ප්‍රතිසංස්කරණ හරහා ආර්ථික පුනර්ජීවනයට  ශ්‍රී ලංකා නායකයන්ගේ කැපවීම ඉතා අගය කළ යුතුයි. – ADB උප සභාපති
Posted on December 5th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය


ශ්‍රී ලංකා නායකත්වයේ ශක්තිය සහ මුදල් ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ හරහා කඩිනම් ආර්ථික ප්‍රබෝධයක් ළඟා කර ගැනීමට  රජයේ  ‍කැපවීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය නියෝජිතායතන බෙහෙවින් පැහැදී ඇති බව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) උප සභාපති Shixen Chen මහතා   පවසයි.
ඔහු මේ බව පැවසුවේ 2022.12.05 දින කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදීය. ඉදිරි වසර සඳහා යෝජිත ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘති අවසන් කිරීම වත්මන් සංචාරයේ අරමුණ බව පැවසූ ඒ මහතා රටේ සංවර්ධනයට සහ ආර්ථික හා මූල්‍ය අභියෝග ජය ගැනීම සඳහා  ආසියානු සංවර්ධන බැංකුවේ සහාය සහතික කළේය.
ආර්ථික  පුනර්ජීවනය  සහ රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ මෙන්ම බලශක්ති, විදුලිය සහ ඛනිජ තෙල් ක්ෂේත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරයා  මෙහිදී   ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) උප සභාපතිවරයාට විස්තර කළේය.
උද්ධමනය පාලනය කිරීමේ සහ අවදානමට ලක්විය හැකි, අඩු වරප්‍රසාද සහිත සමාජයේ කොටස් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය ADB උප සභාපතිවරයා අවධාරණය කළේය. සමාජයේ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීම අරමුණු කරගත් වැඩසටහන් සහ නිෂ්පාදනය ඉහළ නැංවීම සහ අතිරික්ත අපනයනය ඉහළ නැංවීම සඳහා ග්‍රාමීය කෘෂිකාර්මික සංවර්ධන සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
කොවිඩ් වසංගතයේදී මෙන්ම වත්මන් ආර්ථික දුෂ්කරතාවලදී ලබාදුන් හදිසි ආධාර ණය සහ ප්‍රදාන පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ආසියානු සංවර්ධන බැංකුවට ස්තුතිය පුද කළේය.
අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා ආධාර ලබා දීම සහ ගොවීන් ඇතුළු දුප්පතුන් සහ අවදානමට ලක් වූවන්ගේ ජීවනෝපාය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ADB සහාය දක්වන ව්‍යාපෘති රජයට තීරණාත්මක සහයෝගයක් සපයන බව ඔහු පැවසීය.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ ආසියානු සංවර්ධන බැංකුවේ ජ්‍යෙෂ්ඨ උපදේශක අයිමිං ෂෝ, ආර්ථික උපදේශක රනා හසන්, රටේ අධ්‍යක්ෂ චෙන් චෙන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන අමිනුර් රහ්මාන් සහ සන්තෝෂ් පොකාරෙල් යන මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress