති සටහන් මෙම ලියුම්කරුගේ ඒවාය).

6 ශ්‍රේණිය පොත (සංස්කාරක මණ්ඩලය –  හඟුරන්කෙත ධීරානන්ද හිමි, රාජ් සෝමදේව, පත්මසිරි කන්නංගර, චන්දිමා ධර්මපාල) –

33වෙනි පිටුව – “විජය නමින් හැඳින්වෙන කුමරෙකු ……. ඉන්දියාවේ සිට පැමිණ මේ රටේ පදිංචි වූ බව ඉතිහාසයේ සඳහන්ය. මේ බව පැහැදිලිව විස්තර වන්නේ  ……. මහාවංශය නම් වූ වැදගත් ඓතිහාසික මුලාශ්‍රයෙනි.” 

විජය ‘නමින්’ , මහාවංශය ‘නම්වූ’ වදන් වලින් සිසු දරුවාගේ මනසේ විජය, මහාවංශය පිළිබඳව කුකුසක් ඇති කරවයි. මෙය උවමනාවෙන්ම සිදු කර ඇති දෙයකි.

මෙම පොත විජයාගමනය ඉතාම සුළුවෙන් හුවා දක්වයි.  19, 20වෙනි ශතවර්ෂ වල ලියැවුණු පාසැල් ඉතිහාස පොත් වල විජයාගමනය අනිවාර්යයෙන්ම, ධීර්ග ලෙස සඳහන් වුණි. ඒ පිළිබඳව විස්තර කළින් ලිපි වලින් ලබා දෙන ලදී.

ශ්‍රී ලංකාවේ තරම් ඉතිහාසය ඉතා හොඳින් ග්‍රන්තාරූට කරන ලද වෙනත් කිසිම රටක් ලොව නැතැයි කිවේ පොන්නම්බලම් රාමනාදන් මහතාය. නමුත් මෙම මහාචාර්යවරයා වැනි නුතන ඉතිහාසඥයන් උත්සහ දරන්නේ එම පැහැදිලි ඉතිහාසය අවුල් ජාලාවක් බවට පත් කිරීමටය. එහිදී, අපේ දරුවන් නොමඟ යැවීමට තැත් කිරීම සමාව නොදිය හැකි වරදකි.

35 පිටුව – “අවුරුදු 4000 කට ඉහත කාලයකදී ඔවුහු යකඩ සොයා ගත්හ.”

මෙය නව සොයා ගැනීමකි. එවැන්නක් ‘peer review’ මඟින් ලෝකයේ පිළිගත් ඉතිහාසඥයන් විසින් සනාථ කල යුතුය. අප දන්නා පරිදි එවැන්නක් සිදුවී නොමැත. විකිපීඩියා සහ වෙනත් ඉතිහාසය පොත් අනුව ලොව මුලින්ම වාත්තු යකඩ සොයා ගත්තේ චීනයේය. ඒ මින්  වසර 3,500කට පෙරය.

7 ශ්‍රේණිය පොත   (සංස්කාරක මණ්ඩලය – පද්මසිරි කන්නංගර, රාජ් සෝමදේව, අනුෂා සේනාධිරාජා, චන්දිමා ධර්මපාල) –

60වෙනි පිටුව – “යාපනය රාජධානිය ගැන වෛය්පමාලයි සහ ගේගරාසසේකරමාලයි යන ග්‍රන්ථ මේ රාජ්‍ය ගැන තොරතුරු සපයන මුලාශ්‍රයන් වේ.”

යාපනයේ ස්ථිර දෙමළ රාජධානි තිබු බව සිසුවාගේ මනසට කාවැද්දීමට මෙම පෙළ පොත උත්සහ දරයි.

මෙවැනි ග්‍රන්ථ ගැන අප කිසිදා අසා නැත්තෙමු. මේවා මෑතක බිහිවූ ග්‍රන්ථ විය නොහැකිද? අප අසා ඇත්තේ මහාවංශය, දීපවංශ, චුලවංශය, පුජාවලිය වැනි මුලාශ්‍රය. ඒවායේ දැක්වෙන ඉතිහාසය සත්‍යය.

අනගාරික ධර්මපාල තුමා විසින් 17/2/1923 දින සිංහල බෞද්ධයා පත්‍රයේ පල කල ලිපියක පහත සඳහන් වේ: 

“ආදී සිංහලයෝ දඹදිව වංග දේශයේ ලාටරට සිංහපුරෙන් විජය  කුමාරයාත් සමඟ පළමුවෙන් ලංකාවේ තම්මැන්නා අඩවියට මිට වර්ෂ දෙදාස් හාරසිය හැටකට ප්‍රථම පැමිනියෝය  සිංහල මහාවංශය නම් ඉතිහාසික ග්‍රන්ථයේ සඳහන් කර තිබේ. ……….. ආදී සිංහලයන්ගේ හටගැන්ම දැනගැනීමට මහාවංශය, දීපවංශය, සමන්ත පාසාදිකාව, මහාවංශටිකාව, සිංහල මහා අර්ථකථාව යන නමින් තිබෙන පාලි ග්‍රන්ථ කියවිය යුතුයි……… සම්පුර්ණ රුහුණු, මායා, පිහිටි යන ත්‍රීසින්හලය කිසි පරදේශික ජාතියක් විසින් ආඥාචක්‍රය පැවැත්වුයේ නැත. දුටුගැමුණු රජ කාලයේ රජරට පමණක් දෙමලුන්ට යටත්ව තිබුනේය. කාලිංග, මාඝ යුධ සෙනාධිපථීන් ලංකාවට පැමිණ කලක් සිංහලයන්ට හිරිහැර කල නමුත් ලංකාව හස්තප්‍රාප්ත කර ගත්තේ නැත”.

61 වෙනි පිටුව – “යාපනය රජ පරම්පරාව ආර්ය චක්‍රවර්තී පරපුර ලෙස හැඳින්වේ. එම රජ පරම්පාරාවේ ආරම්භකයා විජය කුලංගෛය් ආර්ය චක්‍රවර්තී වේ. මෙබඳු පාලකයන් 12 දෙනෙකු සිටි බවට තොරතුරු තිබේ. ගම්පොල යුගයේදී සහ කෝට්ටේ යුගයේදී යාපනය රාජ්‍යය ප්‍රධාන රාජධානියට යටත් කෙරුණි. එහෙත් පසුව යාපනයේ රජවරු යළි තම බලය පිහිටුවා ගත්හ. පෘතුගීසින් පැමිණෙන විට යාපනය පාලනය කරන ලද්ද්දේ සංකිලි රජු විසිනි. 1619 වර්ෂයේදී පෘතුගීසීහු යාපනය ආක්‍රමණය කොට තම ආධිපත්‍යට යටත් කළහ.”

විජය කුලංගෛය්’ වදන නව සොයා ගැනීමක්ද?  විජය රජු සහ ආර්ය චක්‍රවර්ති එකම සම්භවයක් ඇති බවට පෙන්වීමට වෑයම් කිරීමක්ද?

අනුරාධපුර යුගයේ ආරම්භයේ (පණ්ඩුකාභය) සිට මහනුවර යුගයේ අවසානය දක්වා (ශ්‍රී වික්‍රම රාජසිංහ) කිසිම අවස්ථාවක යාපනය අර්ධද්විපයේ ස්වාධින ද්‍රවිඩ රාජ්‍යක් තිබුනේ නැත වශයෙන් මහාචාර්ය සිරිමල් රණවැල්ල පවසයි.

දාමරික සසහ චෞර දකුණු ඉන්දියානුවන් විටින් විට පැමිණ ශ්‍රී ලංකාව ආක්‍රමණය කල බව සැබවී. සිංහල රජවරුන් සෑම විටම ඔවුන් පලවා හැරියහ.

දෙමළ ආර්ය චක්‍රවර්තී වසර එකහමාරකට අඩු කාලයක් බලහත්කාරයෙන් යාපනය පාලනය කල බව ඇතැම් ඉතිහාසඥයන් දක්වා ඇත.  ඒ කෙසේ වෙතත්, සිංහල සපුමල් කුමාරයා කෝට්ටේ 6 වන පරාක්‍රමබාහු රජතුමා යටතේ යාපනය පාලනය කළේය. එය සත්‍යයකි.

6 වන පරාක්‍රමබාහු රජතුමා (1412 – 1467) කෝට්ටේ සිට යාපනය මුලුමනින්ම පාලනය කළේය. යාපනය සිංහල රාජ්‍යට අයත් විය. කර්තිගේසු ඉන්ද්‍රපාල මහාචාර්යවරයා පවසන්නේ මෙම පරාක්‍රමබාහු රජු යාපනය පාලනය කරන අවධියේ කයිට්ස් දුපතේ ඉතා වැදගත් නාවික මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බවයි (1983න් පසු මොහු ඊළාම්වාදියෙක් වී තමන්ගේ පර්යේෂණ තමන් විසින්ම මොට කරගත්තේය).

දෙමළ රජවරුන් 12ක් ඇත්තටම ස්වාධීනව යාපනය පාලනය කලේ නම් ඒ 12 දෙනාගේ නම් පිළිවෙලින් අපගේ දරුවනට මේ පෙළ පොත් මඟින් දිය යුතුය. මේ කියමන් සත්‍ය බව සාක්ෂාත් කල යුතුය.

යාපනයේ පිළිගත්, ස්ථාවර දෙමළ රජවරුන් සිටියා නම් ඔවුන්ගේ සෙල් ලිපි සහ වෙනත් නොයෙකුත් පුරාවස්තු තිබිය යුතුය – විශේෂයෙන්ම දෙමළෙන් කොටන ලද.  නමුත් එවැනි කිසිදු දෙයක් මෙතෙක් හමුවී නොමැත.  උතුරේ, නැගෙනහිර ඇත්තේ සිංහල බෞද්ධ නටඹුන්, පුරාවස්තුය. ඒවා අදත් හමුවෙමින් පවතී.

10වන ශ්‍රේණිය (සංස්කාරක මණ්ඩලය – හඟුරන්කෙත ධීරානන්ද හිමි, රාජ් සෝමදේව, පත්මසිරි කන්නංගර, අනුෂා සේනාධිරාජා, සමන්ති ගුණවර්ධන) –

29වෙනි පිටුව – “මහාවංශය සඳහන් කරන ආකාරයට විජය කුමරු ඇතුළු ඔහුගේ පිරිස මෙරටට පැමිණෙන අවධියේ ශ්‍රී ලංකාවේ ඉතා සංවිධානාත්මක සමාජයක් පැවතිණි.”

මෙය අසත්‍ය ප්‍රකාශයකි. මහාවංශයේ එවැන්නක් සඳහන්ව නැත. කුවේණිගේ යක්ෂ ගෝත්‍රිකයන් ‘දඩයම සහ එකතුකිරිම’ යන ජීවන රටාව ගෙවුවෝය. ඔවුන් ඕස්ත්‍රේලියාවේ ඇබරජින්වරුන්ට වඩා දියුණු තත්ත්වයේ වුහ. කුවේණි කපු කෙටීය – කොළ අතු නොව වස්ත්‍ර ඇන්දහ.

විජය පැමිණෙන විට ශ්‍රී ලංකාවේ වුයේ (බුදු රජානන් වහන්සේ වැඩම කාලයේ මෙන්) යක්ෂ, නාග, දේව වූ කාණ්ඩ 3 ට අයත්වන හෙළයන්ය. මේ හෙළයන් කෘෂිකාර්මික (agrarian) නොවීය. ඔවුහු දඩයම සහ එකතුකිරීමේ ජීවන ක්‍රමයට අයත් වුහ.

ශ්‍රී ලංකාවේ දියුණු, පිළිගත් කෘෂිකාර්මික ජීවන රටාවක් (agrarian) ඇරඹියේ විජයාගමනයට පසුවයි. කලින් සඳහන් කල පරිදී එවැනි සමාජයකට මුලාරම්භය හොඳින්ම වැටුනේ පණ්ඩුකාභය/දේවානම් පිය තිස්ස රජ සමයන්හීය.

කුවේණිය ද්‍රවිඩ බව ඇතැම් නුතන මහාචාර්යවරු පවසත්. TNA ද පවසත්. එය වැරදිය. මෙය දෙමළ ඊලාම් වාදයට උඩ ගෙඩි දීම පිණිස ඉතිහාසය විකෘති කිරීමේ කථාය.

කුවේණිය ‘ලීලාවතී’ යනුවෙන්ද හැඳින්වේ. දයානන්ද බිනරගම ඉතිහාසඥයා  පවසන්නේ කුවේණිය සමන් දෙවිඳුන්ගේ වැඩිමහල් සහෝදරිය බවයි.  වර්තමාන වැද්දන් ඇය ‘මහ කිරිමැලඇත්තෝ’ යන ගෞරවාන්විත නමින් හඳුන්වති.

විජය සහ කුවේණිගේ දරු දෙදෙනා (ජීවහත්ත සහ දිසාලා) ගෙන් වැදී පරපුර පටන් ගැනිණ යයි මහාවංශය දක්වයි.  මේ දෙදෙනා රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා සටන් නොකළහ; වැද්දන් ලෙසම මැරී ගියහ.

එකළ වූ හෙළයන් හා සමානම ජීවන ක්‍රමයක් මේ වැද්දන්  ද අනුගමණය කළහ (දඩයම සහ එකතුකිරීම). මෙය, සමහරවිට අදද ඉතිරී වී ඇති වැදී ගම්මානවල දක්නට ලැබේ.

මහින්දාගමනයෙන් මේ හෙළයන් සියල්ලෝම මෙන් සිංහල බෞද්ධ විය. අල්ප ප්‍රමාණයක් වැද්දන් එලෙසම  ජීවත් වුහ – උදා: බින්තැන්නේ . ඒ අය දැක්වුයේද සිංහල බෞද්ධ ගති ලක්ෂණය. ඔවුන්ගේ භාෂාව සිංහලට හුරුය.

මේ ‘හෙළයන්’ ලොව සියල්ලන්ටම පෙර වාගේ වී වගාව කළහ (වසර 49,000ට පෙර), යකඩ සොයා ගත්හ, හෝර්ටන් තැන්නේ බාර්ලි, ඕට්ස් වැවුහ වැනි බොරු ප්‍රකාශ කරන ඉතිහාසඥයෝ/පුරාවිද්‍යාඥයෝ අද ශ්‍රී ලංකාවේ සිටිත්. මහ ජනතාව ද උනන්දුවෙන්, ප්‍රීති ප්‍රමෝදයෙන් ඔවුනට සවන් දෙත්.

31වෙනි පිටුව – “ක්‍රිස්තු පුර්ව 2400ක තරම් ඈත කාලයක සිට මෙරට කෘෂිකාර්මික සමාජයක් දියුණු වෙමින් පැවති බව බෙරගල, හල්දුම්මුල්ල ආදී ප්‍රදේශවලින් සොයා ගෙන තිබෙන පැරණි සොහොන් බිම්වලින් තහවරු වී ඇත.” 

මේවා දැවැන්ත නව සොයා ගැනීම්ය; ඒවා ලෝක ඉතිහාසඥයන් කිසි තැනක සනාථ කර නැත.  සොහොන් බිම් වලින් මෙවැනි දේ සනාථ වෙන්නේ කෙසේද? වසර 7,000 කට පෙර ශ්‍රී ලංකාව ඉන්දියාවට භෞතිකව බැඳී සිටියායි මහාචාර්ය තුමා පවසයි. එසේ නම් ඊට පෙර අප ඉන්දියාවේ කොටසක් නොවන්නේද?

මේ පෙළ පොතේ කර්තෘන්  කියන ලෙස දැනට වසර 4,400 ක පමණ සිට මෙරට කෘෂිකාර්මික ජිවන ක්‍රමයක් පැවතිණි. මුළු ලොවම පිළිගන්නේ ලොව ප්‍රථම කෘෂිකාර්මික ජිවන ක්‍රමය බිහි වුයේ මිසපොටේමියාවේ කියාය (දැනට වසර 5,500ට ප්‍රථම). ඉන්පසුව කෘෂිකාර්මික ශිෂ්ටාචාර කිහිපයක් බිහි විය. ලොව කිසිම ඉතිහාසය හෝ වෙනයම් පොතක ශ්‍රී ලංකාවද මේ ගොන්නට අයත් වන බව පවසා නැත.

නැවතත්, ශ්‍රී ලංකාව දඩයම සහ එකතුකිරිමේ ජීවන රටාවෙන් මිදී කෘෂිකාර්මික ජීවන රටාවට (agrarian)  ඇතුළු වුයේ පන්ඩුකාභය/දේවානම් පියතිස්ස රජ සමයන්හීය. එවිට, යුරෝපීයයන් ජීවත් වුයේ ගල් ගුහා වලය (දඩයම සහ එකතුකිරිමේ ජීවන රටාවේ).

පිටුව 31 – “එහෙයින් මෙරට සමාජයේ දේශපාලන බලය දියුණු වීමේ ඉතිහාසය විජය කුමරුගේ පැමිණීමට පෙර වකවානුවට අයත්ය.”  

මෙය විජයාගමනය පරාජය කිරීමේ ‘කුමන්ත්‍රණය’ සනාථ කෙරෙන පාටයකි.  

දේශපාලන බලය යනු නුතන සංකල්පයකි. එය පක්ෂ දේශපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය වැනි දේ හා බැඳේ. විජය/කුවේණි කල පැවතියේ ජීවන රටාවකි, දේශපාලනයක් තිබුනේ නැත.

පිටුව 31 – “රටක් පාලනය කිරීමේ බලය රජුට හෝ රැජිනකට පවරා දෙනු ලබන්නේ ඒ රටේ වෙසෙන මහජනයා විසිනි. කවරෙකුට වුව රටක් පාලනය කිරීමට මහජනතාවගේ කැමැත්ත අවශ්‍යය.”

මේ අදහස වැරදිය. මේ අදහස නුතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයනට බලපායි. නමුත් ආදී ශ්‍රී ලංකාවේ රජවරුන් බලයට පැමිණයේ මහජන කැමැත්ත ලබා ගෙන නොවේ.  උරුමය, යුධ වැදීම්, රජුන් ඝාතනය කිරීම වැනි ක්‍රියා වලින් බලය අල්ලා ගත්හ.  අදද ලෝකයේ ඒකාධිපති පාලන ක්‍රමයන් ඇත – එනම් මහජන කැමැත්ත නොමැතිව බලහත්කාරයෙන් කරන රාජ්‍ය පාලනයි.

42 පිටුව – “විමධ්‍යගතව පැවතී මෙරට දේශපාලනය මධ්‍යගත කිරීමේ ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ දුටුගැමුණු රජතුමා විසිනි.”

දුටුගැමුණු රජතුමාට ප්‍රථම සිටි එළාර මුළු රටම රාජ්‍ය කල බවට සාධක නොමැත. ඔහුගේ අණසක අනුරාධපුරය කේන්ද්‍ර කර පැවතුනි. එසේ නම් මධ්‍යගත රාජ්‍ය කිරීමක් එළාරට අදාළ නොවේ. දුටුගැමුණු රජතුමා දේශපාලනයෙන් තොරව පිය උරුමයෙන් රජකමට පත්වවිය. බලය විමධ්‍යගත කිරීම වැනිදේ නුතන සංකල්පය, ඒවා පුරාණ රාජධානි සමයේ නොපැවතිණි. රජවරුන් ඒකාධිපතිත්වයෙන්, සිය අමාත්‍ය මණ්ඩලය සමඟ, තනිව රාජ්‍යන් පාලනය කළහ. ඒකාධිපති වුවත් ඉතා හොඳ, කාරුණික, ධාර්මික, බුද්ධිමත් බොහෝ රජවරු ශ්‍රී ලංකාවේ වුහ.

 61 පිටුව – “පුරාණ කාලයේ ශ්‍රී ලංකාවේ පාලන කටයුතු විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යනුවෙන් ආයතන තුනක් මඟින් ක්‍රියාත්මක විය.”

මෙය අසත්‍යයකි, සියල්ල පැවතියේ රජතුමාගේ අණසක යටතේය. සුළු නඩු ඇසීමට රජතුමා  නිලධාරීන් පත් කල බව සැබවී. මරණ දඬුවම නියම කිරීමේ අයිතිය තිබුනේ රජතුමාට පමණි. රජකාලයේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකයක් තිබුනා යයි පැවසීම වැරදිය. මේවා ඉතා නුතන සංකල්ප වේ. අපගේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නම්, වෙස්ට්මිනිස්ටර් ක්‍රමය අනුව, රාජ්‍ය පාලනය (i) විධායකය, (ii) ව්‍යවස්ථාදායකය සහ (iii) අධිකරණය යන කාණ්ඩ 3ට බෙදා තිබේ. එදා රජ කාලයේ මෙවැනි රාජ්‍ය පාලන සංකල්ප තිබුනේ නැත. මෙවැනි බොරු අපේ දරුවන්ගේ මනසට යොදවන මහාචාර්යවරුන්ගේ ඇති පලය කීම?

61 පිටුව – “….. සෑම  අවස්ථාවකදීම අපේ පැරණි පාලකයෝ නම්‍යශීලි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළහ.”

ඒ කාලයේ ‘විදේශ ප්‍රතිපත්ති’ කියා දෙයක් තිබුනේ නැත. නම්‍යශීලි විදේශ ප්‍රතිපත්තියක් පැවැත්වුයේ කිනම් රාජ්‍යයන් සමඟද කියා සිසුනට දැක්විය යුතුය. 1955 බැන්ඩුන් සමුළුවෙන් පසු නොබැඳි ව්‍යාපාරය ලොව මුලින්ම ඇරඹුණේ 1961දි යුගෝස්ලාවියාවේ බෙල්ග්‍රේඩ් නුවර පැවති සමුළුවෙනි.

103 පිටුව – “යාපනය රාජධානියේ ආරම්භකයා විජය කුලංකෛ ආර්ය චක්‍රවර්තී ලෙස සැලකේ. ඔහුගේ පාලන කාලයේ සිට පෘතුගීසින්ගේ පැමිණීම තෙක් යාපන ප්‍රදේශය පාලනය කළ කුලශේකර, වික්කිරම, වරෝදය, මාර්තන්ඩ වැනි පාලකයන් දොලොස්දෙනෙකු පිලිබඳ විස්තරයක් යාල්පාන චෛය්පව මාලයි ග්‍රන්ථයෙහි දක්වා තිබේ.”

මේවා මෑත කාලයේ එළිදැක්වූ ග්‍රන්ථ නාමය. සමහවිට 21 වන සියවසේ මතුවූ පොත් විය හැක. මෙම ලියුම්කරු මේ පොත් ගැන නොදනී. සිසු දරුවන්ට බොරු කියා දෙන්නේ නම් එය සාපයකි.

අප දන්නා පිළිගත් ඉතිහාසය නම් යාපනයේ ස්වාධින දෙමළ රාජ්‍යන් තිබී නැත. පෘතුගීසින් පැමිණෙන තෙක්ම යාපනයේ සිටි යුව රජුන්/කුමරුන් පාලනය වුයේ කෝට්ටේ සිංහල රාජධානියෙනි. ‘ලංකා ආක්‍රමණය’ යන පොතේ ක්ව්රෝස් නමැති පෘතුගීසි කතෝලික ඉතිහාසඥයා සඳහන් කරන්නේ ද්‍රවිඩ නායකයන් ඒ ප්‍රදේශ පාලනය කරන ලද්දේ කෝට්ටේ රාජ්‍යය යටතේ වූ පාලකයන් වශයෙන් බවය.  ඕලන්ද කාලයේ කාලයේ විසු ඕලන්ද ජාතික පිලිපස් බැල්දියස්  පියතුමා ශ්‍රී ලංකාව පිළිබඳව විස්තරයක් සඳහන් කරමින් දක්වනුයේ එකල සිටි දෙවන රාජසිංහ රජු (1635 – 1687) ශ්‍රී ලංකාවේ එම්ප්‍රදෝරු රජු වශයෙන් ඕලන්ද ආණ්ඩුකාරතුමා හැඳින්වූ බවයි. ඔහු කියන පරිදි එකල ශ්‍රී ලංකාව ඒ රජු හට ආරූඩ කරන ලද රාජ්‍ය 5කින් සමන්විත විය – කන්ද උඩරට, කෝට්ටේ, දඹදෙණිය, අනුරාධපුරය සහ යාපා පටුනයි. එම රජු ත්‍රිකුණාමලේහි සහ මඩකලපුවේ කවුන්ට් වරයා යන විරුදාවලියෙන් ඕලන්ද නායකයන් සලකා ඇත. රොබර්ට් නොක්ස් ත්‍රිකුණාමලයේදී අත් අඩංගුවට ගැනීමෙන් පසු ඕලන්දකාරයන් විසින් ඔහුව භාර දෙන ලද්දේ කන්ද උඩරට රජුටය, යාපනයේ දෙමළ රජෙකුට/නායකයෙකුට නොවේ.

103 පිටුව – “රජරට ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසු නැගෙනහිර, උතුරු මැද හා වයඹ  පලාත්වල ජන ඝනත්වය අඩු ප්‍රදේශ ආශ්‍රිතව වන්නි වශයෙන් හැඳින්විය හැකි කුඩා පාලන ඒකක කිහිපයක් නිර්මාණය වූ බව පෙනේ.”

අප දන්නා පමණින් වන්නි වශයෙන් හැඳින්වෙන්නේ වවුනියාවේ උතුරේ සිට කිලිනොච්චි/එලිෆන්ට් පාස් දක්වාවූ ප්‍රදේශයි. මෙය මෑතකදී දමන ලද නමකි.

131 පිටුව – “සංකිලි නම් රජෙක් 1519දි සිට 1561 දක්වා යාපනය රාජධානිය පාලානය කළේය.”

මේ පෘතුගීසි පාලන සමයයි. එවිට කෝට්ටේ රාජධානිය දෙදරුම් කා තිබුණි. 1530දි පමණ කෝට්ටේ පාලනය කල 7වන බුවනෙකබා රජු තම සහෝදර මායාදුන්නේගෙන් පලි ගැනීමට පෘතුගිසින්ගෙන් ආධාර පැතිය (ලංකාව අත් හැර දමා පෙරලා යාමට සිටි පෘතුගීසින්ට යලි ලංකාවේ නතර වීමට සිතුනේ එවිටය). මේ කෙටි කාලයේදී සංකිලි සමහර විට ස්වාධීනව යාපා පටුන පාලනය කළා විය හැකියි. මෙය තවදුරටත් ගවේෂණය කල යුත්තකි. සංකිලි තවදුරටත් කෝට්ටේ රජුගේ යුව රජ වශයෙන් කටයුතු කළා යයි ඇතැම්හු සාර්ථක ලෙස තර්ක කරති. 1621 පමණ වන විට යාපන අර්ධද්වීප පාලනය මුළුමනින්ම පෘතුගීසින් අත්ට පත්ව තිබුණි. මෙවිට යාපනය අයත්ව තිබුනේ මහනුවර රාජධානියට අධිපති සෙනරත් රජුටය.

20වෙනි සියවසේ මුල් භාගයේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිලිබඳව පොත් පලකල බී හෝර්ස්බර්ග්, ජේ පී ලුවිස්, එස් ඥානප්‍රගාසම් පියතුමා, එස් ඩබ්ලිව් කුමාරස්වාමි යන අය ලියා ප්‍රසිද්ධ කර ඇත්තේ මුල පටන්ම යාපනය සිංහල  ප්‍රදේශයක් වූ බවත් ද්‍රවිඩයන් පසුව සිංහල ගම් නම් දෙමළ කල බවත්ය. ඒ බව තහවරු කිරීමට ඔවුහු උතුරේ බෞද්ධ වෙහෙර විහාර පිළිබඳව කරුණු රාශියක් හෙළි දරව් කර ඇත.

වසර 2,500ට මෙහා සිට මුළු ලොවම පිළිගත් ඉතිහාසයක් අපට ඇත. මහාවංශය මුළුමනින්ම  නිවැරදි බවට අප 2000 වසර  පමණ තෙක් විශ්වාස කළෙමු. ක්‍රමානුකූලව දැන්  සියල්ල වෙනස් වීමට පටන් ගෙන ඇත – සිංහලයාට තදබල අසාධාරණ වන සේ.

අප උගත් ලංකා ඉතිහාසය අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර, පියදාස සිරිසේන, දේවප්‍රිය වලිසිංහ, පෝල් ඊ පීරිස්, සෙනරත් පරණවිතාන, පී ද එස් කුලරත්න, එල් එච් මෙත්තානන්ද, චාර්ල්ස් ගොඩකුඹුර, ගුණපාල මලලසේකර, මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරත්චන්ද්‍ර, හාන්දුපැල්පොල පුණ්‍යරථන හිමි, SF ද සිල්වා, මඩිහේ පන්ඥාසීහ හිමි  වැනි වියතුන් අපට ඉගැන්වූ ඉතිහාසයයි.  මේ වියතුන් අපේ ඉතිහාසය, එනම් මහාවංශ ඉතිහාසය, සුරක්ෂා කිරීමට ඇප කැපව ක්‍රියා කළහ.

සිංහලයන් වශයෙන් අපගේ උරුමය, අනන්‍යතාවය අපට ලැබී ඇත්තේ වසර 2,500 ඉක්මවා යන මෙම  ප්‍රෞඩ ඉතිහාසයෙනි. අද එය තදබල තර්ජනයට ලක්ව ඇත..

අද, එයට පහර දීමට නොයෙක් කණ්ඩායම් ඉදිරිපත්වී සිටිත්. ඇතැම්විට රාජ්‍යානුග්‍රහය ද ඒ සඳහා ලැබී තිබේ.

මොනයම් අහේතුවකට මේ වසර 2500 පැරණි ඉතිහාසය දැන් අපට ‘මදී’ වී ඇත. අන් සියළු රටවලට වඩා අප ශ්‍රේෂ්ට ව සිටියෙමුයි යන මිත්‍යාවක් ජනතාව අතර පතුරවමින් අපේ පිළිගත් ඉතිහාසය අප කසළ ගොඩට දමමින් සිටින්නෙමු.

අපේ අතීත වීයතුන්ට වඩා තමන් දන්නේය යන මතයේ සිටින නුතන ඉතිහාසඥයන්,  පුරාවිද්‍යාඥයන්  මීට වසර 129,000 ට පෙර යාලෙන් හෝමෝ සපියන් වරු මෙරටට ගොඩ බැස අතිශය ආශ්චර්යමත් ශිෂ්ටාචාරයක් ඔවුන් විසින් මෙරට ගොඩ නැගීය යන අසත්‍ය ඉතිහාසයක් මවා පෙන්වා ඇත. ඒ වැරදි ඉතිහාසය පාසැල් පෙළ පොත් වලට ද අඩංගු කර අපේ අනාගත පරපුර ද වැනසීමට ලක් කර ඇත.

මේ අයගේ මුලිකම අභිප්‍රායන් වනුයේ විජයාගමනය සහ මහින්දාගමනය පරාජය කිරීම සහ මහින්දාගමනයෙන් පසු බෞද්ධාගම හා බැඳුනු අපේ ශ්‍රේෂ්ට කෘෂි ශිෂ්ටාචාරය අවතක්සේරු කිරීමය. පණ්ඩුකාභය, දේවානම් පියතිස්සගෙන් ඇරභි අපේ වාරි කෘෂිකර්මය, විශිෂ්ට සිංහල බෞද්ධ සංස්කෘතිය අවතක්සේරු කර ඒ සියලු දිනුම් හෝමෝ සපියෙන්, බලංගොඩ මාණවකයා, රාවණා වැන්නන්ට බැර කිරීමය. සිංහලයාට ප්‍රථම ද්‍රවිඩයන් මෙහි සිටීය, සිංහලයාගේ සම්භවය උතුරු ඉන්දියාව නොව ද්‍රවිඩ බව ඔවුහු ව්‍යංගාර්ථයෙන් පෙන්වත්. ඉතා පිරිසිඳු, පැහැදිලි අපේ ඉතිහාසය ඉතා ව්‍යාකුල එකක් බවට පෙළ පොත් මඟින් පාසැල් ශිෂ්‍යයනට පෙන්වත්.

තම යු ටියුබ් නාලිකාව බලන්නන්ට ‘ශ්‍රාවකයන්’ යයි අමතන පුරාවිද්‍යාඥයා (ශ්‍රාවකයන් සිටියේ බුදු රජානන් වහන්සේටය) ‘දේශනා’ කරන්නේ අරුම පුදුම ඉතිහාසයකි. එය සමහර විට එක් වැඩසටහනකින් තවත් වැඩ සටහනකට වෙනස්වේ. නිතර වෙනස් වෙන ඉතිහාසය හොඳ නැත. කිසි කෙනෙක් පිළි නොගනී.

අප දරුවන් මේ වැරදි වටහා ගනුයේ ඔවුන් ජාත්‍යාන්තරයට ගිය විටය. එවිට සියල්ල පමා වී වැඩිය.

මෙවැනි බොරු ඉගැන්වීම් නියාමනය කිරීමට රජයේ ආයතන බොහෝ ඇත. ඒවා මර නින්දේය.

පාසැල් ඉතිහාසය පෙළ පොත් වල ඇති බොරු ඉතිහාසය මනා විශ්ලේෂණයකට භාජනය කිරීමෙන් පසුව  ඉවත් කල යුතුවේ.

අප දරුවන් නියම පරම සත්‍ය ඉතිහාසය පමණක් ඉගෙන ගත යුතුය – බෙදුම්වාදීන් සතුටු කිරීමට මෑතදී නිර්මාණය කර ඇති ඉතිහාසය නොවේ.  

නිමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress