සිංහලයනට වන අසාධාරණ  (නොහොත් සිංහලයාගේ බහිනකලාව)  (5වෙනි කොටස)
Posted on December 19th, 2022

චානක බණ්ඩාරගේ

මේ දේශපාලුවනට ඇත්තටම පිස්සුද?

පසුගිය යහපාලන රජයේ සිමා නිර්ණ කොමිසමේ නිර්දේශ අනුව උතුරු/නැගෙනහිර සිංහල ගම්මාන වලින් සමහරක් එම පළාත් වලින් ගලවා උතුරුමැද පළාතට අනුයුක්ත කල යුතුය. මෙයින් වන්නේ උතුරු/නැගෙනහිර සිංහල ජනගහනය තවත් අඩු විමය. වත්මන් රජය මේ මෝඩ නිර්දේශ ක්‍රියාත්මක නොකරනු ඇතැයි උදක්ම පතමු.

දකුණ අද ජනගහනයෙන්  පිරි ඉතිරි ගොස්ය. මිනිසුන් පර්චස් 2 ඉඩම්වල පවා ගෙවල් සාදා ගනිති. තදබදය ඒ තරමට වැඩිය. අලි-මිනිස් අර්බුදය උච්චම තත්වයට පත්ව ඇත. කැලෑ වලින් පිරි ජන ශුන්‍ය ප්‍රදේශයක් වූ හම්බන්තොටද (ලෙනාඩ් වුල්ෆ්ගේ අති සුන්දර වනාන්තර ගමක් වූ බැද්දෙගමහි සිළිඳු, පුන්චි මැණිකා සහ හින්නිහාමි චරිත මතක්වේ) වරායක්, ගුවන් තොටුපලක්, ක්‍රිකට් ක්‍රිඩාංගනයක්, සම්මන්ත්‍රණ ශාලාවක්, සිනමා ගම්මානයක්, කෘතිම සංචාරක සෆාරි උද්‍යානයක් වැනි දේ බිහිවිම නිසා බෙහෙවින් වෙනස් වී ඇත. (මේ සියල්ලම වාගේ ජාත්‍යාන්තර මට්ටමේ ඒවාය, අධි පොලියට විදේශ ණය ලබා නිම කරන ලද තේරුමක් නැති ව්‍යාපෘතිය). හම්බන්තොට තව තවත් නාගරීකරණය වෙමින් පවතී.

හම්බන්තොට සුන්දරත්වය කෙළසා එය කොන්ක්‍රීට් වනාන්තරයක් බවට පත් කිරීමට මෝඩ දේශපාලනඥයනට උවමනා විය. වරායක් සෑදීමටය කියා ශ්‍රී ලංකාවේ තිබු හොඳම සහ සුන්දරම මුහුදු වෙරළ (කලින් හම්බන්තොට තානායම  අවට පිහිටි ප්‍රදේශය) නැති කර ගත්තෙමු. 

අද හම්බන්තොට වරාය තුල කිනම් දේ (කටයුතු) සිද්ධ වේ දැයි රජයවත් නොදනී. එය රාජ්‍යක් තුල වෙනම ‘රාජ්‍යකි’. 

ගුවන් යානා නොඑන ගුවන් තොටුපොළක් සාදා, ක්‍රිකට් නොගසන ක්‍රිකට් ක්‍රීඩා පිටියක් සාදා, චිත්‍රපට නොහදන සිනමා ගමක් සාදා, සම්මන්ත්‍රණ නැති ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක් සාදා, සංචාරාකයන් නොඑන සෆාරි උද්‍යානයක් සාදා ඩොලර් බිලියන ගණනින් මේ රට දේශපාලුවෝ ණය භරිත කළහ.

හම්බන්තොට වටිනා  කැලෑ කැපීමෙන් එහි සිටි වටිනා අලි, කොටි (දිවි), වලස්, ගෝන, මුවන්, රිලවුන්, මොනරුන් වැනි සතුන් අද යන එන මං නොමැතිව අන්ත අසරණ ව සිටිති. කැලෑ වල ලී දේශපාලුවෝ සහ නිලධාරීන් විකුණා ගත්හ.

මත්තල ගුවන් තොටුපොළට යන මාර්ගයේ මොණරු පැමිණ මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවේ වැදී මැරී වැටෙති (විශේෂයෙන්ම උදේ පාන්දර). වාහනවලට අසුවූ උරග සතුන්ගේ මල සිරුරු වාහනවලටම තැලී පාරේ මැදය. වල් අලි යන එන මං නොමැතිව පාර දෙපසට වී බලා සිටිති. ක්‍රිකට් තරඟ වේලාවල පවා (ඉතා කලාතුරකින් පැවැත්වෙන) වල් අලි ක්‍රීඩාංගනයට පැමිණ ඇති බව වාර්ථා විය.  සුරියවැව ඝන කැලයේ සිටී වඳුරන් අසරණව කෑම සොයා හුංගම. අම්බලන්තොට ටවුමට පවා පැමිනෙත්. සුරියවැව මොණරුන් කෑම සොයා අහංගමට ඉගිලී පැමිණෙත්.

මේ අයගේ අමන වැඩ නිසා රටේ ඉතා වටිනා වනජීවී සම්පත ඉතා ඉක්මනින් ක්ෂය වෙමින් යයි.

මේ ව්‍යාපෘති වලින් මුදල් ගසා ගත් දේශපාලුවෝ සහ උසස් රාජ්‍ය නිලධාරින් අද ආසියාවේ සුපිරි ධනවතුන් බවට පත්වී සිටිති. ඔවුන් අදත් කිසිදු බියක් නොමැතිව රිසිසේ වැජභෙත්. ඔවුන් අදටත් මේ රටේ ප්‍රභූ වරුය.

ගාල්ල වරාය සමහර විට කොළඹ වරයාටත් වඩා පැරණි විය හැක. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සිය පරෙවි සංදේශයේ 84වැනි කවියෙන් (15වන  සියවසේ  අවසන් භාගයේ) ගාලු පුරය වර්ණනා කර තිබුනේ එහි සාප්පුවල මුතු, මැණික්, රත්‍තරන් ප්‍රදර්ශනයට තබා තිබු අයුරින් කෙනෙකුට සිතෙනුයේ මුළු මහත් මුහුදු පත්ලම හරා ඇද්දෝයි කියායි.

පවත්නා ගාලු වරාය සංවර්ධනය කරනු වෙනුවට (එය හම්බන්තොටට වඩා ජාත්‍යාන්තර මුහුදු මාර්ගයට ළඟය), එවක තිබු රජයන්හි ‘සියල්ල හම්බන්තොටය’ යන අමනෝඥ ප්‍රතිපත්තිය යටතේය හම්බන්තොට නව වරායක් ගොඩ නැඟීම ආරම්භ කලේ. ඩොලර් බිලියන් ගණනින් චීනයෙන් ණය ගනු ලැබීය. මේවා ගෙවා දැමීමට තව පරම්පරා 5ට  වත් බැරිය. අද හම්බන්තොට වරායට සිදුවී ඇති දේ ගැන අමුතුවෙන් කිව යුතු නැත.

ඉතා සජීවී ජාත්‍යාන්තර වරායක් වූ ගාල්ල අද මැරී ගොස්ය. එයට විදේශ නැව් නොපැමිණේ.

කාලකණ්නි වරායක් හම්බන්තොට සැදීම නිසා එහි බොහෝ ඉඩම් චීන  ආයෝජකයන් සඳහා ලබා දීමට සිදුවී තිබේ.   ඔවුනට ඉතා පිරිසිඳු ජලය පමණක් අවශ්‍යය යනුවෙන් නඟන මැසිවිලි නිසා සිංහරාජ  කැලය කපා ඇල මාර්ගයක් ඔස්සේ හම්බන්තොටට ජලය සැපයීමේ ව්‍යාපෘතියක් ඇත.  මෙම ලියුම්කරුගේ දැනුම අනුව දැනට මෙම ව්‍යාපෘතිය නතර වී ඇත. නමුත් මේ නිසා සිංහරාජයට කරන ලද විනාශය එලෙසමය.

ඉතා  අසාර්ථක වූ, උමා ඔය ව්‍යාපෘතියෙන් එකළ රජය අදහස් කලේ අවසානයේදී හම්බන්තොටට ජලය සැපයීමය. මේ වැඩ පටන් ගත්තේ කිසිම විධිමත් පාරිසරික අධ්‍යනයක් නොකරය. උමා ඔය නිසා ඇල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශවල ඉඩම් හිමියනට වූ විශාල හානි දැන් සැවොම දනී.

උමා ඔය වෙනුවෙන් විනාශ කර දමන ලද්දේ කෝටි ගණන් මහජන මුදල් පමණක් නොවේ, ඌවේ ඉතා වටිනා, සශ්‍රීක ඉඩම්ය. උමා ඔයාට ගත් ණය ගෙවා අවසන් කිරීම අනාගත පරපුරණට බාරය (දැනට ඉපදුනු සහ නොඉපදුනු).

උමා ඔය සඳහා නිවාස සහ දෙපළ විශාල පරිහානියක්  කර කෙසේ හෝ උමග බොහෝ දුරට තනා අවසන් කළහ. දැන් මුළු ක්‍රියාන්විතයම නවතා දමා ඇත (හානිය සිදු කර ඉවර වු පසු). සෑදු උමග කන්නද?

(රටේම තිබෙන කළු ගල් කඩා පෝර්ට් සිටියට මුහුද ගොඩ කල පසු, තමන් බලයට පත්වූ පසු එම ව්‍යාපෘතිය නතර කරනවා කියා ඒ දිනවල කරන ලද කීම වැන්නකි මෙහි සිදුවී තිබෙන්නේ).

හම්බන්තොට සහ රටේ අනෙක් නව ව්‍යාපෘති නිසා මේ රටේ, දකුණේද ඇතුළුව,  නව චීන ජනගහනයක් ඇරඹි ඇත. මෙහි ආදීනව ගැන සවිස්තර එලභෙන ලිපියක. 

හම්බන්තොට වරාය වසර 99ට චීනයට බදු දීම ඉතා අමනෝඥ ක්‍රියාවකි. (මේ නිසා රටේස්වෛරිත්වයට සහ භෞමික අඛන්ඩතාවයට හානි සිදුවේ).

99 අවුරුද්දක බද්දක් යනු දේපලක් සින්නකර විකිණීම හා සමානය. බ්‍රිතාන්‍යයෝ චීනයට අයත් හොංකොන් භුමිය ගොඩ නැගුවේ 99 වසරකට එය බදු අර ගෙනය.

වසර 99 ඇවෑමෙන් බ්‍රිතාන්‍යයෝ ගියාක් මෙන් චීනය 2114 දී හම්බන්තොට ආපසු අපට භාර දී ආපසු යාවිද? ඔබම සිතා බලන්න.

2114 දී (අපේ මී මුණුබුරන්ගේ) ශ්‍රී ලංකාව? –  

එවිට එය කෑලි කෑලි වලට කැඩී ගිය රාජ්‍ය සමුහයක් (සිංහල, දෙමළ, මුස්ලිම්) බවට පත් ව තිබිය හැකිද? නැතනම් මුළු රටම ඊලාම් රාජ්‍යක් වී තිබිය හැකිද?

දෙවැන්න සිදුවීමට වඩාත් ඉඩ කඩ වැඩිය.  

මහ ජාතිය වුවත්, ඔවුන් දුර්වල නම්, රටේ සිටින සුළු ජාතියට රාජ්‍ය බලය අල්ලා ගත හැක.                                                                          

උදා: රුවන්ඩාවේ මහ ජාතිය හුටුන්ය-  90% පමණ, නමුත් දැන් ඒ රට පාලනය කරන්නේ 10% පමණ වන ටුට්සින්ය. සදාම් හුසේන් යුගයේ සුළු ජාතිය වූ සුනී මුස්ලිම් වරුන් විසින් (ජනගහනයෙන් 20%ට අඩු ) ඉරාකය පාලනය් කරන ලදී. මහා ජාතිය වන ශිආ මුස්ලිම් වරුන් 75%ට අධික වේ.  

අඩුම තරමින් ඩොලර් බිලියන 5ක් වත් හම්බන්තොට වරාය බදු දිම සඳහා චීනයෙන් ලබා ගත යුතුව තිබුණි, ලබා ගත්තේ ඩොලර් බිලියන 1ක් පමණි.

එය කල හැකිව තිබු දෙයකි. එම වරාය සෑදීමට පමණක් චීනය ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.5ක් හෝ 3ක් පමණ ණය දුන්නා විය හැකියි. හම්බන්තොට චීනයට නැතිවම බැරි වරායකි. එය ඔවුනට සිය දෑස මෙනි. ඔවුන්ගේ නව මුහුදු සේද මාවතට ඔවුන් හම්බන්තොට ද එක් කර ඇත.

හම්බන්තොට වරාය වෙනුවෙන් ඕනෑම ඩොලර් බිලියන ගණනක් වියදම් කිරිමට චීනය  ලෑස්තිය. චීනය යනු සල්ලි  ආකරයකි.

අපි අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත්තෙමු.

රටට සැබැවින් ආදරය කරන දක්ෂ දේශපාලනඥයයෝ රාජ්‍ය පරිපාලනය කරන්නේ එලෙසිනි. තම රටට උපරිමව වාසි ලැබෙන සේ ඔවුහු රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු කරති.

පෝර්ට් සිටිය නවත්වනවා කියා ගොස් එය චීනයට දෙගුණයකින් වැඩි කර දීමට කැමති වුයේද අපේ අයයි.

දැන් රටට (මහජනයාට) අයත් ඉතිරි දේපළ ටිකද විකුණා එයින් ඉදිරියේ කෙටි කාලයක් හෝ ජීවත් වීමට රජය උත්සහ දරයි. අභාග්‍ය නම් මේ දේපළද මොවුන් විකුණනු ඇත්තේ කුණු කොල්ලයටය.

මෙවර දේපළ බොහොමයක් මිලදී ගනු ඇත්තේ දෙමළ ඩයස්පෝරාවය. ඔවුන් විවිධ විදේශ කොම්පැනි නම් වලින් මේවා කුණු කොල්ලයට මිලදී ගනු ඇත. ඇතැම් විදේශිකයන්ද පැමිණ මිලදී ගනු ඇත. ‘රජ පවුලද’ විවිධ නම් වලින් මිලදී ගනු ඇත.

  ‘සිංහලයා මෝඩයා’ කියා මේ දෙමළ ඩයස්පෝරාව,  විදේශිකයෝ සහ ‘රජ පවුල’ හොඳට දනිති.

ජීවත්විමට ඉතිරිව ඇති හොඳම ඉඩම්

රටේ ජනතාවට ජීවත්විමට හොඳම ඉඩම් දැන් ඉතිරිව ඇත්තේ උතුරේ සහ නැගෙනහිරය. මෙය මේ රටේ 1/3 ක භුමි භාගයකි. මුහුදු තීරයෙන් 2/3ක් පමණ වේ. නමුත්, අදත් සිංහල ජාතිකයෙකුට උතුරේ සහ ඇතැම් නැගෙනහිර ඉඩම් කොටසක් මිලදී ගැනීමට, බද්දට ගැනීමට, ගොවිපලක් ආරම්භ කිරීමට නොහැකිය/ඉතා අපහසුය. මේවා මේ රටේ දැවැන්ත, දැවෙන ප්‍රශ්ණය. නමුත් ඒවා ප්‍රශ්ණ නොවන ආකාරයෙන් පෙන්වා රජයන් කටයුතු කරයි. වර්ගවාදී ජාතික ප්‍රතිපත්තියක් අදහන TNA සහ බෙදුම්වාදී ද්‍රවිඩ දේශපාලඥයනට අවශ්‍ය ලෙස උතුරේ සහ නැගෙනහිර කටයුතු සිදු කිරීමට රජයන් ඉඩ දීම නොකළ යුත්තකි.

අප රණ විරුවන් තම ජීවත පරදුවට දී සටන් කලේ මුළු ශ්‍රී ලංකාවම සැවොටම භුක්ති විඳිය හැකි තැනක් බවට පත් කිරීමටය. රට යුද්ධයෙන් දිනුවේය. නමුත් සිංහලයාට අදත් උතුර සහ නැගෙනහිර අහිමිය. ද්‍රවිඩ ජාතිකයෙකුට කිලිනොච්චි අත්හැර තංගල්ලේ පදිංචි විමට හැකියාවක් ඇත. මුස්ලිම් ජාතිකයෙකුට අක්කරෙයිපත්තු අත්හැර ගම්පහ පදිංචි විය හැක. මෙය රටේ දෙමළ, මුස්ලිම් ජනගහණයන් වර්ධනයට ඉමහත් රුකුලකි. නමුත් තංගල්ලේ හෝ ගම්පහ වෙසෙන සිංහලයෙකුට කිලිනොච්චි හෝ අක්කරෙයිපත්තු ඉඩමක් මිලදී ගෙන ගෙයක් සදා ගැනීමේ හැකියාව නැත.

ඒවාට යම් අවහිරයන් වේ නම් රජයන් ඒවා දුරලිය යුතුය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14වෙනි වගන්තියෙන් රටවැසියන්ට ලබාදී ඇති අයිතියකි. (freedom of movement).  නියම සන්හිඳියාව වන්නේ සෑම රටවැසියෙකුට තමන් කැමති ඕනෑම පලාතක ජීවත්වීමේ අයිතිය හිමිවිමයි.

සිංහලයා මුහුණ දී ඇති මෙම දරුණු අසාධාරණය දැන් පවත්නා සුළු ජාතීනට බලය බෙදීම සඳහා වූ සර්ව පාක්ෂික සමුළුවේ ( 2022 දෙසැම්බර් – 2023 පෙබරවාරි) මුලික මාතෘකාවක් විය යුතුයි.  නමුත්, කවදාවත් එය එසේ සිදු නොවනු ඇත.

සුමන්තිරන්, විග්නේස්වරන්, සිවාජිලිංගම්  එවන් යෝජනාවක් න්‍යාය පත්‍රයටවත් ඇතුළු කිරීමට ඉඩ නොදෙනු ඇත. ඉදින්, රටේ තිබෙන ප්‍රධානතම ජන වාර්ගික ප්‍රශ්නයක් සාකච්චා නොකරන සර්ව පාක්ෂික සමුළුවකින් ඇති පලය කුමක්ද?

අද කොළඹ

එදා බොරැල්ලේ වනාතමුල්ල, මට්ටක්කුලියේ සමිට්පුර 95% පමණ සිංහල බෞද්ධ වූ විශාල නාගරික ගම්මානයන්ය. පන්සල් වලින් නැඟුන සාධු නාදය, පිරිත් සජ්ජායනා වලින් ඒ ප්‍රදේශ සුපිරිසිඳුවත් විය. අද ඒවායෙහි සිංහල බෞද්ධයන් 50%ක් වත් නැති තරම්ය.

ජාතික නිදහස ගැන කෑ මොර දුන්, ඒ නමින් පක්ෂයක් හදා ගත්නිවාස ඇමතිවරයෙක් යටතේ සහශ්‍ර පුර, මුවදොර උයන වැනි යෝධ නාගරික ව්‍යාපෘති වල (7,000- 8,000 එහා ජනයා ජීවත්වෙන) සෑම විටම වාගේ සිංහල, දෙමළ, මුස්ලිම් 1/3 අනුපාතයට බෙදෙන පරිදි ජනයා පදිිංචි කරවනු ලැබිය (33% පමණ වන  බැගින්). ප්‍රේමදාස ජනාධිපතිතුමා මිනිසුන් පදිංචි කලේ රජයේ  පත්වීම් දුන්නේ රටේ ජාතික ජනගහන අනුපාතයටය (72%, 20%, 8% වැනි. එතුමාට නායකත්ව ලක්ෂණ තිබුන නිසා ඔහු සමඟ කිසිවෙක් කට ගැසීමට නොපැමිණියේය. කරුණු යථා තත්ත්වයෙන් තෝරා බේරා දීමේ හැකියාව ඔහුට තිබුණි.

1970 දශකයේදී (1983 පමණ දක්වා), බම්බලපිටිය මහල් නිවාස සංකීර්ණයේ (Bambalapitiya Flats) (මෙය රජය සතු වූ ඉහල මධ්‍යම පංතිකයන් වාසය කරන ඉතා සාර්ථක මහල් නිවාස පද්ධතියකි) 80% පමණ වාසය කලේ සිංහලයන්ය. අද (2022), එහි 80% පමණ වාසය කරන්නේ ද්‍රවිඩ ජනයාය. මෙය ඔවුනට දොසක් කියනවා නොවේ. කොළඹ නගරයේ සිංහලයාට සිදුවී ඇති පසුබෑම පෙන්වීමට උදාහරණයක් වශයෙන් පෙන්වනවා පමණි.

කොළඹ නගරය තුල සිංහලයා අද සුළු ජාතියක් බවට පත්වී හමාරද?

එදා (මීට වසර 40 – 50ට පෙර) කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුල (කොළඹ 1 – 15)  සිංහලයන් අඩුම තරමින් 65% – 70% ක් සිටින්නට ඇත. අද මේ ගණන 35% හෝ 40% තරම් විය යුතුය. මේවා පිළිබඳව නිවැරදි සංඛ්‍යා ලේඛන සොයා ගැනීමේ අපහසුතා ඇත.

කොළඹ නව සුළු ජාතික ජනාවාස ප්‍රදේශවල බොහෝ නව පල්ලි (ක්‍රිස්තියානි, මුස්ලිම්), හින්දු කෝවිල් ඉදිවී තිබේ. එම සුළු ජනයාගේ අවශ්‍යතාවයනට ඒවා අවශ්‍යය. නමුත්, උතුරේ සිංහලයාට ප්‍රසිද්ධ ස්ථානයක බුද්ධ ප්‍රතිමාවක් තනා වන්දනාමාන කිරීමට ඇති නිදහසට උතුරේ මහ ඇමති විග්නේස්වරන් විරුද්ධ විය. මධ්‍යම රජයන් එවිට නිහඬ විය.  යාපනය විශ්ව විද්‍යාලයේ බුදු පිළිමයේ සිරස මීට වසර කිහිපයකට පෙර විටින් විට  කඩා දමා තිබු බව යාපනයේ වෙසෙන සිංහල වැසියෙක් මෙම ලියුම්කරු සමඟ පැවසීය.  මෙහි සත්‍ය අසත්‍ය බව මෙම ලිපිකරු නොදනී.

උතුරේ ඉඩම් මිලදී ගැනීමට සිංහලයා යොමු විය යුතුයි; තේසවලාමේ – ඉඩම් පිලිබඳ වූ නිතීය – තදබල  බාධාවක් නොවේ

බොහෝ සිංහලයන් විශ්වාස කරන්නේ තේසවලාමේ  නීතිය නිසා උතුරේ දේපළ මිලදී ගැනීමට හෝ බදු දීමට ඔවුනට නොහැකි බවයි. මෙය ඔවුන් තුල ඇති  වැරදි මතයකි.

තේසවලාමේ  ආඥාපනත  (1947 අංක 59)මගින් ප්‍රතිලාභ ලබන පුද්ගලයන් සිටින්නේ පන්ති දෙකක් පමණි. ඔවුන්ට පමණක් පූර්වයෙන් නිදහස් කිරීමේ අයිතිය (right of pre-emption) නිතීයෙන් ලබා දී ඇත:

  • දේපලක සම-හිමිකරුවන් වන පුද්ගලයින්

මෙයින් අදහස් කරන්නේ විෂය ඉඩම නොබෙදුනු  – පුද්ගලයන් දෙදෙනෙකුට හෝ වැඩි දෙනෙකුට හවුල් විය යුතු එකක් බවයි.

දේපල විකිණීමේදී වෙනත් කිසිවෙකුට පෙර එය වෙළඳපල මිලට අනෙකුත් සම හිමිකරුට/කරුවන්ට පිරිනැමිය යුතුවේ.

උතුර ඇතුළු ශ්‍රී  ලංකාවේ ඉඩම්වලින් වැඩි ප්‍රමාණයක්  තනි අයිතිය (sole ownership) යටතේ පවතීන අතර මෙම ආඥාපනත ඒවාට  අදාළ නොවේ.

  • නීත්‍යානුකූල අන්තිම කැමැත්තක් නොසාදා අයිතිකරු මිය යාමේදී මියගිය පුද්ගලයාගේ උරුමක්කාරයින්ට (ඊළඟ ඥාතීන්ට)  එම දේපල  මිලයට ගැනීමේ  අයිතිය ඇත

උදා: දකුණේ සිංහලයන් ඇතුළු අනෙක් අයට විෂය ඉඩම මිලදී ගත හැක්කේ උරුමක්කාරයින්ට වෙළඳපොල මිලට මිලදී ගැනීම සඳහා වන  යෝජනාව අසාර්ථක වුවහොත් පමණි.

මෙම යෝජනාව උරුමක්කාරයනට ඉදිරිපත් කිරීම ඉතාම තාක්ෂණශීලීව කල යුත්තකි. එසේ නොකළහොත් මුළු ක්‍රියාදාමයම බිඳ වැටේ. එවිට සිංහලයන් ඇතුළු ඕනෑම කෙනෙකුට ඉඩම මිලදී ගැනීමට හැකි වනු ඇත.

17 වන ශතවර්ෂයේ අග සහ 18 වන සියවසේ මුල් භාගයේදී දකුණු ඉන්දියාවේ කොරමැන්ඩල් (තේසවලාමේ) වෙරළ තීරයේ සිට දෙමළ ජාතිකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ අතර අලුතින් පිහිටුවන ලද දුම්කොළ වතු වල වැඩ කිරීමට ඔවුන් ගෙන්වන ලද්දේ පෘතුගීසින්ගේ අවසාන කාලයේ සහ ප්‍රධාන වශයෙන් ලන්දේසීන් විසිනි. උතුරේ දෙමළ ජනගහනය මේ නිසා සීග්‍රයෙන් ව්‍යාප්ත විය (එළාර, මාඝ, චෝල යුගයේ පැමිණි ද්‍රවිඩ ආක්‍රමණිකයන් ආපසු දකුණු ඉන්දියාවටම පලවා හැරීමට එකළ සිටී සිංහල රජවරුන් සමත් වුහ).

ද්‍රවිඩ ජනයා මේ රටේ වසර 3,000ට වඩා පැරණියයි යන විග්නේස්වරන්ගේ 14/12/22 දේශනය පුස්සකි. රටේ නැති ප්‍රශ්ණ ඇති කිරීමකි. ඉතිහාසය විකෘති කිරීමකි.

මේ නව ද්‍රවිඩයන් සතුටු කිරීම සඳහා එවකට වූ ලන්දේසි ආණ්ඩුකාර සිමන්ස් මෙම තේසවලාමේ නීති සංග්‍රහය 1706  දී පිළියෙළ කළේය.

ලන්දේසි ජාතික ජෑන් පයිරස් මෙය දෙමළ භාෂාවට පරිවර්තනය කරන ලදී.

මෙම නව’ මලබාර් නීති’ පිළියෙළ කිරීමේදී ලන්දේසීන් යාපනයේ (යාපා පටුනේ) එවකට පැවතී දෙමළ සිරිත් විරිත් සහ තේසවලාමේ විවාහ සහ බුදල් නිතී ද එයට  එකතු කළහ.   

බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙම තේසවලාමේ නිතිය දිගටම ක්‍රියාත්මක විය. ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් තේසවලාමේ නිතී සංග්‍රහය ඉංග්‍රීසී බසට පරිවර්තනය කරන ලදී. 

මුල් යුගයේ තේසවලාමේ නිතීය යාපනයට පමණක් ක්‍රියාත්මක වූ බවක් පෙනේ. එවිට යාපනය යන වචනය එම නිතී සංග්‍රහයේ ප්‍රධාන යෙදුම වූ අතර උතුරු පළාත යන්න එහි සඳහන් නොවීය.

සිවගනලිංගම් එදිරිව සුන්දරලිංගන් (1988)සුවිශේෂී නඩුවකි. එවකට අගවිනිසුරු ශර්වානන්ද  (ශ්‍රේෂ්ඨාධිකරණයේ) තීන්දු කළේ මෙම නීතිය (තේසවලාමේ) යාපනයට පමණක් නොව මුළු උතුරු පළාතටම අදාළ වන බවයි.

ශ්‍රී ලංකාවේ කොතැනක ජීවත් වුවද  උතුරු පළාතේ වැසියෙක් නම් ඔහුට හෝ ඇයට මෙම  නීතිය බලාත්මක වන බව එතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

උතුරු පළාත සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන ගිය බොහෝ කොළඹ පදිංචි දෙමළ ජනයාට (උදා: වැල්ලවත්තේ, මට්ටක්කුලියේ) මෙය ප්‍රතිලාභයක් විය.

මෙය ගරු අධිකරණය මඟින් නව නිතී සැකසීමක් යයි කෙනෙකුට සාර්ථක ලෙස වාද කල හැක.

නිතී සෑදීමේ වරම ඇත්තේ උත්තරීතර පාර්ලිමේන්තුවට පමණි.

මෑත නඩු නීති තීන්දු,  1988 න් පසු  පෙන්නුම් කරන්නේ සමහර විට තේසවලාමේ  නීතිය චංචල දේපළවලට අදාළ වන බවයි.  මානික්කසාගර් එරෙහිව කන්දසාමි නඩුවෙහි මෝටර් රථයක්  පවා මෙම නිතීයට නතු කරන ලදී.

පුර්ව නිදහස් කිරීමේ අයිතිය (right of pre-emption) දැන් යාබද ඉඩම් හිමියන්ට ද අදාළ වේ.

ඕනෑම නඩු නීතිවල ඇති දෝෂ/විෂමතා ඇත්නම් ඒවා අභිබවා යාමේ බලය ඇත්තේ රජයට පමණි.

නව පනත් සම්මත කිරීමෙන් හෝ පවත්නා පනත් සංශෝධනය කිරීමෙන් දැනට පවත්නා නිතී වල ඇති අඩුපාඩු, අසාධාරණකම් රජයනට වෙනස් කල හැක.

තේසවලාමේ නිතීය අහෝසි  කිරීමට TNA සහ විග්නේස්වරන් එකඟ විය යුතුයි. දැන් ක්‍රියාත්මක වන බලය බෙදීමේ සර්ව පාක්ෂික සමුළුවේදී ඔවුන් මේ බව ප්‍රසිද්ධියේ කිව යුතුයි. නැතනම්, ඔවුන් මේ රටේ සිංහල, මුස්ලිම් සහ ඇතැම් දෙමළ ජනයාට (විශේෂයන්ම වතුකරයේ) ජනයාට ද්‍රෝහී වුවන් ලෙස ඉතිහාසගත වනු ඇත.

අඩුම තරමින් එකී 1988 නඩු තීන්දුවට පෙර පැවති ලන්දේසි/ඉංග්‍රීසි පාලන කාලවල ක්‍රියාත්මක වූ තේසවලාමේ නීතියට නැවත යාමට හෝ ඔවුන් එකඟ විය යුතුය. ගරු ශර්වානන්ද විනිසුරුතුමා විසින් 1988 හඳුන්වා දුන් තේසවලාමේ අර්ථකථනය මහ ජාතිය වන සිංහලයාට සහ සුළු ජාතියක් වන මුස්ලිමානුවනට ඉතා තදබල අසාධාරණයකි.

නැඟෙනහිර පළාතට තේසවලාමේ  නීතිය අදාළ නොවේ. එබැවින් නැගෙනහිර පළාතේ ඕනෑම නිශ්චල දේපලක් සිංහලයන්ට නිදහසේ සහ පහසුවෙන්, කෙලින්ම මිලදී ගත හැකිය. ඔවුන් මඩකලපුවේ, ත්‍රිකුණාමලයේ ඉඩම් මිලදී නොගන්නේ මන්ද?

කෙසේ වෙතත්, සීමිත අවස්ථා වලදී හැර – ඉහත තේසවලාමේ අවස්ථා 2, උතුරේ ඉඩම් මිලදී ගැනීමට සිංහලයන්ට විශාල බාධාවක් නොමැති බව මෙම නිතී හැදැරීමේදී පෙනේ. බාධාවක් තිබේ  නම් එය සිංහලයාට පමණක් නොව තේසවලාමේ  ප්‍රතිලාභ නොලබෙන ද්‍රවිඩයනට ද, මුස්ලිමානුවනටද බලපායි.

තේසවලාමේ ලන්දේසීන් ගෙනාවේ සිංහලයන් යාපනයට ඒම වැලක්වීම අරමුණු කර ගෙන නොවේ.

සිංහලයන් යාපනයේ ඕනෑ තරම් ජීවත්ව හිඳ ඇත. දෙවානම්පියතිස්ස රජතුමාගේ ශිලා ලිපි, ගල් කුළුණු උතුරෙන් හමුවී තිබේ. උතුරෙන් හමුවූ බෞද්ධ පුරාවස්තු නැගෙනහිරටත් වඩා වැඩියයි ඇතැම් තතු දත්තෝ පවසත්.

උතුරේ ඇති සියළුම  කෘතීම වැව් සදා ඇත්තේ සිංහල රජවරුන් විසිනි. මන්නාරමේ යෝධ වැව, කිලිනොච්චියේ ඉරණමඩු වැව ධාතුසේන රජුගේ ශ්‍රේෂ්ට  නිර්මාණයි. ගරු සංඝමිත්තා මෙහෙණින් වහන්සේ යාපනයේ දඹකොළ පටුනේ සිට මාන්තොට (වර්තමාන මන්නාරම) හරහා  අනුරාධපුරයට සිය පිරිවර සමඟ පයින් වැඩියේ පණ්ඩුකාභය රජතුමා සහ ඉන් පසු රජවරුන් සෑදු (දේවානම් පියතිස්ස ඇතුළු)  මල්වතු ඔය ආශ්‍රිත මාර්ගයේය.

බෞද්ධ නටඹුන්, ඉපැරණි සිද්ධස්ථාන, කැඩුණු ඉපැරණි බුද්ධ රූප   අදත් මුලතිව්, කිලිනොච්චි, මන්නාරම ආශ්‍රිත ප්‍රදේශවලින්  හමුවේ.  

ඊනියා දෙමළ රජුන්ගේ එකම ශිලා ලිපියක්, ගල් කුළුණක් හෝ වෙනයම් පුරා විද්‍යාත්මක සාක්ෂියක් උතුරේ හෝ නැගෙනහිර හමුවී නොමැත.

ප්‍රභාකරන් සිංහලුන් උතුරෙන් එලවන විට යාපනයේ අඩු තරමින් සිංහලයෝ 35,000ක් වත් ස්ථිරව සිට ඇත. ඒ අය බොහෝ දෙනෙක් ඉතා සාර්ථක ව්‍යාපාරිකයෝ විය – එළවලු, පලතුරු, මාළු වැනි. සමහරු උතුරේ රැකියා කර යාපනයේ පදිංචි වූ විශ්‍රාමික සිංහලයෝය. දෙමළ අය සමඟ විවාහ වූ සිංහලයෝද වුහ.  මුළු යාපනයටම වාගේ පාන් සැපයුවේ යාපනයේ විසු සිංහල බේකරි හිමියන්ය යන කථාවක් තිබේ,

උතුරේ ඇති අධික රශ්මිය, ජලය හිඟතාවය ආදිය  සමහරවිට විශාල සිංහල ජනාවාස එහි ඉදි නොවීමට හේතු වුවා විය හැක. දකුණේ ඇති වඩා සෞම්‍ය දේශගුණය නිසා (උතුරට සාපේක්ෂව)  සිංහලයෝ එම ප්‍රදේශවල වැඩිපුර රාශි භූත වුවා විය හැක.

සිමන්ස් තුල කිසිදු ජාතිවාදී අදහසක් නොවීය. ඔහුට අවශ්‍ය වුයේ තව තවත් ද්‍රවිඩ ජනයා කොරමැන්ඩල් වලින් යාපනයට ආගමනය කර වීමටය – යාපනයේ සාරවත් දුම්කල වගාවන් සඳහා. ඔවුන් දිරිමත් කිරීමට ඔවුනගේ එම දකුණු ඉන්දීය නිතී කොටස්  හෙතෙම ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළේය.

නැවතත් – වතුකරයේ ද්‍රවිඩයනට කිසිදු තේසවලාමේ ප්‍රතිලාභයක් හිමි නොවේ.  මේ සම්බන්ධව CWC, NUW මෙම සර්ව පාක්ෂික සමුළුවේදී  හඬ නැඟීය යුතුය.

මේ නිතීය ගෙනෙන විට (1706) උඩරට ද්‍රවිඩයන් (Up Country Tamils) කියා කොටසක් මෙහි නොවීය. ඔවුන්ව ශ්‍රී ලංකාවට ගෙන්වන ලද්දේ (නැවතවරක් දකුණු ඉන්දියාවෙන්) බ්‍රිතාන්‍යයෝය. ඒ 1815 උඩරට ගිවුසුමෙන්ද අනතුරුවය; 1860 න් පමණ පසු මේ දකුණු ඉන්දීය ද්‍රවිඩ ආගමනය විශාල ලෙසින් ඇරඹුණි. 

ශ්‍රී ලංකාවේ කෝපි වගාව අසාර්ථක වීමෙන් පසු ඇරඹි තේ වගාව සඳහා (ක්‍රිස්ටිනා විල්සන්  ස්පිට්ල්ගේ ‘The Bitter Berry ‘ නවකථාව හෝ එහි  සිංහල අනුවාදය, අනුල ද සිල්වා ගේ  ‘තිත්ත කෝපි’ නවකථාව කියවන්න) දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩ සේවකයන් ගෙන්වීම සුදුසු යයි සුද්දන් සිතීය. 1818, 1848 කැරලි නිසා සිංහල – බ්‍රිතාන්‍ය හොඳ හිත පළුදු වී තිබුණි. තවද, නව තේ වතු සඳහා විශාල ප්‍රමාණයෙන් නව සේවකයන් බඳවා ගැනීමට අවශ්‍ය ව තිබුණි. දකුණු ඉන්දීය සේවකයන් ඉතා කඩිසර, කීකරු, යටහත්, ඉතා හොඳින් අවනත වන අය බව සුද්දෝ දැන සිටියහ.

නමුත් උඩරට දුම්රිය මාර්ගයේ වැඩ සඳහා ඒ පළාත්වල සිංහලයන් යෙදවිණි. ලෝක ප්‍රසිද්ධ දෙමෝදර ආරුක්කු 9 පාලම සිංහලයන්ගේ නිර්මාණයකි.

පාලම සෑදීමට අවශ්‍ය වානේ සොයා ගැනීමට නොහැකිව එම කාර්යය සුද්දෝ අත් හැර දමා තිබුණි. වානේ භාවිතා නොකර ඉතා ශක්තිමත් ලෙස එම පාලම නිර්මාණය කලේ සිංහලයෝය (මෙම කථාවේ සත්‍ය අසත්‍ය භාවය මෙම ලියුම්කරු නොදනී).

අදත් මෙය ඉතා හොඳින් සිය කාර්යය ඉටු කරයි.

දස දහස් ගණනින් මෙම පාලම බැලීමට යන සංචාරකයනට (විදේශි සහ දේශීය) දුම්රිය පාර අසල තිබෙන එයට  යාමට හරි හැටි පාරක් නැත. පාලමට යන, කැඩුණු පස් ඇති අඩි පාරේ කිසිම මාර්ග සංඥවන් සවිකර නැත. කඳු, පල්ලම් බසිමින්,පාර වරද්දා ගනිමින්, ගම්වසින්ගෙන් පාර අසමින්,  විදේශිකයෝ ඉතා අමාරුවෙන් මේ ස්ථානය සොයා යති.

සවස කළුවර වැටුණු පසු ඒ පැත්තට යෑමට කොහෙත්ම හැකියාවක් නැත. හරි හැටි පාරක් නැති තැන විදුලි ආලෝක පහන් ගැන කුමන කථාද?

සංචාරකයන් නිසා ඇල්ල ප්‍රදේශයට විශාල නව ආදායම් මාර්ග ලැබී තිබේ.

පාලමද දැන් කළු පැහැ වී ගරා වැටී මෙන් ඇත (ව්‍ය්ව්හාත්මකව එය තවම ඉතා හොඳය). පාලමට තීන්ත අලේප කර (අවට පරිසරයට ගැලපෙන සේ) එය දර්ශනීය තත්ත්වයට ගෙන ඒමට, පාලම නරඹන්නන්ට (කෝච්චිය එන තෙක් ඉඳ ගෙන සිටීමට වැනි) බංකු  කිහිපයක් තැනීමට තරම් වත්කමක් ඇල්ල ප්‍රාදේශීය සභාවට නොමැති විය නොහැක.

ලෝකයේ ඉන්ස්ටර්ග්‍රෑම් ‘හොට් ස්පොට්ස්’ අතරින් ඉහලම ස්ථානයක ඇත්තකි මේ දෙමෝදර ආරක්කු 9 පාලම. ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන අතරින් එය 1වෙනි ස්ථානයේ සිටී.

තේ වතු වල වැඩ කිරීම සඳහා මේ ද්‍රවිඩ අය පැමිණියේ ‘උසස් යයි සැලකෙන’ ද්‍රවිඩයන් විසු  කොරමැන්ඩල් වෙරළ තීරයෙන් නොවේ. ඔවුන්ව ගෙන්වන ලද්දේ තමිල්නාඩුවේ දුප්පත් කළාප වලිනි.

මේ අනුව නිවැරදි නීති උපදෙස් ලබාගෙන, තේසවලමේ  නීතියට කෙලින්ම හසු නොවන, උතුරේ ඉඩම් මිලදී ගෙන ඉදිරියට යාමට සිංහලයා කටයුතු කල යුතුවේ.     

TNA සහ අනෙක් ද්‍රවිඩ දේශපාලනඥයන්

සන්හිඳියාව කර පිට තබා කෑ ගසන TNA සහ අනෙක් ද්‍රවිඩ දේශපාලනඥයන්   මේ රටේ සිංහලයනට  උතුරේ සහ නැගෙනහිර ඕනෑම තැනක ජීවත්වීමේ අයිතිය ඇති බව ඉතා පැහැදිලිව, ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල යුතුයි. එම කාර්යය සඳහා ඔවුන් තමන්ගේ සහ තම පක්ෂවල  (TNA ඇතුළු) පුර්ණ සහාය ලබා දිය යුතුයි.

උතුරු, නැගෙනහිර පදිංචියට එන සිහලුනට (රාජ්‍ය අනුග්‍රහයෙන් නොව සිය ස්වෝත්සාහයෙන්) ජාතිවාදී නොවී ඔවුනගේ රාජකාරිය නිසි ලෙස ඉටු කරන ලෙසට එම පළාත්වල සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට නිර්දේශ නිකුත් කිරීමට එකඟ වන බවට මේ අය ප්‍රතීඥා දිය යුතුයි. 

TNA (සම්බන්ධන්, සුමන්තිරන්, ධර්මලිංගම්, රාසමාකික්කම් වැනි) සහ වෙනත් ද්‍රවිඩ දේශපාලනඥයන්  (විග්නේස්වරන්, පොන්නම්බලම් වැනි) මේ දේට සර්ව පාක්ෂික සමුළුවේදී එකඟ වුවහොත් සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි මාර්ග සැලැස්මකට ඔවුන් රජය සමඟ අවතීර්ණ වුවහොත් (road map),  ඔවුන් අවංක, සාධාරණ,  සියළුම  ශ්‍රී ලාංකිකයනට ගරු කරන ගෞරවනීය දේශපාලනඥයන් යයි හැඳින්වීමට සියළු රට වැසියන්, විශේෂන්ම සිංහලයන් සුදානම් බව ඔවුන් දැන සිටීම වටී. ඔවුන්ගේ පක්ෂ මේ තාක් කල් සිංහලයනට කර  ඇති සියළු ‘පව්’ මේ සත්ක්‍රියාවෙන් සෝදා, පිරිසිඳු කර ගත හැකි වනු ඇත.

අරගලය

සිංහලයාට මේ ප්‍රදේශවලට ගොස් පදිංචි වීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔවුනට ලැබී තිබේ.

මෙම මූලික අයිතිය – සිංහලයන්ට උතුරේ සහ නැගෙනහිර නිදහසේ පදිංචි වීමේ අයිතිය – ඉල්ලා අරගලකරුවන් සටන් පාට කිව යුතුය.

එය අරගලයේ ප්‍රධානතම  ඉල්ලීමක් විය යුතුය.

මෙම සාධාරණ ප්‍රතිපත්තියට විරුද්ධ වන්නෝ එක්කෝ එය නොතේරන මෝඩයෝය, නැත්නම් ජාතීවාදීන්ය (racists).  

මතු සම්බන්ධයි ….

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress