සිංහලයනට වන අසාධාරණ (නොහොත් සිංහලයාගේ බහිනකලාව) (2වෙනි කොටස)
Posted on December 15th, 2022
චානක බණ්ඩාරගේ
ගරුතර සංඝරත්නයට කරන පහරදීම
අප ඉමහත් සේ ගරු කරන මහා සංඝරත්නයට චීවරධාරීන්, ශ්‍රමණ වේශධාරීන්, හොර ගණයෝ, යෙලෝ පෙට්ස්, සංඝ මුදලාලි වැනි අපහාසාත්මක වදන් වලින් ප්‍රධාන මාධ්‍ය නාලිකා තුලින් සහ ඇතැම් සමාජ මාධ්‍ය මාධ්‍යකරුවන් විසින් නිරන්තරයෙන් ආමන්ත්‍රණය කරනු ඇසීම ඉතාම කණගාටුවට කරුණකි.
අද මාධ්‍ය මඟින් දැඩිව පහර නොගසන ලද රටේ එකදු ප්‍රසිද්ධ බෞද්ධ භික්ෂුවක් හෝ සොයා ගැනීම අපහසුය. තත්ත්වය ඒ තරම්ම බරපතලය.
මේවා අසන කුඩා දරුවනට ගරු සංඝරත්නය පිළිබඳව තරහක් ඇතිවේ; බුද්ධාගම එපාවේ. ඔවුහු බුද්ධාගමෙන් ක්‍රමයෙන් ඉවත් වෙත්. බෝර්න් අගේන්, එවාන්ජලිස්ට් වැනි අති සංවිධානාත්මක ක්‍රිස්තියානි කල්ලිවල ගොදුරු බවට ඔවුහු ඉතා පහසුවෙන් පත් වෙත්.
අප ගිහියන් 100%ක් ප්‍රත්‍යක්ෂ නොවේ; නමුත් අප ගරු සංඝයාවහන්සේලාගෙන් 100%ක ප්‍රත්‍යක්ෂ බවක් අපේක්ෂා කරමු. මෙය සාධාරණද?
අප ස්වාමින්වහන්සේලා ඉතාම වානිජකරණය වූ සහ ඉතා සීග්‍රයෙන් නාගරීකරණය වන සමාජයක සිවුර දරා සිටින්නේ ඉමහත් අපහසුවෙනි. ගිහියන් ද අති දුෂිත නොවේද?
උන්වහන්සේලාට හැකි සෑම අයුරකින්ම සහයෝගය දී, ඔවුනගේ අපහසුතාවනට උදව් කරනවා වෙනුවට අප දිගට හරහට එතුමන් වහන්සේලාට පහර දෙන්නෙමු. උන්වහන්සේලා කොන් කරන්නෙමු. පරුෂ වදනින් බනින්නෙමු. ඉතා දරුණු ලෙස අපහාස කරන්නෙමු.
මේ නයින් මේ රටේ පවතින අපේ වටිනා බුද්ධාගමට අප විසින්ම පහර ගසා ගන්නෙමු.
අප පිස්සුවෙන් මෙන් කරන මේ දේ ගැන අන්‍යාගමිකයන් විමතියෙන් බලා සිටිත්. සමහරවිට බෞද්ධයන්ගෙන් ස්වාමීන්වහන්සේලාට නොලැබෙන අනුකම්පාව එකී අන්‍යාගමිකයන්ගෙන් ස්වාමීන්වහන්සේලාට ලැබෙනු දක්නට ලැබේ.
රජ කාලයේ සිටම ගරු සංඝයා වහන්සේලා රාජ්‍ය නායකයනට උපදෙස්, අනුශාසනා කළහ. අප සිංහල බෞද්ධ සංස්කෘතිය මේ දක්වා ගොඩ නැඟී ඇත්තේ ඒ අයුරිනි. වසර දහස් ගණනක් පැවති මේ ක්‍රමය එක් වරම වෙනස් කල නොහැක.
අද බොහෝ කොළඹ පන්සල් තුලම දානය උයා අනුභව කිරීම සිදුවේ. මීට වසර කිහිපයකට පෙර දානය සැපයීම සඳහා පන්සල් වල දානය දීම සඳහා ලියාපදිංචි ලැයිස්තු පෝලිම් විය. එදා පන්සලක සතියකට දිනක් හෝ දෙකක් බණ මඩුවේ බණ දේශනා විය. බදාදා අනිවාර්යයෙන්ම බණ දවසක් විය. අද ඒවා නැත හෝ ඉතා අඩුය. බණ මඩුද නැත; ඒ වෙනුවට බිහි කර ඇති බණ ශාලා ද හිස්ය. නිවෙස්වල මහා පිරිත් දේශනයක් අද සංවිධානය කෙරෙන්නේ ඉතාම කලාතුරෙනි. මීට වසර 40 -50 පෙර සර්ව රාත්‍රික පිරිත් සංගායනාවක් එක් වරක් හෝ නොපැවැත්වූ මැද පන්තියේ සිංහල බෞද්ධ නිවසක් සොයා ගත නොහැකි තරම් විය.
නමුත් අද මුළු රාත්‍රිය පුරාම පැවැත්වෙන මත්පැන් සාද නම් කිසිදු අඩුවක් නැත.
බුද්ධාගමේ මෙවැනි පරිහානිය ගැන ගිහියන් ද ප්‍රධාන වශයෙන් වග කිව යුතුය.
ගරු සංඝයාවහන්සේලා අතර දුශ්ශීලයන් ඇත. නමුත් මාධ්‍ය, සමහරවිට දේශපාලනඥයන් පවා, ගරු සංඝයාවහන්සේලාට කරනුයේ පොදු නින්දා, අපහාසය. මේවා විඳ දරා සිටින උන්වහන්සේලාට යහපතක්ම වේවා!
ගරු සංඝයාවහන්සේලාට එදිරිව ඇති ප්‍රධානතම චෝදනා අතර V8 වැනි සුඛෝපභෝගී වාහන පරිහරණය කිරීම (මේ වාහන බොහෝ විට උන්වහන්සේලාට පුජා කරන්නේද ගිහියන්මය), එක්තරා ‘රජ පවුලකට’ උවමනාවට වඩා ‘කඩේ යාම’, මත්පැන් බීම, කුණු හරුප කීම, මහත් ලෙස මුදල් පරිහරණ වැඩවල යෙදීම ආදියයි. මේ සමහරක් ඒවා ඉතා නරක දේය. නමුත්, සසුනෙන් පහ කිරීමට තරම් වූ දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට තරම් බරපතල වරදවල් නොවේ. අවවාද, අනුශාසනා ලබාදී දුශ්ශීල භික්ෂුන් නිවැරදි මාවතට, හරි මඟට ගත හැක.
අධි සුඛෝපභෝගී යාහන වල යන තදින්ම දේශපාලනය කරන හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානු පුජකවරු නැද්ද? ඔවුනට දොස් නොනගන්නේ ඇයි?
කෙසේ වෙතත්, බුදු දහම විකෘති කර බණ දේශනා කිරීම, බොරුවට රහත් යයි කීම, සංඝ බේධ ඇතිකිරීම, බුද්ධාගමට අපහාස කරන දේශන පැවැත්වීම, ලිංගිකමය ක්‍රියාවල සෙසු අයෙක්/අය සමඟ යෙදීම, මහා පරිමාන සහ භික්ෂුන්ට අකැප වූ ව්‍යාපාරික කටයුතු වල යෙදීම, සොරකම්වල නියැලීම, ගුටි බැට වල නිතර නිරතවීම වැනි චෝදනා සංඝයාවහන්සේලාට ඇත්නම්, ඒවා ඉතා බරපතලය.
මේවා සිදුකරන දුශ්ශීලයනට එරෙහිව විනය ක්‍රියාමාර්ග නායක හිමි වරුන් නොගැනීම බෞද්ධාගමේ වත්මන් පිරිහීමට ප්‍රධානතම හේතුවකි. දුශ්සීලයන් දෙතුන් දෙනෙක් හෝ සසුනෙන් පහ කලේ නම් හෝ වෙනයම් දැඩි දඬුවම් දුන්නේ නම් වැරදි වැඩ කරන සංඝයා වහන්සේලා බිය වනු ඇත. වැරදි වැඩ නතරවනු ඇත.
නැවතත් – ක්‍රිස්තියානු, මුස්ලිම්, හින්දු පුජකයන් අතර දුශ්ශීලයන් නැද්ද? බොහෝ ඇත. නමුත් මේ අයගේ වැරදි ගැන මාධ්‍ය කථිකාවක් නොමැත. ලෝකයේ කතෝලික පල්ලිවල ළමා අපචාර පිළිබඳව ගරු පාප් තුමා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇත.
තැලෙන යකඩය තව තවත් තැලීම පහසුය.
ගරු සංඝයාවහන්සේලාද නියම බුද්ධ පුත්‍රයන් ලෙස සියළු බැනුම්. ගැරහුම් අසා, විඳ දරා සිටිත්. නමුත් විනාශ වන්නේ අපේ වටිනා බුදු දහම බව මේ පහර ගසන ‘ඊනියා සිංහල බෞද්ධයනට නොතේරේ. එසේ නැත්නම් ඔවුනටද අවශ්‍යව ඇත්තේ මේ රටින් බුදු දහම අතුගා දැමීමටය (මාලදිවයින, පකිස්තානය, ඇෆ්ගනිස්තානය, මැලේසියාව, ඉන්දුනීසියාව, චීනය කලක් බෞද්ධව තිබු රටවල්ය. තව වසර 150න් ශ්‍රී ලංකාව?).
ශ්‍රී ලාංකිකයෝ කිසිම ආගමක් ඇදහිය නොයුතුය යනුවෙන් දේශනා කරන්නෝ ව්‍යංගාර්ථයෙන් කියන්නේ සිංහල බෞද්ධයන් එම ආගමෙන් ඉවත් විය යුතු බවයි. මේ පණිවුඩය ද්‍රවිඩයනට සහ මුස්ලිමානුවනට දැඩි සේ බල නොපායි, මන්ද ඔවුන් ව ඉල්ලක්ක කර කරන සමාජ මාධ්‍ය දේශණ ඉතා අඩුය.
බියකරු දෙය නම් මෙවැනි අදහස් නිරන්තරයෙන් මිනිසුන්ගේ මනසට කා වැද්දීම නිසා මේ උපදෙස් හරි යයි ජනතාව සිතීමයි. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ මනසේ බුද්ධාගම, සංඝයාවහන්සේලා පිළිබඳව ඇති ආදරය වෙනුවට තරහක් ඇතිවේ.
මෙවැනි විෂම අදහස් නිසා මුළු සිංහල බෞද්ධ සමාජයම කඩා වැටීමකට ලක් විය හැක. අප වනාහි සම්ප්‍රදායනට ගරු කරන, ශ්‍රේෂ්ට ඉතිහාසයකට උරුමකම් කියන උසස් සිරිත් විරිත් ඇති, ගතානුගතිකත්වයෙන් බර ප්‍රෞඩ රටකි.
දියුණු බටහිර රටවල ආගම් විනාශ කර කරන කථා වලට ඉඩ නැත. මැදපෙරදිග වැනි රටවල එවැනි දේට මරණ දඬුවම පවා හිමිවේ. මේවාට කියන්නේ ආගමික අපහාස නිතී (blasphemy laws) කියාය. ලංකාවේද මේවා ඇත, නමට පමණක්.
බලි, තොවිල්, ජ්‍යෙතිෂ්‍ය, නොයෙක් දේව ඇදහිලිවලට ට සිංහලයා විසින්ම ගැරහීම, අපහාස කිරීම
බලි, තොවිල්, නොයෙක් දේව ඇදහිලි, ජ්‍යෙතිෂ්‍ය, කේන්දර ආදිය වසර 2500 පැරණි සිංහල බෞද්ධ සංස්කෘතියේ අංග ලක්ෂණය. අප මේ දේ සමඟ මෙතෙක් ජීවත් වූවෙමු. අපගේ ජීවිත හැඩ ගැසී ඇත්තේ ඒවා ආශ්‍රයෙනි. මේ සියළු දේවල් බොරුය, ඒවා සියල්ල බැහර කල යුතු යයි සිංහල බෞද්ධ යයි කියා ගන්නා නියෝ-ලිබරල් වාදීන් වැන්නෝ, කිසිම ආගමක්/ඇදහිල්ලක් විශ්වාස නොකරන්නෝ කියති. මෙය අසාධාරණය.
මනුෂ්‍ය විශ්වාසයන් මත අවුරුදු දහස් ගණනක් තිස්සේ අප කරගෙන ආ මේ දේ කිසිවක් නිතී විරෝධී ගණයට වැටෙන ක්‍රියාවලින් නොවේ.
නිර්මල බුදු දහමේ දෙවියන් ඇදහියිමක් නොමැත කියා කෙනෙකුට වාද කල හැක.
නමුත් බලි, තොවිල්, ජ්‍යෙතිෂ්‍ය, දෙවි වරු, කේන්දර ඇත්තය කියා විශ්වාස කරන සිංහල බෞද්ධයාට ඒ දේ කිරීමට සහ ඔවුනට සහ එකී සේවා සපයන්නන්ට එවැනි දේ කරගෙන යාමේ අයිතියට/ නිදහසට අන් අය ගරු කල යුතුය.
මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියනට ලබා දී ඇති අයිතියකි.
‘බුද්ධාගමේ දෙවියන් නැත, ඒ නිසා, මම කියන නිසා, අද සිට ඒ සියලු ඇදහිලි (බලි, තොවිල්, ජ්‍යෙතිෂ්‍ය, කෙන්දර වැනි) නැවැත්විය යුතුය’ වශයෙන් පාරම් බෑමට කිසිවෙකුටවත් අයිතිය නොමැත.
මිනිසුනට විවිධ මාද්‍ය (විශේෂයන්ම සමාජ, ෆේස් බුක්) භාවිතයන් හරහා සිදු කරන, ඔවුනට එල්ල කරන නින්දා අපහාස නතර කල යුතුවේ. මෙය බරපතල වරදකි.
විශේෂයෙන්ම – සෑම කතාවකටම දෙපැත්තක් ඇත. නියම මාධ්‍යකරණය නම් දෙපාර්ශවයේම මත විමසීමක් සිදු කිරීමයි. අද, බොහෝ විට බැනුමට, ගැරහුමට පාත්‍ර වන තැනැත්තාගේ මත විමසීමක් නොකෙරේ.
මිනිසුන්ට ප්‍රසිද්ධියේ ගැරහීමට, අපහාස කිරීමට, අවඥාවෙන් සිනහවීමට අන් අයට ඇති අයිතිය කිම?
බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද බුදු දහම තුල දෙවියනට පිං අනුමෝදන් කිරීමේ වත් පිළිවෙත් ආදිය ඇත.
ශ්‍රී ලංකාව යනු තවමත් කෘෂිකාර්මික (agrarian) සමාජයකි. අප ඇමරිකාව, කැනඩාව හෝ ඕස්ත්‍රේලියාව නොවේ.
බලි, තොවිල්, නොයෙක් දේව ඇදහිලි, ජ්‍යෙතිෂ්‍ය, කේන්දර වලට පහර ගසන්නන් එසේ කරන්නේ ඒ දේවල් මිත්‍යාවල් කියාය.
බුද්ධාගම හැරුණු කල මේ රටේ තිබෙන අන් ප්‍රධාන ආගම් වල මිත්‍යා විශ්වාස/ඇදහිලි නොමැතිද? එකී ආගමිකයන් තම පල්ලි/දේවාලවලට ගොස් දෙවියන්, දෙවියන් වහන්සේ, විවිධ දේව සහ රූප වර්ග, සාන්තු වරයනට, වන්දනා මාන නොකරන්නේද? පහන්, ඉටිපන්දම්, හඳුන්කූරු ආදිය නොදල්වන්නේද? ඒ දේ ද මිත්‍යාවන් යයි කියා ඔවුනට සහ ඔවුනට සේවා සපයන්නන්ට මේ අය අපහාස නොකරන්නේ ඇයි? ඇමරිකාව, එංගලන්තය, මැද පෙරදිග වැනි ධනවත්, ‘උසස් යයි සම්මත’ රටවල ජාතිකයන්ද එවැනි රටවලද එවැනි දේවල් කරන නිසාද?
ගස් ගල් වලට වඳීන්නාද,දෙවියන්/ දෙවියන් වහන්සේ යන කෙනෙක්ව අදහන්නාද කරන්නේ එකම දේයි – අදෘශ්‍යමාන බලවේගයක් පිළිබඳව තමන් තුල ඇති විශ්වාසය මත කටයුතු කිරීමයි. මේ අයගේ ඇදහීම් වෙනස් වුවත් ඔවුනට එම වත් පිළිවෙත් කිරීමට එක හා සමාන අයිතියක් සහ නිදහසක් තිබිය යුතුය. එක් අයෙක් පමණක් කොන් කර නින්දා, අපහාස වලට බඳුන් කිරීම වැරදිය. එසේ කරන්නේ නම්, එම කරන තැනැත්තාගේ ඔලුව පරීක්ෂා කර බැලිය යුතුය.
සිංහලයින් ‘ශ්‍රී ලාංකිකයින්’ බවට පත්වීම සහ 2009 – 2019, යුද්ධයෙන් පසුව ආ සන්හිඳියා ක්‍රියාදාමය
දැනට දශක තුනක පමණ සිට සිට රටේ සැමදා තිබු ‘සිංහල’ ‘බෞද්ධ’ වෙනුවට ‘ශ්‍රී ලාංකික’ යන අනන්‍යතාවය දිය යුතුය යන රාජ්‍ය මතයක් ගොඩ නැඟුමට පටන් ගැණිනි. ‘එක් සුළු ජාතියකට මහ ජාතිය විසින් කරන ලද අසාධාරණය වෙනුවෙන් තමා ලැජ්ජාවට පත් වන්නේය’ වැනි අදහසක් එවක සිටි රාජ්‍ය නායිකාව ජාත්‍යන්තරය හමුවේ කියා තිබුණි.
එවක් පටන් අද දක්වා තිබුණු සියලු ආණ්ඩු ඉතා සූක්ෂම ලෙස මෙය ‘සිංහල බෞද්ධ’ රටක් ලෙස හැඳින්වීමට එදිරිව කටයුතු කළහ. සියලු රටවැසියන් සිය ආවේණික ජාතිය (සිංහල, දෙමළ, මුස්ලිම්) අමතක කර, ‘ශ්‍රී ලාංකික’ විය යුතුයයි කියන රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රමයෙන් මුල් බැසගති. බෙදුම්වාදීන්, ජාතික අන්තවාදීන් බහුල සහ ඉතා ප්‍රබල වූ මේ රට තුළ අඩු තරමින් ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවක් සියලු රට වැසියන් අතර ගොඩනැඟූනේ නම් එය හොඳය. නමුත් එය සිදු නොවිණි.
එම සන්හිඳියා ක්‍රියාදාමය මුළු රට පුරාම එක් ආකාරයකින් ක්‍රියාත්මක විය යුතුව තිබුණි- එය එසේ නොවීය.
සෑම ජාතියක්ම (සිංහල, දෙමළ, මුස්ලිම්) එක ලෙසින් එම ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාව වැළඳ ගත යුතුය. නමුත් එවැන්නක් සිදු වූයේ නැත.
දකුණේ සිංහලයෝ සිය සිංහල බෞද්ධකම දෙවනුවට මෙන් තබා මෙම නව ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාව ඉමහත් භක්ත්‍යාධරයෙන් වැළඳ ගත්හ. ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වලදී, තම නිවසේ රූපවාහිනි තිරය ඉදිරිපිට සිට, අපි ‘ශ්‍රී ලන්කන්’කියා ඉතා උද්යෝගයෙන් ශ්‍රී ලාංකික පිලේ ජයග්‍රහණ පැතූහ. නිදහස් දිනය දා ජාතික කොඩිය නිවසේ ප්‍රදර්ශනය කළහ. සුළු ජාතීන්, විශේෂයෙන්ම උතුරේ, එවන් ආශාවක්/උද්‍යෝගයක් ප්‍රදර්ශනය නොවිණි. අද තත්ත්වය ද එසේය.
සිංහලයන් ශ්‍රී ලාංකික අනන්‍යතාව ආශාවෙන් වැළඳ ගැනීමට යාමෙන් සහ සුළු ජාතීන් එය ඒ තරමින් වැළඳ නොගැනීමෙන් සිංහලයෝ තමනට ආවේණික වූ ජාතිකත්වය (‘සිංහල බෞද්ධකම’) මොට කර ගත්හ. මෙහි අවාසනාවන්ත ප්‍රථිපල දැනටමත් දක්නට ලැබෙතත් වඩා බරපතල ප්‍රථිඵල විද්‍යමාන වනුයේ තවත් වසර 25ට පමණ පසුව යැයි මේ ලියුම්කරු විශ්වාස කරයි. ඒ පිළිබඳව මෙම ලිපියේ ඉදිරි කළබ වලින් විශේෂයෙන්ම පැහැදිලි කෙරේ.
ශ්‍රී ලංකාව, සිංහල බෞද්ධ රටක් නොවේය යන සංකල්පය රට තුළ ඇතිකළේ බෙදුම්වාදීන්ට අමතරව ඇතැම් සිංහල බෞද්ධ යයි කියා ගන්නා දේශපාලනඥයන් විසින්මය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියෙන් රජයන් විසින් බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදී බෞද්ධාගම ආරක්ෂා කිරීමට සහ රැකගැනීමට ලබාදී ඇති ප්‍රතිඥාව ඉවත් කිරීමට ඇතැම් ආණ්ඩු සලකා බැලූ බව නොරහසකි. ගරු කාදීනල්තුමා තම මත ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ආණ්ඩු නිහඬ වූ බව පිළිගත යුතු සත්‍යයකි.
නැවතත්; සන්හිඳියාව යටතේ මහ ජාතිය වූ සිංහලයෝ තම සිංහල බෞද්ධ සංස්කෘතිය වර්ධනය කරනවා වෙනුවට ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාව ප්‍රගුණ කිරීම වෙනුවෙන් ඇප කැපව වැඩ කළහ. බොහෝ දෙනෙක් දෙමළ ඉගෙන ගත්හ. කෝවිල් ගියහ, දෙමළ චිත්‍රපටි, සින්දු රස විඳින්නට වඩාත් යොමු වූහ. දෙමළ ක්‍රමයට ඇඳුම් (සරම්, සාරි, පොට්ටු, කරාබු) ඇන්ඳහ/පැලඳූහ, දෙමළ/මුස්ලිම් කෑම සෑදීමට/අනුභවයට, දෙමළ නෘත්‍යයන් ඉගෙනුමට වඩාත් යොමු වූහ. දෙමළ/ මුස්ලිම් අය තම සමීප මිතුරන්/අසල්වැසියන් බවට පත් කර ගත්හ. තම විවාහ සහකරු/සහකාරිය ලෙස පෙර නොවූ විරූ ලෙස සිංහල නොවන ද්‍රවිඩ/ මුස්ලිම් අයව තෝරා ගත්හ.
මේ දේවල් විවේචනය කරනවා නොවේ.
නමුත්, දකුණේ සිංහලයෝ ද්‍රවිඩ/මුස්ලිම් සංස්කෘතින් හා සමීප වීමට උත්සාහ කරද්දී උතුරේ හා නැගෙනහිර අය (දෙමළ, මුස්ලිම් – විශේෂයෙන්ම උතුරේ දෙමළ) සිංහල කථා කිරීම, බෞද්ධාගම, සිංහල සිරිත් විරිත් ඉගෙනුම ගැන සුවිශේෂ උනන්දුවක් දැක්වූ බවක් අසන්නට නොලැබුණි.
දෙමළ කථා කරන සුළු ජාතීන් – උතුරු නැගෙනහිර වෙසෙන ද්‍රවිඩ, මුස්ලිම් (වැඩියෙන්ම උතුරේ දෙමළ) ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාව ප්‍රගුණ කිරීම/වැළඳ ගැනීමට වඩා ඔවුන්ටම ආවේණික වූ ජාතිකත්වය තවත් වර්ධනය කිරීමට අවධානය යොමු කළහ. එය වඩා වැදගත්ව සලකා ඒ අනුව ඔවුහු කටයුතු කළහ. නිදහස් දිනය දා ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම කෙසේ වෙතත් නොවැම්බර් 26 වෙනිදා මහාවීර දිනය කෙසේ හෝ සැමරීමට ඔවුහු යුහුසුළු වූහ. ද්‍රවිඩ බෙදුම්වාදීන් සිය ඊළාම් රාජ්‍ය සංකල්පය අත්හල බවක් පෙනුනේද නැත. 2010- 2019 සන්හිඳියා කාලයේ කිසිදා නොතිබුණු මුස්ලිම් අන්තවාදයක් ද මේ රටේ බිහි විය. 2019 අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරිදා රටේ ප්‍රදේශවල බෝම්බ පිපිරී ගියේය.
මේ තත්ත්වය පිළිබඳව නිවැරදි සමාජ කථිකාවක් නොමැත.
දකුණේ සංහිඳියාව ඉතා සාර්ථක වූ බවත්, උතුරේ එය අසාර්ථක වූ බවත් අප ප්‍රසිද්ධියේ කීමට බිය ඇයි?
‘සියළු කුණු බේරුවල් බොක්කට’ කීවාක් මෙන් රටේ සියළු ජාතික වැරදි සිංහලයන් මත පමණක් පැටවීම ඉතා වැරදිය, අසාධාරණය.
මතු සම්බන්ධයි …