විදර්ශනා සමාධිය තුල නිවන් අවබෝධය (සිත නිවෙන ආකාරය – විතක්ක විචාර සංසිදීම, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා)
Posted on December 17th, 2022

තිස්ස ගුණතිලක 

ආත්මීය නොවන, අපට කිසිදා විදිය නොහැකි, භාහිර ලෝකයේ (රූප) ප්‍රතිබිම්භය පංචේන්ද්‍රියන් හරහා ප්‍රසාද වන වේගය සංඥා අභිසංකරනයක් ඇතිකරයි. භාහිරය දෙයක්/යමක් බවට පරිවර්තනය කරන මායාව සිතෙහි ඇතිකරන්නේ මේ සංඥා අභිසංකරනයයි.

සිතුවිල්ල තුල මායාවක් සේ දෙයක්/යමක් ඇතිවීම (සක්කාය දිට්ඨිය) ගින්නකි, ඉමහත් ආතතියකි. සංඥාව පෙර මතකය විතක්ක විචාර කරගෙන සංකාරය නැතහොත් අරූපාවචර (නාම) ලෝකය සකස්කරයි. නිවන්මග අහුරන්නේ මෙසේ ඇතිවන නාම/අරූප ලෝකයයි. ක්‍රමයෙන් විතක්ක විචාර සංසිදීම යනු අරූපාවචර නාම ලෝකය ක්‍රමයෙන් සංසිදීමයිසුකුම වීමයි. එවිට සිතේ ගින්නක්, ආතතියක් ඇති නොවේ. ගින්න නිවෙන තැන ඇත්තේ ප්‍රීතියකි. ආතතිය නැති තැන ඇත්තේ සැහැල්ලුවකි, එනම් සුඛයකි. ප්‍රීතියයි සුඛයයි ඇති තැන ඒකාග්‍රතාවයක් නැතහොත් සමාධියක් ඇතිවීමට පහසුය.

සමාධිය යනු පියවරෙන් පියවර නාම රූප වෙන්වෙන්ව දැකීමෙන් (නාම රූප පරිච්ඡේදය) දෙයක්/යමක් (භව) නැතිබව අවබෝධවීමයි. දෙයක් නැතිබව දැකීම යනු යථාර්තයේ (භාහිරයේ/ස්වභාව ධර්මයේ) ආත්මීය බවක් නැති ස්වභාවය ප්‍රත්‍යක්‍ෂ විමයි. නිවනයි. 

ආත්මීය බවක් නැති තැන කෙනෙක්/මමෙක්ද නැත. එවිට මරණ බියක් ඇතිවන්නෙක්ද නැත. මරණය අතික්‍රමනය කරන්නේය යනු මෙම සංසිද්ධියයි. 

තතාගතයන් වහන්සේ සබ්බේ සංකාරා අනිච්චාති යනුවෙන් දේශනාකලේ මෙම ධර්මතාවයයි. එනම් ස්වභාවධර්මයට අයත් සියළුම දේ (හිරු සදු යට පවතින සියළුම රූප) සංකාරා වන අතර, සියළුම (සබ්බේ) සංකාරා වලට පොදු සාධකය වන්නේ ඒවායේ දෙයක්/යමක් නොවන, ආත්මීය නොවන ස්වභාවයවන අනිච්ච ස්වභාවය‘  (අනිච්චාති) ලෙස හදුනාගත හොත් සද්ධර්ම අවබෝධය පහසුවනවා නිසැකය.

ස්ඛන්ධය (රූප, වේදනා, සංඥා. සංකාර, විඤ්ඤාණ) තුල ඇති සංකාර ඉහත සදහන් සංකාරා වලින් වෙනස් බවත් සංකාර චෛයිතසිකය/සිත තුලත් සංකාරා භාහිර ලෝකයේ ඇති ස්වභාවධර්මය තුලත් පවතින්නක් බව දැනගැනීම ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි.

මෙය සද්ධර්මය පිළිබද ලිපි පෙලේ අවසන් ලිපියයි.

ඹබට සුභ පැතුම් 

තිස්ස ගුණතිලක 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress