සිංහලයනට වන අසාධාරණ  (නොහොත් සිංහලයාගේ බහිනකලාව)  (1වෙනි කොටස)
Posted on December 14th, 2022

චානක බණ්ඩාරගේ

සිංහල බෞද්ධත්වයේ දිගටම සිදුවන වැටීම

නිදහස ලැබීමෙන් අනතුරුව සිංහල බෞද්ධත්වයේ නැඟීමක් වෙනුවට වූයේ තව දුරටත් බිඳ වැටීමකි. ධර්මපාලතුමන් සඳහන් කළ පරිදිම සුද්දන් ගිය පසු කළු සුද්දෝ සිංහල බෞද්ධත්වය පාගා දැමීමට, ගැරහීමට ලක් කළහ. අද කළු සුද්දන්ට අමතරව වෙනත් බොහෝ අයද මේ දේට සම්මාදම් වෙත්.

බෞද්ධයන් දිගින් දිගටම ක්‍රිස්තියානිකරණය වූහ. මෙය අද ඉතා සීග්‍ර ලෙස නගරවල පමණක් නොව ගම් වලද පැතිර යයි. 1994ට පමණ පසුවයි මේ තත්ත්වය බොහෝ සෙයින් වැඩි වීමට පටන් ගත්තේ. 

නොයෙක් හේතුන් නිසා බෞද්ධයෝ අද ක්‍රිස්තියානි වෙත් (කතෝලික ආගමද අඩංගුය).

ඉංග්‍රීසි කථා කරන බටහිර රටවල (ඇමරිකාව, කැනඩාව, එංගලන්තය, ඕස්ත්‍රේලියාව, නවසීලන්තය) පල්ලිවලට අනුබද්ධ විවිධ ක්‍රිස්තියානි කණ්ඩායම් සිංහල කථා කරන  ස්වකීය ශ්‍රී ලාංකික ශාඛා මඟින්, අද ශ්‍රී ලංකාවේ තදින්ම ක්‍රියාත්මකය. ප්‍රංශ, ස්පාඥ්ය, ජර්මන්, පෘතුගීසි, මෙක්සිකෝ, බ්‍රසිල් වැනි  රටවල ක්‍රිස්තියානි  කණ්ඩායම්වල  බලපෑම් ද ඇත.  

මේ අය බෝර්න් අගේන්, පෙන්ටකොස්ටල්, ජිහොවා, ඇඩ්වෙන්ටිස්ට්, බැප්ටිස්ට්, මෝර්මන්  වැනි නොයෙක් නම් වලින් හැඳින්වෙති.

මේ ක්‍රිස්තියානි කණ්ඩායම් (මේ අයටම සම්බන්ධ සිංහල බෞද්ධ යයි කියා ගත් නාගරික නියෝ-ලිබරල් වාදීන් පිරිසක්ද බිහිව තිබේ) ඉතා බලවත්ය; ඔවුහු මුදල් (රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ ) ආකරය. අපට නොපෑහෙන  උග්‍ර බටහිර, සංකර ගති ලක්ෂණ මේ රටෙහි මේ අය ප්‍රගුණ කරත්.

මේ කණ්ඩායම්වල  මුලිකම ඉල්ලකය මොන යම් ක්‍රමයකින් හෝ තම ‘ගොඩ’ වැඩි කරගැනීමය.

වෘකයාට මැදිවූ අහිංසක බැටළු පැටවා මෙන් සිංහල බෞද්ධයන් (සෑම වයස් කාන්ඩයකම) පොකුරු  පිටින් මේ අයට ගොදුරු වෙත්. මේ ගොදුරු වීම බලා සිටීමට බැරි තරමට දුකය – විශේෂයෙන්ම දුප්පත් බෞද්ධ පවුල්වල කුඩා දරුවන් පල්ලිවලට ගෙන ගොස් බව්තීස්ම කිරීම වැනි දේ සිදුවන විට සිංහල බෞද්ධයාගේ අව්‍යාජත්වයෙන්, අහිංසක කමින්, හොඳ හිතින් මේ ගුණමකුවෝ අයුතු ප්‍රයෝජන ගනිති. දැන් දැන් දුප්පත් මිනිසුන් පමණක් නොව සිංහල බෞද්ධ සමාජයේ ‘ඉහලම පෙලේ’ ඇත්තන් පවා  මේ අයට හසුවෙති.

එසේ ගොදුරු කර ගත් පසු සිංහල බෞද්ධයා ඉන් මිදී නැවත ප්‍රකෘති තත්වයට ඒම වැලක්වීමට ඔවුහු කල හැකි සෑම දෙයම කරති – මුදල් දීම, ගෙවල්/රැකියා ලබා දීම, නොයෙක් බොරු කීම, තර්ජනය කිරීම, බය කිරීම, පසු පස හභා යාම වැනි.

මෙම ක්‍රිස්තියානිකරණ රැල්ල පිළිබඳව මෙසේ  බුද්ධාගම අත්හැර ක්‍රිස්තුධර්මය ඇදහීමට පෙළඹුණු  අයට පමණක් දොස් කීමෙන් පලක් නැත.

ඔවුන්ගේ මෙහි වෙසෙන විදේශීය/දේශීය පුජකවරු, ඒජන්තවරු  මුදල් සහ වෙනත් අයුතු බලපෑම් මඟින් මෙරට ජනතාව ක්‍රිස්තියානුකරණය කරන්නේ නම් එය නීති විරෝධී කටයුත්තකි.

නමුත් කිසිවෙකුට විරුද්ධව නිතීය මෙතෙක් ක්‍රියාත්මක වී නැත.

බෞද්ධයෙකු කිතුණුවෙකු හා විවාහ වූ පසු බොහෝ විට එම තැනැත්තා සහ ලැබෙන ළමුන් ක්‍රිස්තියානි භක්තිකයෝ වෙත්. මෙය සැමදා මේ රටේ තිබු ප්‍රවනතාවයකි.

සමහරු තමන් ක්‍රිස්තියානි පල්ලිවලට ගියත් තවමත් බෞද්ධ බව පවසත්. ඒ අය බෞද්ධයන් නොවනු ඇත. කෙනෙකුට ආගම් දෙකක් තිබිය නොහැක (විවාහ දෙකක් තිබිය නොහැකි සේ).  

කොළඹ බොහෝ බෞද්ධයෝ කොච්චිකඩේ පල්ලියට යන බව සත්‍යයකි (2019  පාස්කු ඉරිදා දින එම පල්ලියේ ඉතා අවාසනාවන්ත ලෙස මියගියවුන්ගෙන් සමහරෙක් බෞද්ධයෝය). වෙනත් ප්‍රධාන  නගරවලද  තත්ත්වය  මෙයමයි.

සිංහල ක්‍රිස්තුභක්තිකයෝ බෞද්ධ පන්සල් වලට යන බවක් අසන්නට නැත. බෞද්ධයෙකු සමඟ එසේ ගියත් ඔවුහු මල් පහන් පුජා කර භක්තියෙන් බුදුන් නොවඳිති.  පංසලේ සිරි නරභා පැමිණෙති. ඔවුන්ගේ 100% විශ්වාසය ඇත්තේ පල්ලියේය. නමුත් පල්ලි යන සිංහල බෞද්ධයා ජේසුන්, (මරිය තුමිය) වඳින්නේ ඉමහත් භක්තියෙනි.  ඔවුනට බුද්ධාගම, සිංහල බෞද්ධ ආශ්‍රිත දෙවිවරු එවිට අමතකය.

පෘතුගීසින් පැමිණීමට පෙර (1505) මේ රටේ සිටි සියළු සිංහලයෝ බෞද්ධයෝ වුහ. එවිට ක්‍රිස්තියානි යන ආගමක් මේ රටේ නොවීය.

එනම්, අද ක්‍රිස්තියානි සියළු සිංහලයන්ගේ ආදී මුතුන් මිත්තෝ බෞද්ධයෝය.

1505 ඔක්තෝබර් 15  දින පෘතුගීසි නාවික බලකාය කොළඹ වරායට සේන්දු විය (කපිතාන් ලොරෙන්සෝ ද අල්මේදාගේ නායකත්වයෙන් යුත් යුධ නැව් 9ක්).

එම ගමනේදී පෘතුගීසීන්ගේ ඉල්ලීමට ඉඩ දෙමින් එවකට කෝට්ටේ සිටී රජ, ධර්ම පරාක්‍රමබාහු (8වන පරාක්‍රමබාහු) – ඔහුගේ ඇමති මණ්ඩලෙන් හතර දෙනෙක්ම ඔහුගේ සොහොයුරෝ වුහ (මෑත ශ්‍රී ලංකාව මතක් වේ); එවක සිටී පෘතුගාල රජතුමාගේ (මැනුවෙල් 1495  – 1521) නිල මුද්‍රාව සහ ක්‍රිස්තු කුරුසය කොළඹ වරාය තුල ගලක කෙටීමට අවසර දෙනු ලැබිය

කොලඹ වරායේ මේවා අද දවසටත් දක්නා ඇතැයි කියත්. අල්මේදාගේ ‘කල්ලිය’ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට කලින් ඒ ස්ථානයේ කුඩා කතෝලික දේවස්ථානයක් සාදා එහි කතෝලික පුජාවක් පැවැත්වීමටත් අනුමැතිය දෙන ලදී.  මෙය ශ්‍රී  ලංකාවේ පැවැත්වූ ප්‍රථම ක්‍රිස්තියානි දිව්‍ය  පුජාව විය හැකයි.

පෘතුගීසීන් මෝඩ සිංහල රජතුමාට කීවේ තමනට අවශ්‍ය ශ්‍රී ලංකාවේ වාණිජ කටයුතු වලට සම්බන්ධවීම විනා රට අල්ලා ගැනීම නොවන බවයි. එයට ඉඩ දුනහොත් රජුට අවශ්‍ය සියළු යුධමය සහාය පෘතුගාලය විසින් සපයනු ලබන බවය.

අල්මෙදාගේ නැව් සමුහය පෘතුගාලයේ ලිස්බන් වරායේදී වීරවරයන් මෙන් මහත් වූ හරසරයෙන් පිලි ගනු ලැබුහ.  නැව් කාණ්ඩයේ අති මහත්වූ සාර්ථක ප්‍රතිපල පිළිබඳව පෘතුගාලය තුල ඒ වනවිට ඉමහත් ප්‍රසිද්ධියක් ලැබී තිබුණි.  අල්මේදා අද්මිරාල් තනතුරට උසස් කරන ලදී.  කෝට්ටේ රජු ත්‍යාග  කරන ලද දළ ඇතුන් 2 ගෙන් එක් ඇතෙක් මුහුදු ගමනේදී මියගොස් තිබුණි;  ඒ  පෘතුගාලයට පා තැබූ ප්‍රථම  අලියායි.

පෘතුගාලයේ මැනුවෙල් රජතුමා පුද්ගලිකව සහභාගී වූ දේව මෙහෙයක් ලිස්බන්හි දී 21/12/1507 දින පැවැත්විනි. එහිදී දෙවියන් වහන්සේ විසින් එරටට ලබාදුන් අනගී ත්‍යාගය (ශ්‍රී ලංකාව)  පිලිබඳ තුති පිදීමක් විය.  මැනුවෙල් රජතුමා 1507 වසරේදී එවකට සිටි පාප්තුමා වූ පාවුළු ජුලියස් තුමාට (1443 – 1513) තම රටට ලැබුණු මහඟු ත්‍යාගය  ගැන ලියා දැන්විය.

1519 දී ධර්ම පරාක්‍රමබාහු රජතුමා මිය යනවිට පෘතුගීසීහු ශ්‍රී ලංකාවේ සිය පියවර මැනවින් සටහන් කරගෙන තිබුණි.

ධර්මපරාක්‍රමබාහුගේ මුනුබුරු, සීතාවක රාජ්‍යය කල සීතාවක රාජසිංහ රජු (නොහොත් ටිකිරි කුමරු – ධර්මපරාක්‍රමබාහුගේ පුත්, මායාදුන්නේගේ පුතා) සහ පෘතුගීසින් අතර ඉතා දරුණු සටන් ඇති විය (‘මුල්ලේරියා සටන් බිමෙහි වතුර ලෙයට හැරවුනා’ ගීතය). 

 1619 වර්ෂයේදී පෘතුගීසීහු යාපනය ද අල්ලා, මෙම මුළු රටම වාගේ ඔවුනගේ ආධිපත්‍යට යටත් කර ගෙන සිටියහ; සෙනරත් රජු (1604 – 1634) පාලනය කල කන්ද උඩ රට හැර. සෙනරත් රජු මරණාසන්නයේදී තම රාජධානිය කොටස් 3ට බෙදා තම පුතුන් තිදෙනාට බෙදා දෙන ලදී. ඉතිහාසඥ පුජ්‍ය හාන්දුපැල්පොල පුඥ්යරතන හිමිගේ ‘ලංකා ඉතිහාසය ග්‍රන්ථය අනුව (MD ගුණසේන, 1956), රාජසිංහට මහනුවරද, කුමාරසිංහට යාපනයද, විජයපාලට මාතලේද රජවරුන් වශයෙන් ඒ ප්‍රදේශ  භාර දෙන ලදී. ශ්‍රී ලංකාවේ අවසන් සිංහල රජු නරේන්ද්‍රසිංහ (1706 – 1739) ගෙන් පසු නායක්කර් රජවරුන් 4 දෙනෙක් මහනුවර රාජධානිය 1739 සිට 1818 දක්වා පාලනය කළහ. මොවුන්ගේ මුලාරම්භය වර්තමාන බැන්ගලෝරයයි. මුළු දකුණු ඉන්දියාවම යටත් කර ගත් මොවුන්ගේ ‘විජයනගර්’ රාජධානියේ  අගනුවර වෙල්ලෝරයේ පිහිටා තිබුණු නිසා (අද තමිල්නාඩුවේ) එහි අභාෂය තිබු,  ශ්‍රී ලංකාව පාලනය කල මෙම වඩුග රජුන්, දෙමළ කථා කළහ.

කතෝලික ආගමට හැරුණු සිංහල බෞද්ධයනට විශේෂ සත්කාර, වරප්‍රසාද, පදවි තානාන්තර, බදු අඩු කිරීම් ප්‍රතිකාලුන් විසින් ලබා දෙන ලදී. කොළඹ සිට මුහුදු තීරයේ උතුරට හලාවත පමණ දක්වාත්, කොළඹින් දකුණට මුහුදු තීරයේ මොරටුව පමණ දක්වාත් අති විශාල සිංහල බෞද්ධ ජනතාවක් කතෝලික බවට පත් විය.

මෙම ප්‍රදේශවල වූ බෞද්ධ සිද්ධස්ථාන, පිරිවෙන්, බෞද්ධ පුස්තකාල ආදිය ප්‍රතිකාලුන් විසින් කඩා බිඳ, ගිනිබත් කර ඒ සමහර ස්ථානවල දැවැන්ත කතෝලික පල්ලි සෑදුහ.

බොහෝවිට පෘතුගීසින්ගේ බලකීරීම මත සිංහල බෞද්ධයෝ විශාල ලෙසින් ස්වකීය සිංහල නම් අත් හැර පෘතුගීසි නම් ලබා ගත්හ (පෙරේරා, ද  සිල්වා, සිල්වා, ප්‍රනාන්දු, මෙන්ඩිස්, පීරිස්, ගෝමස්, කොස්තා, ෆොන්සේකා වැනි).

1981 සංගණනයට අනුව රටේ මුළු ජනගහනයෙන් 7.6%ක් ක්‍රිස්තියානියෝය. (සිංහලයන්, ද්‍රවිඩයන් ඇතුළුව) – ජේසුස් වහන්සේ/දෙවියන් වහන්සේ අදහන්නන්. අද, මේ ප්‍රමාණය  අඩු තරමින්  12% තරම් වත් විය යුතුය. මේ සංඛ්‍යාව මෙසේ වැඩි වීමට ප්‍රධාන හේතුව වන්නේ බෞද්ධයන් (සහ ද්‍රවිඩ හින්දුන්) ක්‍රිස්තියානිකරණය වීමය.  මේ සම්බන්ධව මෑතක ලබා ගත් විශ්වාස කල හැකි සංඛ්‍යා ලේඛන නොමැත. ක්‍රිස්තියනිකරණයවූ බොහෝ බෞද්ධයෝ ඒ බව රහසිගතව තබා ගනිති; ඔවුහු සංඛ්‍යා ලේඛන වල අඩංගු නොවෙති.

මේ තත්ත්වය සැබෑ බෞද්ධ නායකයන් ඉතා සැලකිලිමත් විය යුතු කරුණකි. අප බෞද්ධයන් කිතුණු ආගම අදහන්නන් බවට පත් වන්නේ මන්දැයි හොඳින් සොයා බැලිය යුතුය. ඔවුන් ක්‍රිස්තියානිකරණය වන තත්ත්වයන් නැති/අඩු කිරීමට, ක්‍රිස්තියානිකරණය වූ අය නැවත බෞද්ධාගමට ගෙන්වා ගැනීමට වැඩපිළිවෙල් පන්සල් ආශ්‍රයෙන් සහ වෙනත් අයුරින් සකස් කළ යුතුයි. බෞද්ධ කටයුතු අමාත්‍යංශය, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, YMBA වැනි ආයතන විශේෂයෙන්ම තිබෙන්නේ එවැනි දේටය.

අද දහම් පාසල් යන සිංහල බෞද්ධ දරුවන් ඉතා අල්පය.

අප සංඝයාවහන්සේලාට සැම අන්තයකින්ම නොනවතා පහර දෙන යුගයකි මේ (මේ පිළිබඳව සවිස්තරාත්මක කථනයක් මීළඟ කොටසේ (2).

ඉදින්, දෙමව්පියන් තම ළමුන්ව දහම් පාසල් යැවීමට අකමැත්ත පල කරත්. ඉරිදා උදේ ටියුෂන් පන්තිද මීට ප්‍රධාන සාධකයකි – දහම් පාසල් යන දරුවන් අඩු වීමට.

දැනට දශක තුනක පමණ සිට කිසිම ශීලාචාර කමක් නැති තක්කඩින්, මදාවියන්  සහ පල් හොරු පාර්ලිමේන්තුවට, පළාත් සභාවලට හා ප්‍රාදේශීය/නගර සභාවලට තේරී පත්වූහ. තිතට මත ප්‍රතිපත්තිය යටතේ අද රටේ බොහෝ බාර් ලයිසන් හිමිකරුවන් වන්නේ මේ මන්ත්‍රිවරුන්ය. රටේ මත්පැන්, මත් ද්‍රව්‍ය භාවිතය පුදුමාකාර ලෙස ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය තුළම වැඩි වී ඇත.

මේ සියල්ලට හේතුව අප බලාසිටියදීම රට තුළ හැදියාව, ගුණ ගරුක බව, සාරධර්ම ඉතා සීග්‍රයෙන් අතුරුදහන් වී යාමය.

(මතු සම්බන්ධයි) ….

මෙම ලියුම්කරු ජාත්‍යාන්තර නිතීඥවරයෙකි. ඔහු ඉතිහාසය/සමාජ විද්‍යාව පිලිබඳව ද උසස් ගණයේ උපාධිධරයෙකි (arwdc@bigpond.com).

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress