විශ්වවිද්‍යාල වලින් කල් ඉකුත්වූ සිසුන් පන්නන්න අලුත් පනතක් එයි
Posted on November 26th, 2022

 Lanka Lead News

නියමිත කාලය තුළ විභාගවලට පෙනී නොසිට දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාලවලට ඇතුළු වී නියමිත කාලය තුළ උපාධිය ලබා නොගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාලවලින් ඉවත් කිරීමට අදාළ පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණයකර තිබේ.

විශ්වවිද්‍යාලවලට ඇතුළු වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් නියමිත කාලය තුළ විභාගවලට පෙනී සිට විශ්වවිද්‍යාලවලින් පිටව යා යුතු බවට නීතියක් දැනට පවතින විශ්වවිද්‍යාල කොමිෂන් සභා පනතේ සඳහන් නොවන නිසා මෙම තීරණය ගත් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසයි.

උපාධි කාලසීමාව ඉක්මවා විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටින ශිෂ්‍ය ශිෂ්‍යයාවන් කවුරුන් ද යන්න පිළිබඳව සංගණනයක් කිරීම සඳහා පියවර ගෙන ඇති බව ද ඒ සඳහා විශ්වවිද්‍යාල කුලපතිවරුන්ගේ සහය ලබාගන්නා බව ද අමාත්‍යවරයා කියයි.

ඇතැම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විභාගවලට මුහුණ දීමට වඩා දේශපාලන කටයුතු කිරීම වැදගත් යැයි කල්පනා කරමින් විභාගවලට පෙනී නොසිට අදාළ උපාධි කාල සීමා ද ඉක්මවා වසර 9ක් 10ක් වන කාලයක් විශ්වවිද්‍යාල නේවාසිකාගාර තුළ රැඳී සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ඔහු පවසයි.

මෙසේ රැඳී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාල නේවාසිකාගාර මුදා නොගත් ප්‍රදේශ වශයෙන් පවත්වාගෙන යෑම 21 වන සියවසේ ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත් ම ගැළපෙන්නේ නැති බවයි ඇමැතිවරයා පවසන්නේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress