බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ හිස් මත්පැන් බෝතල් (වීඩියෝ)
Posted on December 22nd, 2022

උපුටා ගැන්ම  හිරු පුවත්

දින නියමයක් නොමැතිව වසා දමා ඇති හෝමාගම – පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නේවාසිකාගාරයේ හිස්වූ මතපැන් බෝතල් 1000 කට ආසන්න සංඛ්‍යාවක් තිබූ බවට වාර්තා පළවනවා.

පසුගිය 19 වනදා එම විශ්ව විද්‍යාලය වසා දැමුණේ නවක වද සිද්ධීන් ඇතුළු විනය විරෝධී ක්‍රියාකාරකම් හේතුවෙන්.

පසුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහෝපාධ්‍ය මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බලධාරින් එක්ව විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරය විශේෂ සෝදිසියක් සිදුකළා.

ඒ අනුවයි එම භූමියෙහි කසළ බැහැර කරන ස්ථානයේ අපජලය බැහැර කරන වලක් තුළ තිබී හිස් මත්පැන් බෝතල් 1000 කට ආසන්න සංඛ්‍යාවක් සොයාගෙන ඇත්තේ.

අප මේ සම්බන්ධයෙන් බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උපකුලපති මහෝපාධ්‍ය මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන්ගෙන් විමසීමක් කළ අතර එහිදී උන්වහන්සේ පැවසූවේ විශ්ව විද්‍යාලය තුළ සිදුවූ විනය විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සොයා බැලීමට මහාචාර්යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ස්ථාපිත කර ඇති බවයි.

එහි අවසන් වාර්තාව ඉදිරි දින කිහිපය තුළදී ලැබීමට නියමිත බවත් පසුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූවගෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීද මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කර සිටියා.

පෙරේදා දිනයේදී මාධ්‍යයට අදහස් දක්වමින් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් කියා සිටියේ ප්‍රතිව්‍යුහගත කිරීමකින් පසු ලබන වසරේ වෙසක් පොහොයට පෙර විශ්ව විද්‍යාලය විවෘත කිරීමට කටයුතු කරන බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress